Helabima

ගෙදරදීම කරගන්න පුළුවන් හිසකෙස් සත්කාර

රොශානි අබේරත්න


අක්බඹරු වගේ දිගු වරලසකින් කාන්තාවකගේ පෙනුමට එකතුවෙන අගය කියල නිමකරන්න බෑ. අදකාලෙනම් ලේයර්, බොබ් කට් වගේ විවිධ විලාසිතාවන්ට කොණ්ඩෙ කැපුවට ඉස්සර කාලෙනම් කාන්තාවො හැමෝම උත්සාහ කලේ මොන විදිහකින් හරි කොණ්ඩෙ දික් කරගන්නයි. ඒ වෙනුවෙන් වෙන්වුණු ස්වභාවික සත්කාර ඕන තරම් ඒ කාලෙ ගෘහණියෝ දැනගෙන හිටියා. තමන්ගේ අහලින් පහලින් හොයාගන්න පුළුවන් අඩුම කුඩුම ටිකක් එකතු කරල හදාගන්න සත්කාරයකින් තමයි ඔවුන් කොණ්ඩෙ, මුහුණ හැඩ කරගත්තෙ. ඒවා යල් පැනගිය ක්‍රම කියලා අපි කෘතීම රසායනික ද්‍රව්‍ය වලින් හදපු සබන්, පවුඩර්, ෂැම්පු වර්ග භාවිතා කලාට මේ ස්වභාවික දේවල් වලින් ගෙදරදී කරගන්න සත්කාර වල ප්‍රතිපල තාමත් එදා වගේම තමයි. ඉතින් අපි හිතුවා අපේ අවටින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් යොදාගෙන ගෙදරදීම හිසකෙස් වලට කරගන්න පුළුවන් සත්කාර කිහපයක් ගැන ඔබව දැනුවත් කරන්න. මොකද දිගට කොණ්ඩෙ වවන්නෙ නැති වුනත් කොණ්ඩෙ නිරෝගීකම ගැනනම් එදා වගේම අදත් කාන්තාවෝ හුඟක් සැලකිලිමත් වෙනවනේ. කාන්තාවන්ට විතරක්ම නෙමෙයි හැබැයි. කොට උනත් නිරෝගී කොණ්ඩයක් පවත්වාගෙන යන්න කැමති පිරිමි උදවියටත් ඔන්න මේ සත්කාර කරලා ප්‍රතිපල ලබාගන්න පුළුවන්.

මේ කියපු කිසිම සත්කාරයක් අහිතකර, කෘතීම රසායනික ද්‍රව්‍ය අඩංගු සත්කාරයන් නොවෙන නිසා එකක් හෝ කිහිපයක් වුනත් උත්සාහ කරල බැලුව කියල කිසිම අයහපතක් වෙන්නෙ නැහැ. අනිත් එක මේ හැමදෙයක්ම බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය නිසා එක සත්කාරයක්වත් කරන්න ලොකු කරදර විදින්න ඕනත් නැහැ. ඉතින් ලස්සන කොන්ඩෙකට ආස කරන හැමෝම මේ සත්කාර කරල බලල අපිටත් ප්‍රතිපල කියන්න.

අලිගැටපේර සත්කාරය

අලිගැටපේර කියල කියන්නෙ විටමින් A, විටමින් E, ඛනිජ සහ සංතෘප්ත මේද වලින් පොහොසත් පළතුරක්. අපේ රටේ වැවෙන වටිනා පළතුරක්. හැබැයි අලිගැටපේර කන්න විතරක්ම නෙමෙයි හොඳ. මේ කලින් කියපු අලිගැටපේරවල අඩංගු හැම පෝෂණ සංඝටකයක්ම හමට වගේම හිසකෙස් වලටත් ඉතාම හොඳයි. විශේෂයෙන් වියලි පෙනුමක් තියෙන හිසකෙස් යථාතත්වයට පත්කරන්න මේ අලිගැටපේර වලට පුළුවන්.

මේ සත්කාරයට අවශ්‍ය වෙන්නේ හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියකුත්, බිත්තරයකුත් විතරයි. මේ දෙක හොඳ ඝණ පල්පයක් වෙනකන් මිශ්‍ර කරල හිසකෙස් වල හොඳින් ආලේප කරල විනාඩි 20ක් පැය බාගයක් අතර කාලයක් වියලෙන්න හරින්න. පස්සේ හිසකෙස් හොඳින් හෝදලා අරින්න. සතියකට වතාවක් වගේ සති කිහිපයක් මේ සත්කාරය කරද්දී ඔබටම වෙනස දැකගන්න පුළුවන්.

