Helabima

පිටින් ගෙන්වන්න තහනම් කරද්දි ලංකාවෙන් පිටරට යවන බ්‍රැන්ඩඩ් යට ඇඳුම්

රොශානි අබේරත්න


යට ඇඳුම් වලටත් වාරණ පැනවිලා. තීරණය ගැන වටින් ගොඩින් ඇහෙන මතවාද බොහෝමයි. කරුණු කාරණා කෙසේවුනත්, යටට තියා උඩටවත් හරිහැටි අඳින්නේ නැති අය පවා මේ ඉහල සන්නාමයේ යට ඇඳුම් ආනයනය නොකිරීම ගැන සිත් තැවුලෙන් බව නම් පැහැදිලියි. කාලෙන් කාලෙට ඉහල මතුවෙන මාතෘකා අතරේ, හැමදාම යටින් හිටපු යට ඇඳුම දැන් වැජඹෙන්නේ බොහොම ඉහල තැනක. මේ යට ඇඳුමක එල්ලිලා එන හීන් දේශපාලන විරෝධයක්දෝ ඉවක් දැනෙන කතන්දරයක් මධ්‍යයේ අපිට හිතන්න තවත් දේවල්නම් බොහෝමයි. ඇත්තටම අපිට ලංකාවේ අඳින්න යට ඇඳුම් ඇත්තේම නැද්ද? අපි හැමෝම මේ තරම් කල් ඇන්දේ පිටරටින් ගෙන්වන යට ඇඳුම් විතරමද? යට ඇඳුම් ඇරුණහම බදු වැඩි කරපු අනෙක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගැන අපිට ගැටළු ඇත්තේම නැද්ද? ඒ භාණ්ඩ සහ මේ යට ඇඳුම් ඇරුණහම මේ රටේ වෙන ප්‍රශ්න ඇත්තේම නැද්ද?

මේ පිටරටින් ගෙන්වන භාණ්ඩ අතරේ, නොගෙන්වනවාය කියන යට ඇඳුම් අතරේත්, ඉහලම ගැටළුව ඇතිවෙන්නේ ඉහල සන්නාම වලට අයත්, නැතිනම් තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් බ්‍රෑන්ඩඩ් යට ඇඳුම්, තවත් සරලව උදාහරණ මඟින් පැහැදිලි කලොත් ප්‍රසිද්ධ Adidas, Nike, Jockey, VS, Pink, Sara වැනි යට ඇඳුම් නොගෙන්විම ගැනයි. එහෙම නොවන, තොග පිටින් ගෙන්වන බාල යට ඇඳුම් ගැන නොලියා සිටීම වඩාත් හොඳයි. ඒ ප්‍රමිතියට සිය ගුණයක් ඉහලින් ලංකාවේ නිෂ්පාදනය කරන, අපේ දේශගුණයට ගැලපෙන යට ඇඳුමක් වෙළඳපොලෙන් දරාගත හැකි මිලකට සොයාගැනීම බොහොම පහසුයි. ඉතින් අර ඉහල සන්නාම වලට අයත් යට ඇඳුම් ඇත්තටම අඳින්නේ කව්ද? ගැඹුරට සොයා බැලීමේදී මෙන්න මේ කාරණාව ටිකක් විසුළු සහගතයි. මේ branded යට ඇඳුමක සාමාන්‍ය මිල ලංකාවේ බහුතරයක්වන ඉහල මධ්‍යම පාන්තික ජනතාවට පවා ලෙහෙසියෙන් දැරිය හැකි මිලක් නොවෙයි. ඔවුන් උඩට අඳින හැඩ ඇඳුමකට වැය කරන මිලකටත් වඩා වැඩි මිලක් බදු අය කරන්න පෙර වුණත් මේ branded ට යට ඇඳුමක මිල විදිහට නියම වෙනවා. නමුත් මේ බදු පැනවීම ගැන වැඩිපුර කතාබහ කරන්නෙත් ඔවුන්ම තමයි. අන්න එතැන තමයි මේ ලියවිල්ල ආරම්භ කරන්න සුදුසුම තැන. 

අපි කතාකල යුත්තේ පිටරටින් ගෙන්වන්නට බැරි යට ඇඳුම් ගැන නොවෙයි. පැහැදිලිවම අපි හඬ එසවිය යුත්තේ පිටරටට යවන්නට බැරි යට ඇඳුම් ගැනයි. අවුරුදු දෙදහස් පන්සියයකට එපිට ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ ජාතියක් කියල උදේ හවස පාරම්බාන හෙළ යක්ඛ පුතුන් වන අපිට, බැරි දෙයක් නැතැයි කියා පාරම්බාන අපිට, ඇයි යටට අඳින රෙදි කෑල්ලත් පිටරටින් ගෙන්වනකම් බලන් ඉන්න සිදුවෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය තරුණ ඔබේ මුවින් නැගෙන්නට ඕන, නගන්නට හැකි හොඳම අවස්ථාව මෙන්න මේකයි. බදු ගහන එක ආණ්ඩුවකට පමණක් නෙමෙයි, සුද්දා වැද්දා කාලයේ උඩු ගුවනින් පවා ගමන් කරපු ජාතියක්, යටට අඳින වස්තරේ පටන්ම පිටරටින් ලැබෙනකන් උඩ බලන් ඉන්න තත්වයකට ඇද දැමූ එදා මෙදා තුල රටකරපු පාලකයින් සියල්ලම ගැන ප්‍රශ්න කරන්නට වෙලාව මෙන්න මේකයි. ඇත්තටම් අපිට බැරිද? මේ කතාව කියවමු. ඔබ පුදුම වෙයි.

