Helabima

ආයුර්වේද සහයෙන් කොවිඩ් වසංගතය ඉදිරියේ සෞඛ්‍ය සේවාවේ කඩා වැටීම වළක්වා ගන්න

ඩැනිස්ටර් එල්. පෙරේරා


අප වටා සිටින කවරෙකු වුවත් කොවිඩ් ආසාදිතයෙකු විය හැකි තරම් බරපතල ලෙස වසංගතය සමාජගත වී පැතිරෙමින් තිබේ. මාධ්‍යයෙන් දකින සංඛ්‍යාලේඛන වලට වඩා කීප ගුණයකින් වැඩි දරුණු ව්‍යසනකාරී තත්වයකට සමාජය මුහුණ දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් 19 ආසාදනයට හේතු වන වෛරස ප්‍රභේදය වාතය හරහා බෝවිය හැකි බවට අනතුරු හැඟවීම නිසා ඒ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් විය යුතු ආකාරය රජය විසින් ජනතාවට දැනුම්දී තිබේ. කොවිඩ් වෛරසය වාතය මගින් බෝවිය හැකි බවට වූ කල්පිතය විද්‍යාඥයින් ඉදිරිපත් කළේ ගිය වසර මුලදීය. කොවිඩ් රෝගීන් රඳවා සිටි රෝහල් කාමර තුළ වෛරසය දිගු කාලයක් පවතින බවට වාර්තා පළ වූ අතර කුඩා සෙම බිඳිති වාතය හරහා යම් සැලකිය යුතු දුරක් ගමන් කරන බවට ද විද්‍යාත්මක නිගමනයන් තිබේ. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සිටින කාමරයක සීමිත වාතාශ්‍රයක් ඇති විට ඔහුගේ කතාව හෝ කිවිසීම නිසා පිටවන වෛරසය කාමරයේ වාතය තුළ පැවතිය හැකි අතර එය වෙනත් පුද්ගලයෙකු ගේ ශ්වසන මාර්ගයට ඇතුළු විය හැකිය. මෙය වායු සමීකරණය කළ වාහන හෝ කාමර තුළ වඩාත් හොඳින් සිදු වේ. ආසාදිතයෙකු සිටින කාමරයක නිසි ලෙස වාතය අලුත් වීමක් නැති විට එහි සිටින අනෙක් අයට රෝගය බෝවීමේ ඉඩකඩ වැඩිය.

මිනිසුන් බස් රථ වල තෙරෙපෙමින් යන සමාජයක, ඇඳුම් පැළඳුම් ගැනීමට සාප්පු තුළ පොරකන, අවුරුදු උත්සව වල එකට ගැවසෙන විට, නෑ හිතමිතුරන් එක්ව සාද පවත්වන, කන බොන විනෝද ගමන් යන පරිසරයක වෛරසය ව්‍යාප්ත වීම පාලනය කළ හැක්කේ කෙසේද? යන්න අමුතුවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ. මුහුණු ආවරණ පැළඳීම මගින් මේ තත්වය පාලනය කළ හැකිද? යන්න ඒ සමඟම පැන නගින අනෙක් ගැටළුවකි. උත්සව සමයේ ජනතාව ගේ සංචරණය සීමා කිරීමට රජය මගින් ගත් පියවර ප්‍රමාණවත් දැයි විමසිය යුත්තේ ඒ පසුබිම යටතේ ය. එන්නත ප්‍රථම මාත්‍රාව ලබා ගත් කණ්ඩායම අතර ද වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇතැයි යන විශ්වාසය තහවුරු කළ හැකි ද යන්න අනෙක් ප්‍රශ්නය වේ. එසේම එන්නත ලබා නොගත් ජනතාව වසංගතයේ අවදානමට මුහුණ දෙන්නේ කෙසේද යන්න අපි ඉදිරියේ ඇති තවත් අභියෝගයකි. දැන් උදාවී ඇති අලුත්ම තත්වය යටතේ නව වෛරස ප්‍රභේදයක් නිසා ඇති වන තුන්වන රැල්ල තුළ සිටිමින් සමාජය යම් අවිනිශ්චිත බවකින් පසුවේ.

