Helabima

මාස තුනට අඩු පුංචි බබා නිතරම අඬනවද? මෙන්න මේ ගැන කියවන්න

රොශානි අබේරත්න


බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා
විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා
සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා
මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා …

මේක ශාන්තිකර්ම කවියක්. ගිරිදේවියගේ එක වේෂයක් වෙන බාලගිරි කියන යක්ෂණිය පුංචි දරුවන් සිහිනෙන් බය කරමින් ඔවුන් නිතර හැඬවීමට ලක්කරන බවට පැරැණන් තදින් විශ්වාස කලා. ඒ නිසාම ඔවුන් කුඩා දරුවෙකු ඉපදුන අළුත නිවසේ ඉදිරිපස දොරේ "බාලගිරි දෝෂය අද නොවේ හෙට" යනුවෙන් වැකියක් සඳහන් කරන්නත් අමතක කලේ නැහැ. දරුවාට වින කරන්න එන බාලගිරිනම් යක්ෂණිය, මේ “අද නොවේ හෙට” කියන වැකිය දැකලා ඇඟේ ගමන හෙට දවසට කල් දමන බව ඔවුන් විශ්වාස කලා.

මේ විදිහට නොදුටු යක්ෂණියක් තමන්ගේ දරුවන්ට වින කරන බවට සැකයක් පැරණි ගැමියන් තුල ඇතිවෙන්න හේතුවුණ හුඟක් කාරණා, එහෙමත් නැත්තම් ලක්ශණ අළුත ඉපදුන කුඩා දරුවන් තුල සාමාන්‍යයෙන් දකින්න තියෙනවා. මාස තුනට අඩු පුංචි බබාලා බොහෝදුරට හේතුවක් නැතුව අධික ලෙස හඬනවා අපිට නිතර දකින්න පුළුවන්. විෂේශයෙන්ම රාත්‍රී කාලයට ඔවුන් හඬන ප්‍රමාණය බොහොම ඉහලයි. මේ දරුණු ලෙස හැඬීම තමයි බාලගිරි ඇතිකරන දෝෂය කියලා පැරණි වැඩිහිටියන් විශ්වාස කලේ.

හැබැයි අද කාලේ පැරණි මත හිසදරාගෙනම ඉන්න අවශ්‍ය නොවෙන තරමට තාක්ෂණය ඉතාමත් දියුණුයි. කුඩා දරුවන් තුල ඇතිවෙන ලෙඩරෝග බහුතරයක් විද්‍යාත්මක හේතු කාරණා එක්ක සනාථ කරල තියෙනව වගේම ඒ සියළු රෝග වලට නිසිකලට ලබාදෙන්න අවශ්‍ය ප්‍රතිකාරත් වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙනවා. අපි කතාකරපු බාලගිරි දෝෂය කියල කියන්නෙත් අද කාලෙ වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර හොයාගත්තු තවත් රෝග තත්වයක් කියල කියන්න පුළුවන්. ඒ පුංචි දරුවන්ට වැළඳෙන කොලික් කියන රෝග තත්වය. මේ බාලගිරි සහ කොලික් කියන දෙකම එකක් බවට ප්‍රකාශ කරන්න විශේෂ පර්‍යේෂණයන් කරල නැතත් මේ තත්වයන් දෙකේම දකින්න තියෙන රෝග ලක්ෂණ බොහෝම සමානයි. ඉතින් මේ තරම්ම වෛද්‍ය විද්‍යාව දියුණු කාලෙ පුංචි බබාල අඬනකොට "බාලගිරි දෝෂය අද නොවේ හෙට" කියලා දොරේ ලියලා අත්බැඳගෙන බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ පැරණි විශ්වාස, පුරුදු ඉදිරියට අරගෙන ගියාට වරදක් නැහැ. හැබැයි දරුවාගේ අපහසුතාවය දුරුකරන්න නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමත් බොහොම වැදගත්. ඒක බබාටත්, අම්මටත් ඒ වගේම අවට ඉන්න අනිත් වැඩිහිටියන්ටත් පහසුවක්.

මොකක්ද මේ කොලික් තත්වය?