අතීතයේ ඉඳලම කෘෂිකර්මාන්තයෙන් යැපුණු ලංකාව ඒ ගමන්මඟ වෙනස් කරමින් කාර්මික විප්ලවයට ප්‍රතිචාර දක්වන්නේ 1950 ගණන්වල මුල් භාගයේදී. මේ කාලසීමාවේදී කර්මාන්තශාලා ආරම්භ කරමින් ඇඟලුම් නිෂ්පාදනයට මුල් පියවර තැබුවත් අපේ ඇඟලුම් පිටරට යන පටන් ගන්නෙ 1960 ගණන් වලින් පස්සේ. අපේ රටේ තරුණ තරුණියන්ගේ දෑත් වලින් නිර්මාණය වෙන මේ ඇඟලුම් මිලදීගන්න රටවල් අතරේ ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව ඇතුළු බොහොම දියුණු යුරෝපීය රටවල් සහ ජපානය වගේ දියුණු ආසියාතික රටවල් පවා ඇතුලත්. අද වෙද්දී ඇඟළුම් කියල කියන්නෙ ලංකාවේ අපනයන ආර්ථිකයේ මුල්ම තැන තියෙන නිෂ්පාදනය.

මේ නිෂ්පාදනය කරල පිටරට යවන ඇඟළුම් අතරේත් ඉහලම තැනක පිටරටවල ඉහල සන්නාම දරන යට ඇඳුම් නිෂ්පාදකයින් වෙනුවෙන් අපේ රටේ නිෂ්පාදනය කරන යට ඇඳුම් වලට හිමිවෙනවා. මේ අදක ඊයෙක සිදුවුණ දෙයක්ද? සරලම පිළිතුර නැහැ කියන එකයි. ලංකාවෙන් යට ඇඳුම් අපනයනය කිරීමත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනවා. 2018 වසරේ සංඛ්‍යාලේඛණ වලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා යට ඇඳුම් වෙළඳපල ඇමරිකානු ඩොලර් බිලියන 14කට වැඩි බවත්, 2024 වනවිට එම වෙළඳපල ඇමරිකානු ඩොලර් බිලියන 19කට වඩා ඉහල අගයකට පිවිසෙන බවත් පුරෝකථනය කරලා තියෙනවා. ඒ අතිවිශාල වෙළඳපොලේ චීනයට පමණක් දෙවෙනි සැපයුම්කරු මේ පුංචි ශ්‍රී ලංකාව. ඇමරිකාවේ විතරක් නෙමෙයි, ලෝකය පුරාම ඉතාම ඉහල සන්නාම දරණ La Senza, Marks & Spencer, H&M, Etam, Lane Bryant, George, Victoria’s Secret, Gap, Nike, Tommy Hilfiger, Sara වගේ නිෂ්පාදකයින් විශාල සංඛ්‍යාවකගේ ඇනවුම් අපේ රටතුල නිෂ්පාදනය කෙරෙනවා. ප්‍රධාන ගැනුම්කරු වන මේ නම් දැරූ ආයතන වලින් ඔවුන්ගේ අවශ්‍යතාවය පමණක් දැන්වූ සැණින් නිර්මාණය හෙවත් design කිරීමේ ඉඳලා මේ වෙළඳ සන්නාමයන් වෙත ඇඟළුම් තොග ලැබෙනතුරු සියලු කර්තව්‍යයන් සිදුවෙන්නේ අපේ දක්ෂ ශිල්පීන්ගේ අතින්.

ඒ සියල්ලටම ඉහලින් වඩාත්ම සතුටුවිය හැකි කාරණාවනම් පිටරට ගැනුම්කරුවන්ගේ නම්වලට යට ඇඳුම් මහපු අපේ රටෙන් පිටරට යවන අපේම සන්නාමයක් පවා මේ රට තුලම තිබීමයි. කාන්තාවන් අතර අතිශය ප්‍රසිද්ධ Amanté යට ඇඳුම් සන්නාමයේ පූර්ණ හිමිකාරිත්වය දරන්නේ මේ පුංචි රට. Amanté කියන්නෙ මේ වෙද්දී දකුණු ආසියානු රටවල් බොහොමයක ජනප්‍රිය කාන්තා යට ඇඳුම් සන්නාමයක්.

අවසානයේ මේ සියලු කාරණා සලකා බැලුවහම ඇත්තටම අද වෙද්දී අපිට තියෙන්න ඕන ප්‍රශ්නය ඇයි ගෙන්වන්න බැරි කියන ප්‍රශ්නයද? අපේ දෑත් වලින් නිමවෙන යට ඇඳුම් පිටරට යවල ඉහල මිලකට අපිට ගෙන්වාගන්න පුරුද්ද පැත්තකට කරල අපිට ගැලපෙන්න දෙයක් අපිම නිෂ්පාදනය කරන්න බැරිද? අපෙන් තව තවත් සන්නාම පිටරට යවන්න බැරිද? කොරෝනා හෝ දේශපාලනය හෝ වේවා මේ අපහසු කාලසීමාවේ පිටරට නැව් වලට අතවනමින් සිටින ගැති ජාතියක් ලෙස අපි තවත් ඉදිරියට යා යුතුද? ගොඩ එන්නට දැන් අපිට ඇති එකම විසඳුම පාස්පෝර්ට් එකේ වදින පිටරට වීසා මුද්‍රාවද? සිතා බැලුවොත් හොඳයි නේද?

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us