ඉන්දියාවේ මිනිසුන් මැරී වැටෙන අයුරු, දරුවන් දෙමාපියන් හඬා වැටෙන අයුරු, සොහොන් පිටි වල මළ මිනී දැවෙන අයුරු වීඩියෝ වලින් ශෙයා කළ අපි සිතා සිටියේ අපිට ඒ තත්වය උදා නොවනු ඇතැයි යන මිථ්‍යාව තුළ නම් එය මහත් ඛේදවාචකයකි. යම් හෙයකින් රෝගීන් සංඛ්‍යාව රෝහල් වලට දරා ගත නොහැකි මට්ටමට පත් වුවහොත් ඊට විකල්ප ක්‍රියාමාර්ග ගනීමට රජය අපොහොසත් වුවහොත් එය බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වීමට හේතු වනු නියතය. එබැවින් මේ තත්වය වළක්වා ගැනීමේ වගකීම ජනතාවට ද නිතැතින්ම පැවරේ. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම, නිසි පරිදි අත්සේදීම, ජනතාව ගැවසෙන ස්ථාන මග හැරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීම සියලු දෙනාම පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති වේ. රෝග ලක්ෂණ පහළ වූ වහාම ඊට නිසි ප්‍රතිකාර සිදු කිරීම හා අවදානම් පුද්ගලයින් ගැන අවධානයෙන් සිටීම මගින් රෝගයෙන් සිදුවන හානි අවම කර ගත හැකිය. කොවිඩ් වෛරසය කා හට කොහේදී කුමන අවස්ථාවක කුමන ආකාරයකින් ආසාදනය වේ දැයි අනුමාන කළ නොහැකිය. එනිසාම එහි මීළඟ ගොදුර ඔබ හෝ මම විය නොහැකි යැයි නිශ්චිතව කිව නොහැකිය.

කොවිඩ් වලට ආයුර්වේද බෙහෙත් නැද්ද? යන ප්‍රශ්නයට පිළිතුරු ලැබී තිබේ. මේ වන විට කොවිඩ් රෝගීන් ආයුර්වේද රෝහල් වල ද ප්‍රතිකාර ලබති. එහෙත් සෞඛ්‍ය පද්ධතිය අතිශයින් අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින මේ මොහොතේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සහයෝගය වඩාත් පුළුල් ලෙස ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් 19 යනු වෛරසයකින් ආසාදනය වී සමාජය තුළ වසංගතයක් ලෙස ව්‍යාප්ත වන රෝගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම රෝගය හෙළ වෙදකමෙන් දිනකින් දෙකකින් සුව කරනවා යැයි කටමැත දොඩන තක්කඩි හොර වෙදුන් කොවිඩ් රෝගය ගැන හෝ වෙදකම දන්නා ඉටිගෙඩියක් නැති බව මුලින්ම කිව යුතුය. ඉබේ සුව වෙන රෝගීන් හට කුමක් හෝ බේතක් දීමෙන් තමන්ගේ බේත නිසා රෝගියා සුව වූ බවට පුරසාරම් කියන තක්කඩි වෙදුන් අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. ඔවුන් ඔසවා තබන යූටියුබ්කරුවන් ද ඕනෑ තරම් සිටිති. කොවිඩ් රෝගයේ නියම තොරතුරු වෙනුවට මිනිසුන් නොමග යවන කෙප්ප වලට හෙළ ලේබලය අලවා සමාජගත කරන මොවුන් නිසා ආයුර්වේදයේ වෘත්තීය ගරුත්වය ද නැතිවේ. අද වන විට බොරු පැණි වලට උඩගෙඩි දුන් බලධාරීන් පවා එන්නත ගැන ජනතාවට ආයාචනා කිරීම කතා කිරීම විහිළුවක් බවට පත් වී තිබේ.

