Helabima

ධනාත්මක සිතුවිලි ඇසුරින් ජීවිතය ජය ගමු

රොශානි අබේරත්න


අපේ මනස පාලනය කරන පාලකය ලෙස සිතුවිලි හැඳින්විය හැක. පොදුවේ ඕනෑම පුද්ගලයෙකු තුල ධනාත්මක සහ සෘණාත්මක සිතුවිලි විවිධ මට්ටම් වලින් ඇතිවීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියකි. නමුත් මේ දෙවර්ගයේම සිතුවිලි අපේ සිත තුල ඇතිවෙන ප්‍රමාණය ගැන අපි විශාල සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ ඇයි කියන කාරණාව පිළිබඳවයි මේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.

නිරන්තරයෙන් ධනාත්මක සිතුවිලි ඇතිකරගැනීම යනු ජීවිතය දෙස සුභවාදී කෝණයකින් දැකීමයි. එනම් ඔබගේ එදිනෙදා ජීවිතයේ ඇතිවන සිතුවිලි, ඔබගේ ආකල්ප සහ ක්‍රියාවන් පිළිබඳව සුභවාදීව සිතීමයි. ධනාත්මක පුද්ගලයෙකු තුල සිතේ සන්සුන්භාවය, උද්යෝගය, බලපොරොත්තු සහගතබව, ජවසම්පන්නබව සහ ජීවිතයට ඇති ආදරය වැනි ලක්ෂණ දැකිය හැකියි. නමුත් සර්ව අසුභවාදී හෙවත් සෘණාත්මක චින්තනයකින් යුතු පුද්ගලයෙකු මීට හාත්පසින්ම වෙනස් ලක්ෂණ පෙන්වයි. ඔවුන් නිරන්තරයෙන් ජීවිතය පිළිබඳව අසුභවාදී සිතුවිලි පෙරදැරි කරගෙනයි දවස ගෙවන්නේ. උදාහරණයක් ලෙස ඔබ ඉදිරියේ අඩක් ජලය පිරුණු වීදුරුවක් තැබුවහොත් ඔබ එය නිර්වචනය කරන්නේ කෙසේද? සෘණාත්මක පුද්ගලයින් මෙම වීදුරුව අඩක් හිස් බව, වීදුරුව පිරෙන්නට තවත් ජලය ප්‍රමාණවත් මදි බව ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ධනාත්මක පුද්ගලයින් මේ වීදුරුවේ දැනටමත් අඩක් ජලය පිරී ඇති බව තමයි දකින්නේ. මේ ආකාරයෙන් අප අවට සිටින පුද්ගල කණ්ඩායම් අතරේ සර්ව සුභවාදී මිනිසුන්, සර්ව අසුභවාදී මිනිසුන් මෙන්ම මේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් පිහිටන විවිධාකාරයේ මිනිසුන් දක්නට පුළුවන්.