කොලික් යනුවෙන් හැඳින්වෙන්නේ රෝගයක් නොවෙන නමුත් පුංචි දරුවන්ට අපහසුතාවයක් ඇතිකරන තත්වයක්.  බොහෝදුරට මේ කොලික් තත්වය දකින්න තියෙන්නෙ බොහොම නිරෝගීව උපන් කුඩා දරුවන් තුල. ඒ වගේම තමයි මේ කොලික් කියන තත්වය තාවකාලික තත්වයක්. කොලික් කියන නමින් මේ තත්වයේ පැහැදිලි වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ගැන දැනුවත් පිරිස සුලභ නොවෙන නමුත් ප්‍රයෝගිකව මේ තත්වය ගැන අත්දැකීම් ඇති දෙමව්පියන්නම් අපි අතරේ බොහොම සුලභයි.

කොලික් යනු ඉතාම කුඩා අවධියේ එනම් මාස 3 හෝ 4ට අඩු කුඩා දරුවන්ගේ ප්‍රධාන වශයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය සහ ඒ ආශ්‍රිත ඉන්ද්‍රියන් කේන්ද්‍ර කොටගෙන ඇතිවෙන අපහසුතාවයක් නිසා දරුවන් ඉතා අධිකව හැඩීම සහ කලහකාරී ලෙස හැසිරීම. කුඩා දරුවන් නිතර හැඩීම බොහොම සාමාන්‍ය වුණත් මෙම තත්වය සාමාන්‍ය තත්වයෙන් ඔබ්බට ගිහින් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් තත්වයක්. කලින් සඳහන් කළා වගේම ප්‍රතිකාර මඟින් බොහෝදුරට සමනය කලහැකි සහ කල්යත්ම නිරායාසයෙන්ම සුවවන තාවකාලික තත්වයක්.

මේ කොලික් තත්වය ඇතිවෙන්නේ උපතේ සිට වයස සති දෙකක් වගේ කාලයේදී. ඒ වගේම කොලික් තත්වය වැඩිදියුණු වෙලා උපරිම මට්ටමට පැමිණෙන්නේ වයස සති 6ක් වැනි කාලයේ සිට. ඒ කියන්නෙ කොලික් තත්වයෙන් පෙලෙන දරුවෙකු මීට අදාළ රෝග ලක්ෂණ උපරිමයෙන් පෙන්වන කාලයක් තමයි සති 6 සිට ඇරඹෙන්නේ. නමුත් මේ තත්වය කිසිඳු ප්‍රතිකාරයක් නොමැති වුනත් මාස 3 හෝ 4 පහුවෙනවිටම ඉබේම සුව වෙනවා.

කොලික් රෝග ලක්ෂණ?

කොලික් තත්වයේ මූලික ලක්ෂණය ඉතා අධිකව හැඬීම. හැබැයි කුඩා දරුවන් හඬන එක සාමාන්‍ය බව අපි විශ්වාස කරන නිසාත්, පෙර සඳහන් කල බාලගිරි දෝෂය වැනි විවිධ විශ්වාසයන් අපි අතරේ පවතින නිසාත් බොහෝදුරට මෙම තත්වයට ප්‍රතිකාර ලබාගන්න දෙමව්පියන් යොමුවෙන්නේ නැහැ. එය හුදෙක්ම ඔවුන්ගේ නොදැනුවත්භාවය. නමුත් මේ තත්වය දරුවාට අපහසුතාවයක් වනවාසේම දරුවා රැකබලාගන්න වැඩිහිටියන්ටත් ඉතාම පීඩාකාරී තත්වයක්. ඒ නිසා අලුත උපන් දරුවෙක් පහත ලක්ෂණ පෙන්වනවානම් ඒ කෝලික් තත්වය බව සැක ඇතිකර ගත්තාට වරදක් වෙන්නේ නැහැ.