මෙම වෛරසය ආසාදනය වන සියලු දෙනා හට රෝගය වැළඳෙන්නේ නැත. එසේම කොවිඩ් රෝගය වැළඳුනු සියලු දෙනාටම රෝග ලක්ෂණ මතුවන්නේ ද නැත. රෝග ලක්ෂණ මතුවන සියලු දෙනා හට රෝගය බරතපතල වන්නේ ද නැත. බරපතල වන සියලු දෙනා මියයන්නේ ද නැත. වෛරස මගින් බෝවෙන රෝග බොහෝ විට නියමිත කාලයක් ඇතුළත ශරීරය විසින්ම නිපදවන ප්‍රතිදේහ මුදාහැරීමෙන් පසුව සුව අතට හැරේ. එහෙත් ඒ අතරතුර කාලය තුළ රෝගියා ගේ ප්‍රතිශක්තිය අනුව අඩු වැඩි වශයෙන් රෝග ලක්ෂණ පහළ කරයි. කොවිඩ් වැළඳුනු සමහර අයට එබඳු රෝග ලක්ෂණ පහළ වීමක් සිදු නොවන අවස්ථා ද තිබේ. බොහෝ දෙනෙකුට මෘදු රෝග ලක්ෂණ ඇති වී කිසිම ප්‍රතිකාරයක් නැතුවම සුව පත් වේ. සමහර අයෙකුට මෘදු රෝග ලක්ෂණ වුවත් යම් ආකාරයක ප්‍රතිකර්ම වලින් පාලනය කළ යුතුය. එහෙත් සමහර කෙනෙකුට රෝගය බරපතල වන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතුය. එය හුදු ඖෂධ වලින් පමණක් කරන ප්‍රතිකාර නොව යාන්ත්‍රික මෙවලම් ආධාරයෙන් ද සිදු කරන තාක්ෂණික මෙහෙයුමකි.

මෘදු රෝග ලක්ෂණ වුවත් ද්විතීය ආසාදන නිසා බරපතල වන අවස්ථා තිබෙන හෙයින් වෙනත් රෝග ඇති පුද්ගලයින් ඒ අවධානයෙන් සිටීම අවශ්‍ය වේ. රෝගය බරපතල තත්වයට පත් වූ විට එයින් ඇති වන සංකූලතා පාලනය කිරීමට ඉතා ප්‍රවේශමෙන් රෝගියා ගේ ජීවිතය බේරාගැනීමට කඩිනමින් ක්‍රියා කළ යුතුය. දැඩි සත්කාර ඒකකයක් තුළ දී නියුමෝනියා තත්වය නිසා ශ්වසන අපහසුතා තිබෙන රෝගීන් හට යාන්ත්‍රික මෙවලම් ආධාරයෙන් හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සිදුකරයි. බොහෝ රෝගීන් මෙවැනි යාන්ත්‍රික මෙවලම් වලට සවි කිරීමෙන් පසුව ජීවිතය බේරාගන්නේ ඉතා අපහසුවෙනි. බොහෝ දෙනා අවාසනාවන්ත ලෙස මිය යයි. එසේ තිබිය දී නියුමෝනියා තත්වය නිසා අසාධ්‍ය වූ රෝගියෙකු හට තමන්ගේ හෙළ වෙදකමෙන් ප්‍රතිකාර කළ හැකි යැයි කටමැත දොඩන හොර වෙදුන්එබඳු රෝගියෙකුට ප්‍රතිකාර කරනවා තබා දැක තිබේ දැයි සැකයකි. එබැවින් එවැනි අභියෝග කරන්නේ මෝඩ කමට වඩා බඩවඩා ගැනීමේ අරමුණ ඇති තක්කඩිකම නිසා බව කිව යුතුය. එන්නතේ පිහිටෙන් පමණක් රෝගයෙන් බේරී සිටින්නට හැකි යැයි විශ්වාස කිරීම ද එබඳුම මෝඩකමකි.