ජීවිතයේ අපට දැනෙන දුක, සතුට, ක්‍රෝධය, ඊර්ශ්‍යාව වැනි හැඟීම් සහ ඒවා අනුව අපි ක්‍රියාකරන ආකාරය තීරණය වන්නේ අපි සිතන පතන ආකාරය අනුවයි. පොදුවේ අප සියලු දෙනා ජීවිතය ගෙනයාමේදී හොඳ සහ නරක යන සිදුවීම් දෙකොට්ඨාශයටම මුහුණ දෙනවා. ඒ ඒ සිදුවීම අනුව ඒවාට ප්‍රතිචාර දැක්වීම ඕනෑම කෙනෙකුට පොදු කාරණයක්. සර්ව සුභාවාදීව සිතීම යනු ජීවිතයේ සෑම සිදුවීමක්ම සුභාවාදීව දැකීමට වුවමනා නිසා නරක සිදුවීම් නොසලකා හැරීම වැනි ක්‍රියාවක් නොවෙයි. සුභවාදී පුද්ගලයින් නරක සිදුවීම් වල පවා ධනාත්මක ප්‍රථිපල ගැන සිතීමට සහ ඒ අනුව ක්‍රියාකිරීමට නිරායාසයෙන්ම පෙළඹෙනවා. නමුත් සෘණාත්මක පුද්ගලයින් මේ නරක සිදුවීම් වලින් විඩාවට පත්වෙමින්, ඔවුන්ට එසේ සිදුවූයේ මන්දැයි සිතන්නට කාලය මිඩංගු කරනවා, බලාපොරොත්තු අතහැර ගන්නවා. මේ සෘණාත්මක සිතුවිලි මඟින් ඔබව මානසික අවපීඩනය වැනි මානසික රෝගී තත්වයන්ට පවා ඇද දමන්න පුළුවන්. ධනාත්මක චින්තනයේ ඇති ප්‍රධානම වාසිය මෙයයි. සිතුවිලි ධනාත්මක වීමෙන් ජීවිතයේ අසීරු අවස්ථාවන්හිදී පවා මනා අභිප්‍රේරණයකින් යුතුව ජීවත්වීමට හැකියාව ලැබෙනවා. එක සිදුවීමක් නිසා ඉදිරිය ගැන ඇති බලපොරොත්තු බිඳ දැමිය නොයුතු බව ඔවුන් විශ්වාස කරනවා. ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයින් කිසිම හේතුවක් මත තමන් සිදු කරමින් සිටින කාර්යයන් අතහැර දමන්නට පෙළඹෙන්නේ නැහැ. කෙසේ හෝ අවසානය කරා යාමට අවශ්‍ය අධිෂ්ඨානය ඔවුන් සතුව තියෙනවා. ඒ වගේම වර්තමානයේ ගිලෙමින් නරක දේම දකිනවාට වඩා එම සිදුවීම පසෙකලා අනාගතයේ සිදුවිය හැකි දේ දකින්නට තරම් ඔවුන්ගේ මනස නිදහස් ආකල්ප වලින් යුතුවෙනවා. සියල්ලටම වඩා වැදගත් කාරණය වන්නේ ජීවිතයේ මුහුණදෙන ඕනෑම අවස්තාවක හෝ ඕනෑම කාර්යයකදී ඉතාම අවධානයෙන් යුතුව ඒ ගැන අධ්‍යයනය කිරීමට ඔවුන්ට හැකියාව පවතිනවා. ඒ වගේම ධනාත්මකව සිතීම තුලින් ඔබගේ බාහිර පෙනුමටද විශාල වෙනසක් සිදුවෙනවා. නිරන්තරයෙන් කනස්සල්ලෙන් පසුවෙන කෙනෙකුට වඩා සිනහවෙමින්, අන් අයව ධෛර්යමත් කරමින් ජීවත්වෙන පුද්ගලයෙකුට සමාජයේ ලැබෙන පිළිගැනීම බොහෝ ඉහලයි. මේ සඳහන් කලේ ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයින් එදිනෙදා ජීවිතයේදී අත්දකින වාසි ගැනයි. ඊට අමතරව ධනාත්මක චින්තනයෙන් සිරුරට ලැබෙන සෞඛ්‍යමය වාසිද බොහෝමයි.

Picture Credit - Envato

ධනාත්මක චින්තනයේ වාසි

  • ආයු කාලය දිගුවීම.
  • විශාදය ඇතිවීමේ අවදානම අඩුවීම
  • මානසික හා ශාරීරික යහපැවැත්ම
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම
  • හෘද රෝග අවදානම අඩුවීම
  • සර්ව අසුභාවදින්ගේ ලක්ෂණ

ධනාත්මක චින්තකයෙකු හෙවත් සර්ව සුභාවදියෙකු වන්නේ කෙසේද යන්න විමසීමට පෙර ඔබ මේ දෙකොට්ඨාශයෙන් කුමන කොටසට අයිති වන්නෙක්ද යන්න සොයා බැලිය යුතුයි. මෙන්න මේ ලක්ෂණ ඔබ සතුයි නම් ඔබ දැනට සෘණාත්මක චින්තකයෙක්. නමුත් ඒ ගැන දැන්ම කරදර වන්නට අවශ්‍ය නැහැ. මේ ලිපිය අවසානය දක්වා කියවන ඔබට පහසුවෙන් ධනාත්මක චින්තකයෙකු බවට පරිවර්තනය වන රහස් දැනගත හැකියි.

  • අවස්ථාවන් පෙරීමකට ලක්කිරීම

මේ සඳහන් කරන්නේ අපි එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් ගැනයි. වඩා හොඳ සහිත සිදුවීමක වුවද නරක කොටස පෙරා ඒ ගැන වැඩි වශයෙන් සිතන්න මේ පුද්ගලයින් පෙළඹෙනවා. උදාහරණයක් ලෙස රාජකාරී දිනයක් අවසානයේ සාර්ථකව සිදුකල වැඩ සහ ලැබූ ප්‍රශංසාවන් අමතක කොට සිදුකල නොහැකි වූ කුඩා වැඩ කොටසක් ගැන කම්පා වීම ඔවුන්ගේ ලක්ෂණයයි.

  • සිදුවීම් පුද්ගලීකරණය කරගැනීම 

සිදුවෙන ඕනෑම සිදුවීමක වරද තමා අතේ බව සිතීම. නරක යමක් සිදුවූ වහාම තමාගේ වරදින් හෝ තමාගේ අවාසනාව නිසා එසේ සිදුවූ බව මොවුන් නිගමනය කරනවා.

  • කරදර ගොඩනගා ගැනීම

මේ පුද්ගලයින් නරක ආකර්ෂණය කරගන්නවා. උදෑසන එක නරක ක්‍රියාවක් සිදුවූ පමණින් මුළු දවසම නරක බව උපකල්පනය කොටගෙන දවසේ සියලු ක්‍රියාවන් දෙස එම ආකල්පයෙන් බලනවා.