  • කිසිඳු සාධනීය හේතුවකින් තොරව දරුවා නිරන්තරයෙන් හැඬීම. වැඩිදුරටත් පැහැදිලි කලොත් කුසගින්න, නිදිමත හෝ වෙනත් අපහසුතාවයක් නැතත් දරුවා ඉතා තදින් වේදනාත්මක ස්වරූපයෙන් හැඬීම.
  • හඬන අවස්ථාවන්හිදී දරුවා අතපය දරදඬු කරගෙන, අත් මිට මොලවාගෙන, පසුපසට නැමෙමින් හැඬීම.
  • හඬන විට මුහුණ තද රතු පැහැයට හැරීම.
  • විශේෂයෙන්ම සවස් කාලයට සහ සවස් කාලයේත් එක් තෝරාගත් වෙලාවක් පුරුද්දක් ලෙස හැඬීම.

කොලික් ඇතිවෙන්නේ ඇයි?

කොලික් කියන තත්වය ඇතිවෙන්න බලපාන නිවැරදිම හේතුව මෙන්න මේකයි කියල සනාථ කල හේතුවක් වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නෙ නැහැ. නමුත් මේ තත්වය ඇතිවීමට බලපාන හේතු විදිහට විවිධ වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් විවිධ මත කිහිපයක් පළකරනවා. ඒ අතරින් ප්‍රධාන ලෙසම සැලකෙන හේතු විදිහට මේ හේතු සලකන්න පුළුවන්.

අලුත ඉපදෙන කුඩා දරුවෙකුගේ අවයව පද්ධතිය වැඩුණු මිනිසෙකුගේ තරම්ම කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරන්නේ නැහැ. එහෙම නොවෙන්නේ ඒ අලුත් අවයව තවම හරිහැටි වර්ධනය වී නොමැති නිසායි. මේ හේතුව නිසා තමයි උපන් අළුත පුංචි දරුවන් මව්කිරි බීල අවසන් උනහම දරුවාව උඩ අතට ඔසවාගෙන බඩේ රැඳෙන වාතය ගුඩුස් මඟින් පිටකරන්න අපි උපකාර කරන්නෙ. මේ කොලික් කියන තත්වය ඇතිවෙන්න එහෙම පිටතට නොයා අමාශය තුල රැඳුණු වාතය බලපාන බව වෛද්‍යවරුන් විශ්වාස කරනවා.

ඒ වගේම වැඩිහිටි අපිට වගේම අමාශයේ ආම්ලිකතාවය එහෙමත් නැත්තම් සරලව අපි සියලු දෙනාම දන්න ගැස්ට්‍රයිටිස් හෙවත් ගෑස් කියන තත්වය නිසාත් කුඩා දරුවන් මේ කොලික් කියන අපහසුතාවය අත්විඳින බව සැලකෙනවා.

අමාශය සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පවතින නිරෝගී, හිතකර බැක්ටීරියා වල අසමතුලිතතාවය නිසාත් ආමාශය ආශ්‍රිතව දරුවාට අපහසු තත්වයක් දැනෙන්න පුළුවන්.

ඒ වගේම උදරයේ වේදනාව ඇතිකරන හෝර්මෝන ක්‍රියාකාරිත්වයක් නිසාත් දරුවා කොලික් ලක්ෂණ පෙන්වමින් තදින් හඬන්න පුළුවන්.

මේ ප්‍රධානම හේතු වලට අමතරව ළමා ඉරුවරදයේ මූලික අවධියක් ලෙස වගේම ආලෝකය හා ශබ්දය කෙරෙහි දක්වන අධික සංවේදීතාවය හේතුකොටගෙනත් මේ කොලික් තත්වය ඇතිවෙන්න පුළුවන් බව පැවසෙනවා.

රෝග විනිෂ්චය

කොලික් කියන්නෙ රෝගයක් නොවෙන තත්වයක් වුණත්, මාස 3,4 කාලය වනවිට නිරායාසයෙන්ම සමනය වුණත්, ඒ කාරණා ගැන හිතල මේ රෝගයට නිසි වෛද්‍ය උපදෙස් නොගෙන සිටීම හොඳ තීරණයක්නම් නොවෙයි. දරුවා ඒ මුළු කාලසීමාවම අපහසුවෙන් ගතකරනව වගේම නිරන්තරයෙන් සිදුකරන හැඬීම නිසා රැකබලාගන්නන් ඉතාම වෙහෙසට සහ මානසික පීඩනයකට ලක්වෙන්න හැකියාව තියෙනව. එපමණක් නොවෙයි, මේ අධික ලෙස හැඬීම කොලික් නොවෙන වෙනත් රෝගයක ලක්ෂණයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දරුවාට ඉහත සඳහන් කල ලක්ෂණ තිබෙනවානම් හැකි ඉක්මනින් ළමා රෝග  සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ලබාගැනීම සිදුකල යුතුයි.