එහෙත් රෝගියා බරපතල තත්වයට පත් නොවී බේරා ගැනීමට අපේ දේශීය ප්‍රතිකාර වලින් හැකි බව මේ වන විට පැහැදිලිව පෙනී ගොස් තිබේ. බරපතල රෝගීන් හට බටහිර හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම වල සංකලනයෙන් ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමයක් වහා ස්ථාපිත කිරීමෙන් රෝගීන් මරණයෙන් බේරා ගැනීමේ හැකියාව ඉහළ යනු ඇත. ආයුර්වේදය හෝ දේශීය වෛද්‍ය ක්‍රමය මෙවැනි රෝගීන් හට ප්‍රතිකාර කරනුයේ රෝග ලක්ෂණ පාලනය කිරීමට නිසා ඒවාට හේතු වන වෛරසය වෙන් කොට හඳුනා ගැනීමක් අවශ්‍ය වූයේ නැත. රෝගය සුව වීම නිශ්චය කරන්නේ නියමිත දින ගණන ගතවීමෙන් පසුව රෝගියා ගෙන් අන් අයට රෝගය බෝ නොවන බවට හා රෝගියාට වෙනත් සංකූලතාවක් නැති බව තහවුරු වීමෙන් පසුවය. නිට්ටාවට සුව වීම එයයි. එයට මූලික වශයෙන් දින 14 සිට 28 ක් දක්වා කාලයක් ගත විය හැකිය. කලාතුරෙකින් රෝගියෙකුට රෝග ලක්ෂණ හෝ සංකූලතා දිගු කලක් පැවතීමත් නැවත ආසාදනයක් ඇති වීමත් හැරුණු කොට සෑම රෝගියෙක් ගේ සිරුර තුළම ප්‍රතිදේහ ඇතිවීමෙන් පසුව රෝගය නිට්ටාවට සුව වූ බව කිව හැකිය. මෙවැනි රෝග “දෙයියන් ගේ ලෙඩ” ලෙස හැඳින්වූයේ එනිසාය.

හෙළ වෙදකමෙන් වරු තුනෙන් පීසීආර් නෙගටිව් කරන බවට කටමැත දොඩන තක්කඩියන් පීසීආර් ගැන හෝ කොවිඩ් ගැන මළපොතේ අකුරක් නොදැන විහිළු කරති. පීසීආර් පොසිටිව් වූ කෙනෙකු ගේ එම පරීක්ෂණ ප්‍රතිඵලය නෙගටිව් වීම සිදු වන්නේ එක කාලයක් ඇතුළත නොවේ. සමහර කෙනෙකු ගේ පීසීආර් පරීක්ෂණය කරන්නේ ආසාදනය සිදු වී සෑහෙන දින ගණනක් ගත වූ පසුවය. ආසාදනයේ අවසන් දින කිහිපය තුළ කෙටි කලකින් පරීක්ෂණය නෙගටිව් වීමේ ඉඩකඩ ඉතා වැඩිය. ප්‍රතිදේහ නිපදවීමෙන් පසුව වුවත් පීසීආර් පොසිටිව් ප්‍රතිඵල පෙන්විය හැකිය. එබැවින් සුව වූ රෝගියෙකුගේ පීසීආර් පොසිටිව් වීමක් සිදු වුවොත් එය අරුමයක් නොවේ. ඒ නිසා පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලට වඩා රෝගියා නියමිත දින ගණන ගත කර තිබේද? යන්න වැදගත් වේ. එනිසා පීසීආර් පරීක්ෂණයෙන් පසුව අවම වශයෙන් දින 10 ක් හුදකලා කොට තැබීම සිදු කෙරේ. එසේම පසු අදියරේ දී පීසීආර් පොසිටිව් පුද්ගලයෙකු ගෙන් රෝගය ආසාදනය වීමක් අනිවාර්යෙන්ම සිදු නොවේ. එම නිසා කොවිඩ් රෝගයට ප්‍රතිකාර කිරීමට අදාළ ආයුර්වේද සිද්ධාන්ත නොදන්නා හොර වෙදුන් ගේ විකට ජවනිකා වලට නොරැවටී නියම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අවදානමෙන් මිදිය හැකිය.

රෝගය ගැන නිසි අවබෝධයෙන් යුක්තව නියම වෙද උරුමයක් සහිතව වෙදකමේ නියැලෙන කෘතහස්ත දේශීය වෛද්‍යවරුන් කිසිවිටෙකත් පුරසාරම් නොකියති. ඕනෑම ලෙඩෙක් සුව කරනවා යැයි කටමැත නොදොඩති. අසාධ්‍ය ලෙඩුන් සුව කරනවා යැයි අභියෝග නොකරති. වෘත්තීය ගරුත්වය ඇතිව තමන්ගේ සීමාව තුළ ශිෂ්ටසම්පන්න ලෙස රෝගය හඳුනා ගෙන උගත් ශාස්ත්‍රයට අවමන් නොකොට රෝගියාගේ සුවය පිණිස ප්‍රතිකාරය සිදු කරති. රෝගියාගේ තත්වය අනුව රෝගය සුව කිරීමේ ලා උත්සුක වන දක්ෂ වෛද්‍යවරයා කිසිවිටෙකත් සුව කළ රෝගයක් සුව කරන බවට පුරසාරම් කියමින් සමාජය මුලා කරන්නේ නැත. එසේම ඉබේම සුව වන රෝගයක් තමන් සුව කළා යැයි උදන් අනන්නේ ද නැත. කොවිඩ් නිට්ටාවට සුව කරන බවට සමාජ මාධ්‍ය වල කෑමොර දෙන බොහෝ දෙනා කරන්නේ කුමක් හෝ ඖෂධයක් දී ඉබේම සුව වන කොවිඩ් ලෙඩුන් ගෙන් ගොඩයන උප්පරවැට්ටිය වේ. බටහිර රෝහල් වලිනුත් දිනකට සිය ගණනක් කොවිඩ් රෝගීන් සුවය ලබන්නේ එම වෙදකමේ හාස්කමක් නිසා නොවේ. එය අපේ වෙදකමට ද සාධාරණ වේ.