  • අන්තවාදී බව

අන්තවාදී බව ලෙස හැඳින්වෙන්නේ සිතුවිලි පිලිබඳ අන්තවාදී බවයි. ඕනෑම සිදුවීමක් හොඳ හෝ නරක දෙකෙන් එක කොටසකට අයිති බවත් හොඳ නරක දෙකම මිශ්‍රව පවතින සිදුවීම් නොමැති බවත් මොවුන්ගේ විශ්වාසයයි. තමා සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු නොවුවහොත් සම්පූර්ණයෙන්ම අසාර්ථක පුද්ගලයෙකු බව මොවුන් විශ්වාස කරනවා.

ධනාත්මක චින්තකයෙකු වන්නේ කෙසේද?

පෙර සඳහන් කල වාසි ලබාගැනීමට ධනාත්මක චින්තනය හුරු කිරීම එතරම් අපහසු කර්තව්‍යක් නොවේ. නමුත් එය එක රාත්‍රියකින් ක්ෂණිකව සිදුකල හැකි ක්‍රියාවක්ද නොවේ. කාලයක් පුරා මනස පුහුණු කිරීම මඟින් ඔබට පහසුවෙන්ම ධනාත්මක චින්තකයෙකු බවට පත්විය හැක. පහත ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට ධනාත්මක චින්තකයෙකු බවට පත්වී එහි වාසි අත්විඳිය හැක.

  • වෙනස් විය යුතු දේ හඳුනාගන්න

ජීවිතයේ කුමන අංශ දෙස ඔබ වැඩිපුරම සෘණවාදීව සිතනවාද යන්න මෙහිදී හඳුනාගත යුතුයි.. එය රැකියාව, ජීවන සම්බන්ධතා, අධ්‍යාපනය හෝ වෙනත් ඕනෑම දෙයක් විය හැකියි. ඒ කරුණු මොනවාද යන්න මුලින්ම හඳුනාගෙන වඩා වැදගත් කරුණු පිලිවෙලින් පෙළගස්වා ගන්න. සියල්ල ගැනම එකවර නොසිතා එකින් එක වෙනස් කිරීමට ආරම්භ කරන්න.

  • අවධානයෙන් සිටින්න

දවස ගෙවන අතරවාරයේ විටින් විට ඔබේ සිතුවිලි ගැන අවධානය යොමු කරන්න. සෘණාත්මක සිතුවිලි ඇතිවූ වාර ගණන ගණනය කරන්න. ඒවා ක්‍රමයෙන් වෙනස් කිරීමට අවශ්‍ය සිතුවිලි ගොඩනගාගන්න.

  • සිනහව පුහුණු කරන්න

අසීරු අවස්ථාවන් වලදී පවා සිනහවීමට හුරුවෙන්න. සිනහවෙන් මානසික පීඩනය බොහෝදුරට සමනය වේ. දවසේ ඉතාම කුඩා සතුටුදායක සිදුවීම් වුවද සතුටින් සිහිකරමින් සිනාවෙන්න.

  • සෞඛ්‍යමත් ජීවන රටාවකට හුරුවන්න

සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට සහ දවසකට අවම විනාඩි 30ක් හෝ ව්‍යායාම වල නිරත වීමට හුරුවන්න.

  • ධනාත්මක මිනිසුන් ඇසුරු කරන්න

ධනාත්මක සිතුවිලි සහිත මිනිසුන් ඇසුරට තෝරාගන්න. ඔවුන්ගේ සිතුවිලි ඔබට නිරන්තරයෙන් අභිප්‍රේරණයක් වේ. සෘණාත්මක මිනිසුන්ට ඔවුන්ගේ සිතුවිලි හරහා ඔබේ මනසටද බලපෑම් කල හැක. ඔවුන් හැකිතරම් ඈත්කොට තබන්න.

  • තමන් සමඟම ධනාත්මක කතාබහට හුරුවෙන්න

එදිනෙදා ඇතිවෙන සිතුවිලි ධනාත්මක ලෙස තමන් සමඟම කතාබහ කරන්න. උදාහරණයක් ලෙස යම් කාර්යයක් සිදුකිරීමේදී "මෙය මා මීට පෙර කිසි දිනයක සිදුකර නැත. මට මෙය කල නොහැක" යනුවෙන් සිතමින් කනස්සල්ලෙන් පසුවෙනවාට වඩා "මට අළුත් යමක් ඉගෙනීමට මේ ලැබී ඇති අවස්ථාව කොයිතරම් වටිනවාද? මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නවා" යනුවෙන් සිතමින් ඔබවම ධෛර්යමත් කරගන්න.

ධනාත්මක සිතුවිලි පෙරදැරි කරගෙන ජීවිතය ජයගැනීමට ඔබ සියලුම දෙනාට ශක්තිය ලැබේවායි හෙළබිම අපෙන් සුභ පැතුම්!



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us