වියලි, අග පැළුණු හිසකෙස් වලට කෙසෙල් සත්කාරය

කෙසෙල් වලින් පුළුවන් වියලිලා, අගිස් පැලුණු රෝගී හිසකෙස් වලට නව ජීවයක් ලබාදෙන්න. කෙසෙල් වල අඩංගු පොටෑසියම් මේ වැඩේට ලොකු උදව්වක් වෙනවා. මේ වැඩේ හරිම ලේසියි. පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කෙසෙල් ගෙඩියකට වඩා වෙන කිසිම දෙයක් ඕන වෙන්නෙ නැහැ. ඕනෑම වර්ගයක හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් අරගෙන පොඩිකරල හිසකෙස් වල මුල ඉඳල අගට වෙනකන්ම ආලේප කරන්න. පැයක කාලයක් වේලෙන්න තියල හොඳින් සෝදලා ඉවත් කරන්න. ඔන්න වෙනදට ඉදිලා වැඩිවෙලා අහක දාපු කෙසෙල් වලිනුත් ගන්න ප්‍රයෝජනයක් තියෙනවා දැන්.

බිත්තර සහ යෝගට් සත්කාරය

බිත්තර කියල කියන්නෙ කොහොමත් හිසකෙස් වලට දිව්‍යමය සත්කාරයක්. වෙන කිසිම දෙයක් නැතුව නිකන්ම බිත්තරයක් විතරක් වුනත් හිසකෙස් වල ආලේප කිරීමෙන් විශ්මිත ප්‍රථිපල ලබාගන්න පුළුවන්.බිත්තර වල අඩංගු විටමින් A, E, බයෝටින් සහ ෆොලේට් වලට පුළුවන් හිසකෙස් ඝණව සහ නිරෝගීව තියන්න. ඒ වගේම බිත්තර කහමදයේ අඩංගු මේද මඟින් හිසකෙස් වලට සිනිඳු වගේම දිලිසෙන පෙනුමක් ලැබෙනවා.

මේ කියන්න යන සත්කාරයට අවශ්‍ය වෙනව තව යෝගට් කෝප්ප භාගයකුත්, මී පැණි මේස හැඳි තුනකුත්. යෝගට් හිස් කබලට වගේම හිසකෙස් වර්ධනයටත් ගුණදායකයි. මී පැණි වලින් කෙරෙන්නෙ හිසකෙස් වල තෙතමනය රඳවා පවත්වගෙන දීප්තිමත් පෙනුමක් ලබාදෙන එක. මේ තුනම එකට මිශ්‍ර කරල හිසකෙස් මත ආලේප කරල පැය බාගයකින් විතර සෝදලා පිරිසිඳු කරන්න.

සහල් වතුර සත්කාරය

සහල් වතුර කියන්නෙත් හිසකෙස් වලට ඉතාම හොඳ සත්කාරයක්. පෙනුම වගේම හිසකෙස් වල නිරෝගීභාවයටත් සහල් වතුර ලොකු උදව්වක්. සහල් පෙඟුණම තියෙන පිටි ගතියෙන් යුක්ත වතුරේ හිසට පෝෂණය දෙන විටමින් E, ඇමයිනෝ අම්ලය, විටමින් B සහ ඛනිජ ලවණ වගේ ගොඩක් පෝෂ්‍යපදාර්ථ අඩංගුයි. ඒ මඟින් හිසකෙස් වල පැහැය, ශක්තිය හා කල් පැවැත්ම වැඩි කෙරෙනවා.

සහල් කෝප්ප එකක් හොඳින් සෝදලා අරගෙන වතුර කෝප්ප 3ක් හෝ 4ක් එකතු කරල පැය බාගයක් හෝ පැයක් වගේ කාලයක් හොඳින් පෙඟෙන්න තියන්න. ඉන් පස්සේ ඒ වතුර ටික පෙරලා අරගෙන හිසකෙස් සහ හිස්කබලේ හොඳින් ආලේප කරලාවියලෙන්න හරින්න. විනාඩි 20කට විතර පස්සෙ පිරිසිඳු වතුරෙන් සෝදා හරින්න.

තේ වතුර සත්කාරයකට

තේ කියල කියන්නෙ බොන්නම විතරක් තියෙන දෙයක් නෙමෙයි කියල ඔන්න මේක කියෙව්වම තේරෙයි. හිසකෙස් වල වියලි, අවපැහැ ස්වභාවය ඉවත් කරල හිසකෙස් වලට හොඳ දීප්තියක් ලබාදෙන්න තේ වලට පුළුවන්. සාමාන්‍ය විදිහට තේ කොළ එකතු කරල කහට කෝප්පයක් හදන්න. ඔන්න පුරුද්දට සීනි එහෙම එකතු කරන්න එපා. මේකට ඕන නිකන්ම නිකන් කහට විතරයි. ඉස්සෙල්ලම වෙනදා පුරුදු ෂැම්පු වර්ගයම භාවිතා කරල හිසකෙස් සෝදන්න. ඊළඟට ටිකක් වැඩි කහට හිටින්න හදාගත්ත තේ එක හිසකෙස් වල හොඳින් ආලේප කරල වියලෙන්න හරින්න. පැය බාගයකට පස්සේ හිසකෙස් සාමාන්‍ය වතුරෙන් හෝදලා පිරිසිඳු කරගන්න. නැවත ෂැම්පු හෝ කන්ඩිෂනර් භාවිතා කරන්න අවශ්‍ය නැහැ.