වෛරසය ආසාදනය වීමෙන් පසුව රෝග ලක්ෂණ පහළ නොවී රෝගය පහසුවෙන් සුව වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන ඔසු ආයුර්වේදය තුළ තිබෙන බව ජනතාව විශ්වාස කරයි. ඔවුන් ඒවා පසුගිය කාලයේ දී ඉතා පුළුල් ලෙස භාවිතා කළ බව දනිමු. එහෙත් වෛරසය ආසාදනය නොවීමට යම් බෙහෙතක් ඇතැයි පැවසීමට තරම් සාක්ෂියක් අප සතුව නැත. කොවිඩ් රෝගය වැළඳුනු පසුව රෝග ලක්ෂණ බරපතල නොවීමට හා සංකූලතා ඇති නොවීමට යම් ආකාරයක සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදය හරහා හඳුන්වා දීමට හැකියාව ඇති බව අත්දැකීමෙන් දනිමි. එසේම එවැනි ප්‍රතිකාර පද්ධතියක් ඒ ඒ රෝගියාගේ තත්වය අනුව වෙනස් කළ විශේෂිත රාමුවක් තුළ ගොනු කළ යුතුය. එවැනි ප්‍රතිකාර ව්‍යාධිජනකය ඉලක්ක කොට නොව ධාරකයා ඉලක්ක කොට සකස් කළ පද්ධතීන් බව අමතක නොකළ යුතුය. රෝගය සුවපත් වීම යනු වෛරසය සිරුරෙන් ඉවත් වීම පමණක් නොව කල්පවත්නා පරිදි ප්‍රතිදේහ වල තිරසාර පැවැත්ම ද සහතික කිරීමක් ද වේ. වෛරස ප්‍රභේදය කුමක් වුවත් ඒවායේ රෝග ලක්ෂණ අනුව රෝගීන් හට ප්‍රතිකාර කිරීමට නොයෙක් ආකාරයේ ක්‍රමවේද ආයුර්වේදය සතුව තිබේ.

දැන් රටේ තත්වය ක්‍රමයෙන් අවදානම් සහගත වෙමින් තිබේ. දිනෙන් දින වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතී. නිරෝගී මිනිසුන් කොවිඩ් නිසා මියයන අවස්ථා අපිට අසන්නට ලැබේ. මේ තත්වය දිගටම පැවතුන හොත් මරණ සංඛ්‍යාව ද ඉතා ඉහළ යනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් දැනටමත් අනතුරු හඟවා ඇත. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ආසාදිතයින් නිවෙස් වල රඳවන තත්වයක් උදාවී තිබේ. දැඩි සත්කාර ඒකක වල ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා රෝගීන් ගේ ජීවිත අවදානමට ලක් වන අවස්ථා ද වාර්තා වේ. ඒ තත්වය යටතේ ඇති වන සමාජ බිය හා ජනතාව තුළ ඇති අවිනිශ්චිත බව ප්‍රයෝජනයට ගනිමින් නොයෙක් ආකාරයේ ජාවාරම් ද කල එළි බසිමින් තිබේ. මේ සියලු ජාවාරම් වලින් හෙළ වෙදකම නමින් අවභාවිත කරනුයේ අපේම දේශීය වෛද්‍ය ක්‍රමය වේ. ඒ නිසාම බටහිර වෛද්‍යවරුන් ද දේශීය වෙදකමට අසාධාරණ ලෙස අවමන් කරති. එබැවින් අපි සිදු කරන කුමන හෝ ප්‍රතිකාරයක් නිසි ආයුර්වේදයේ ශාස්ත්‍රීය සිද්ධාන්ත අනුව කළ හැකි සීමාවන් තුළ පමණක් සිදු කිරීමට වග බලා ගත යුතුය. නොඑසේ නම් සිදුවන්නේ සමාජ ව්‍යසනයකි. වෘත්තීය අගතියකි.