කොලික් රෝග විනිශ්චය සඳහා කිසිම විශේෂ පරීක්ෂාවක් සිදුකෙරෙන්නේ නැහැ. වෛද්‍යවරයා දරුවාගේ රැකබලාගන්නන් සමඟ රෝග ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීමකින් පසු දරුවාගේ භෞතික පරීක්ෂාවක් සිදුකර මේ තත්වය පිළිබඳව නිගමනයකට එළඹෙනවා. කොලික් හැරුනුකොට වෙනත් රෝග තත්වයක් පිලිබඳ සැක කරන්නේනම් පමණක් වෙනත් විශේෂ පරික්ෂණයන් සිදුකරගැනීමට නියම කෙරෙනවා.

ප්‍රතිකාර

කොලික් කියන තත්වයට නිශ්චිතව පැවසිය හැකි එක් හේතුවක් නොමැති නිසාම මේ තත්වයට නිශ්චිතවූ එක් ප්‍රතිකාරයක්ද නැහැ. ඒ වගේම කොලික් කියන තත්වය මුළුමනින්ම සුව කරන්න හැකියාවකුත් නැහැ. කලින් සඳහන් කලා වගේම මාස 3,4 කාලය පහුවෙලා මේ තත්වය සමනය වනතුරු අපහසුතා පාලනය කරන්න තමයි ප්‍රතිකාර ලබාදෙන්නේ. දරුවා පරීක්ෂා කරන වෛද්‍යවරයා පවතින ලක්ශණවල ස්වභාවය අනුව ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. ඒ වගේම මව ගන්නා විවිධ ආහාර හෝ ඖෂධ වර්ග නිසා මව්කිරි හරහා දරුවාට ඇතිවෙන අපහසුතා මඟහරින්න සමහර ඖෂධ සහ කිරි ආහාර වගේ දේවල් තාවකාලිකව පරිභෝජනය නොකරන්න මවට උපදෙස් ලැබෙන්න පුළුවන්. ඒ හැරුණුකොට තදින් හඬන අවස්ථාවල පහත ක්‍රම මඟින් දරුවාගේ අපහසුතාවය පාලනය කරලා දරුවාට පහසුව සලසන්න පුළුවන්.

  • නියමිත වෙලාවට කිරි ලබාදී ළදරුවා කුසගින්නේ නොවන බව තහවුරු කරගැනීම.
  • අමාශයේ රැඳෙන වාතය ඉවත් කිරීමට නියමිත ආකාරයෙන් ගුඩුස් යැවීම.
  • දරුවාට පහසුව සැලසෙන සේ උඩ අතට වඩාගෙන ඇවිදීම. ඇවිදින අතරතුර දරුවාගෙ පිට පෙදෙස පිරිමැදීම.
  • පටිගත කරන ලද white noise එකක් හෝ ෆෑන් එකක ශබ්දයක් නින්දේදී ඇසෙන්නට සැලැස්වීම. මෙය දරුවාට සුව නින්දක් ලබාගැනීමට උපකාරී වේ.
  • හැඬීම පාලනය නොවේනම් ආරක්ෂාකාරී වාහනයක (නිවසේ භාවිතා වන කාර් රථය වැනි) නංවාගෙන කෙටි දුරක් රැගෙන යාම. බොහෝ දරුවන් මේ මඟින් සන්සුන් වේ.

මේ සියළු කාරණා අතරතුර දෙමව්පියන් සහ රැකබලාගන්නන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳවද ඉහල අවධානයක් යොමුකල යුතුබව සිහියේ තබාගන්න.

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us