බටර් සත්කාරය

බටර් කියල කියන්නෙත් හිසකෙස් වලට මෘදු බව සහ තෙතමනය එකතු කරන හොඳ සංඝටකයක්. ඈත අතීතයේ ඉතියෝපියාවේ ජනතාව හිරු කිරණෙන් හිසකෙස් වලට වෙන හානිය අවම කරන්න වගේම හිස කෙස් දීප්තිමත් පෙනුමකින්, තෙතමනයෙන් යුක්තව තියාගන්නත් බටර් භාවිතා කරපු බව කියවෙනවා. ඒ වගේම කැරලි ගැසුණු හිසකෙස් හිමි, ඒ කැරලි වලට අසීමිතව ආදරේ කරන අයටත් ඔන්න බටර් කියන්නෙ සුභ පණිවිඩයක්. කොණ්ඩයේ ස්වභාවික කැරලි ස්වභාවය නොවෙනස්ව පවත්වාගෙන යන්න මේ බටර් ආලේපය බොහොම ප්‍රයෝජනවත් බව තමයි විශ්වාසය.

කාමර උෂ්ණත්වයට දියකරගත්ත බටර් හිසකෙස් සහ හිස්කබල මත හොඳින් අලේප කරලා හිස සම්බාහනය කරන්න. ඊට පස්සේ ෂවර් කැප් එකකින් හිස ආවරණය කරගෙන පැයක් වගේ කාලයක් වියලෙන්න හරින්න. අන්තිමට සාමාන්‍ය විදිහට සෝදලා පිරිසිඳු කරන්න. මේකත් සතියකට වතාවක් හෝ දෙවතාවක් කලාට ගැටළුවක් නැති බොහොම සාමාන්‍ය සත්කාරයක්.

ලෙමන් සහ ඔලිව් ඔයිල් සත්කාරය

මේ සත්කාරය හිසකෙස් වලටත් වඩා හිස්කබලට වටිනා සත්කාරයක්. වියලුනු, නිතර කැසීම් ඇතිවෙන හිස්කබලක් තියෙන කෙනෙකුට කියාපු සත්කාරයක්. ලෙමන් යුෂ, ඔලිව් තෙල් සහ වතුර මේස හැඳි දෙක බැඟින් අරගෙන හොඳින් කලවම් කරල හිස්කබලේ ආලේප කරල සම්භාහනය කරන්න. ඊට පස්සේ විනාඩි 20ක් වගේ කාලයක් වියලෙන්න හරින්න. අවසානයේ පිරිසිඳු වතුරෙන් සෝදා හරින්න. ලෙමන් යුෂ වල අඩංගු ඇසිඩ් ගතියෙන් හිස් කබල මත මැරුණු සම ඉවත් කෙරෙනවා. ඒ වගේම ඔලිව් තෙල් මඟින් සමට නව තෙතමනයක් එකතු කරනවා. හැම සතියකම මේ සත්කාරය කලෝතින් සති කිහිපයක් යනකොට වියලි හිස්කබල නිරෝගී කරගන්න පුළුවන්.

බියර් සත්කාරය

ඔව් ඔව් මේ බොන බියර් තමයි. බොන්න අකමැති අයටත් හිසකෙස් වල ගාන්න බැරිකමක් නැහැනේ. බියර් නිෂ්පාදනය කෙරෙන්නෙ තිරිඟු, මෝල්ට් වගේ ධාන්‍ය භාවිතා කරල. මේවායේ අඩංගු ප්‍රෝටීන බියර් කියන පානයේත් අඩංගුයි. ඉතින් මේ ප්‍රෝටීන වලට පුළුවන් හිසකෙස් වල ව්‍යුහය ශක්තිමත් කරන්න. පෙන ගතිය සම්පුර්ණයෙන්ම ඉවත් වෙනකන් පැය කිහිපයක් වීදුරුවකට වත්කර තැබූ බියර් ස්ප්‍රේ බෝතලයක් ආධාරයෙන් හිසකෙස් සහ හිස් කබල මත හොඳින් ස්ප්‍රේ කරලා විනාඩි 20කට පමණ පස්සේ සෝදා හරින්න. සතියකට වතාවක් මේ සත්කාරලා කරල බලන්න. ශක්තිමත් සහ දිලිසෙන කෙස් කළඹක් ලැබේවි.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us