ඒ නිසා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මෙන්ම රෝග නිවාරණය පිණිස පනවා ඇති නීති රීති අනුගමනය කිරීම සමාජය දිරිගැන්වීම වෘත්තීය වගකීමක් වේ. රෝගය වැළඳුන හොත් එයින් ඇති වන විපාකය කල් තබා අනුමාන කළ නොහැකි වුවත් රෝගීන් ගෙන් වැඩි ප්‍රතිශතයක් බරපතල නොවී සුවය ලබන බව පෙනී යන සත්‍යයකි. එහෙත් මරණයට පත් වන්නේ කුමන හෝ ආකාරයකින් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වීමක් ඇති අය බව ද පර්යේෂණ වලින් හෙළි වී තිබේ. ඒ නිසාම වෛරසය මරා දැමීමට වඩා ප්‍රතිශක්ති ප්‍රතිචාරය වර්ධනය කිරීමට අවශ්‍ය ඖෂධ යෙදීම ප්‍රායෝගිකව සාර්ථක බව පෙන්වා දී ඇත. ඒ අනුව ආයුර්වේදය පදනම් කරගත් ධාරක-ඉලක්ක ගත ප්‍රතිකාර (host-directed therapies) වැඩි දියුණු කිරීමෙන් වඩා ප්‍රතිඵලදායක ලෙස රෝගීන් ගේ තත්වය බරපතල වීම අවම කිරීමෙන් මරණ සංඛ්‍යාව අඩු කිරීමට හැකි වනු ඇත. එහෙත් ඒ සඳහා බටහිර වෛද්‍යවරුන් ගේ සහ නවීන වෛද්‍ය පහසුකම් වල සහය ද තරමක් දුරට හෝ අවශ්‍ය වේ. මෙවැනි අවස්ථාවක වෘත්තීය කුහකත්වය හෝ ඒකාධිකාරය නොපෙන්වා ඊට යම් සහයෝගීතාව පෙන්වීම මානවහිතවාදී ලක්ෂණයකි. බටහිර වෛද්‍ය ක්‍රමයේ අධිපතිවාදය වෙනුවට ජනතාහිතවාදී සෞඛ්‍ය පද්ධතියක් තුළ දේශීය වෛද්‍ය ක්‍රමයේ සහය ලබා ගැනීම වහා කළ යුත්තකි.

ආයුර්වේදය හා නවීන වෛද්‍ය ක්‍රමය එක්ව කටයුතු කරන සමෝධානීය වෘත්තීය සංස්කෘතියක් (harmonized professional culture) හා සහබද්ධතා (integrated) සේවා පද්ධතියක් ඇති කිරීම මෙවැනි හදිසි අවස්ථාවක දී වඩා සඵලදායී බව අමුතුවෙන් කිවයුතු නොවේ. දැනටමත් ප්‍රතිඵල පෙන්වා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම විධිමත් ලෙස ප්‍රමිතිගත කොට රෝගීන් හට ලබාදීමේ වැඩපිළිවෙළක් වහා ස්ථාපිත කළ යුත්තේ එනිසාය. මෘදු ලක්ෂණ සහිත රෝගීන් ගේ තත්වය ආයුර්වේද ඖෂධ මගින් පාලනය කළ හැකි නම් බරපතල තත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාව අඩු කළ හැකි බව වාර්තා වලින් පෙනී යන කරුණකි. කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී නවීන රෝග පරීක්ෂණ ක්‍රම, රෝගී කළමනාකරණ මෙවලම් හා ඖෂධ යෙදවුම් තාක්ෂණය සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය වඩා සාර්ථකව භාවිතා කළ හැකි බව චීනය ඉතා මැනවින් ඔප්පු කොට තිබේ. එනිසා වෛද්‍ය විද්‍යාවේ දියුණුව ඉදිරියේ මෙල්ල නොවන කොවිඩ් වෛරසයට බිලිවන රෝගීන් ගේ ජීවිත බේරාගැනීමට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ගත හැකි උපරිම දායකත්වය ලබා ගැනීමට බලධාරීන් ගේ අවධානය යොමු විය යුතුය.

විශේෂයෙන්ම ආසාදිතයින් නිවෙස් වල රඳවා ප්‍රතිකාර කිරීමේ දී එම නිවෙස් ස්වයං-ප්‍රතිකාර ඒකක බවට පත් කොට එහි සිටින ආසාදිතයින් ගේ සෞඛ්‍ය තත්වය රැකබලා ගැනීමට ආයුර්වේද වෛද්‍යවරුන් ගේ සහය ලබා ගැනීම සුදුසුය. හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් අවශ්‍ය පරිදි රෝහල් කරා යොමු කිරීම හෝ එබඳු පහසුකම් නැති විටෙක දී වෙනත් ආකාරයෙන් රෝග ලක්ෂණ පාලනය කිරීමට ඔවු හට යම් නීතිමය අවසරයක් ලබා දීම මෙහිදී කළ හැකිය. රෝගීන් ගේ සුබසිද්ධිය අරමුණු කොට ගත් සෞඛ්‍ය සේවාවක් කඩා නොවැටී පවත්වා ගෙන යාම සඳහා දේශීය වෛද්‍ය ක්‍රම වල දායකත්වය විධිමත් ලෙස ලබා ගැනීමට බලධාරීන් නම්‍යශීලී නොවුවහොත් එහි විපාකය විඳින්නේ ජනතාවය. එබැවින් කල් නොයවා ජාතික මට්ටමෙන් යම් වැඩපිළිවෙළක් සකස් කොට එය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් සමඟ එක්ව යම් ප්‍රාදේශීය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් මෙහෙයවීමේ සංවිධිත සේවා ජාලයක් ස්ථාපනය කළ යුතුය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය හෝ වේවා කිසිම වෛද්‍ය ක්‍රමයක් සර්ව සම්පූර්ණ නොවේ. එබැවින් එක වෛද්‍ය ක්‍රමයක් උතුම් කොට අනෙක් වෛද්‍ය ක්‍රම වලට ගැරහීම නොකළ යුතුය. ලංකාව ලෝකයේ අනෙක් රටවලට වඩා හොඳින් කොවිඩ් වලට ඔරොත්තු දෙන්නේ හෙළයින් ගේ මහා අද්භූත බලවේග වල හාස්කම් නිසා යැයි සිතා සැනසෙන මොන්ටිසෝරි ලාමක අදහස් ඇති අය කෙරෙහි අනුකම්පා කරනු මිස අන් කුමන පිහිටක් ද? එසේම සියල්ලට ඉහළින් ඇති රාවණාගේ හෙළ වෙදකම ගැන සිහින මවමින් මිථ්‍යාව කර තබා ගෙන යන සමාජය නොයෙක් බොරු බේත් පසුපස යමින් ඒවා ගැන විශ්වාසය තබා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අමතක කරනවා නම් එය කණගාටුදායකය. එසේම එන්නත ගැන පමණක් විශ්වාසය තබා වෛරසයෙන් ගැලවීමට සිතා අනාරක්ෂිතව සිටිනවා නම් ඒ තත්වය ද ඉතා ප්‍රවේශම්රහිතය. එසේම සෞඛ්‍ය අංශ වල කැපවීම හා ඔවුන්ගේ සේවාව හෙළා දකිමින් කතා කරනවා නම් එය ඉතා ගුණමකු නරුම පිළිවෙතකි. ලෝකයේ බොහෝ ජාතීන් සිය සම්ප්‍රදාය උරුමය අනන්‍යතාව ගැන අභිමානයෙන් කතා කරති. අපි ද එසේම අභිමානයෙන් සිටිය යුත්තෙමු. එහෙත් මෝඩයින් සේ හැසිරිය යුතු නොවන්නෙමු. වසංගතය දොරකඩට නොව නිවෙස තුළට පැමිණ තිබේ. කිසිවෙක් සුරක්ෂිත නැත.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us