Helabima

Express Pearl නෞකාව සම්බන්ධව බොරු සහ ඇත්ත

කමල් වන්නිආරච්චි


නෞකාව ඉන්දියාවට සහ කටාර් රාජ්‍යයට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ශේප කර ඇති කරුණ අසත්‍යක් බව අප බොහෝ දෙනා දැනටමත් දන්නා කාරනයක්. සිදුවී ඇත්තේ කාන්දුවක් සහිත බහලුම ඉවතට ගෙන අලුවැඩියා කිරීම ප්‍රතික්ශේප කිරීමයි. අවාසනාවට එවැනි ජීවිතයට,පරිසරයට හෝ දේපලවලට (Safety of life, environment and property at sea) තර්ජනයක් විය හැකි තත්වයක් ඉන්දියාව විසින් "ඉන්දියානු සමූද්‍රික අවබෝදතා ගිවිසුමට" (Indian Ocean MOU) අනුව ලංකාවට දැන්විය හැකිව තිබුනත් එසේ කර නොමැත.

ලෝකය ගමන් කරන්නෙ ලොකු තරඟයක. එය බහලුම් නෞකා (container ship) වල සේවය කරණ අපට හොඳින් දැනෙන දෙයක්. මෙවැනි කාන්දු වීම් නිරන්තරයෙන් අපට අත්දැකීමට ලැබෙනවා. නමුත් අර තරඟය නිසා නැවු නවත්වාගෙන , හරවාගෙන යන සිරිතක් නෑ. නෞකා සමාගමට දැනුම් දීම සහ අවධානයෙන් සිටීම (inform and monitor) තමයි කෙරෙන්නේ. ලංකා මුහුදට පැමිනෙන තුරුත් මෙය කාන්දුවක් පමනක් වූ බැවින් එය ලංකාවේ බලධාරින්ට නැවේ කාර්‍ය මන්ඩලය මඟින් නොදැන්නුවා විය හැකියි.

මක්නිසාද ගින්න, ප්‍රථමාදාර, ආපදා කළමණාකරණය වැනි හදිසි තත්වයන් සඳහා මුහුන දීමට නාවිකයන් මනාව පුරුදු පුහුනුවී ඇත. නමුත් කාන්දුව ගින්නක් බවට පරිවර්තනය වූ පසු, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ සිටින බැවින් අදාල බලදාරීන්ට දැනුම් දී ඇත. ඇතිවූ ගින්න අවස්තා කිහිපයකදී නැවේ කාර්‍ය මණ්ඩලය සහ වරාය ගිනි නිවන ඒකක විසින් පාලනය කර ඇත. නමුත් නයිට්‍රික් අම්ලයේ ඇති ප්‍රබල ඔක්සිකාරක ගුණයත්, එදින පැවති අධික සුළං තත්වය නිසාත් නැවත නැවත ගින්න ඇතිවෙමින් පාලනය කල නොහැකි තත්වයට අත්වී ඇත. විශේෂයෙන්ම එදින පැවති අධික සුළං තත්වය ගින්න පාලනයට පැවති ප්‍රධානම බාධකය වී ඇත. නැව රසායන ද්‍රව්‍ය පුරවා ගෙන පැමිණි කතාව අසත්‍යක් වන අතර, එහි තිබූ බහලුම් වලින් 5% පමණක් අවදානම් කාණ්ඩයට අයත් බහලුම් වී ඇත.

විවිධ රසායන ද්‍රව්‍ය ඇති ස්ථානයක ගින්නක් ඇතිවූ විට ගින්නක් පාලනය අසීරු වන තවත් කාරණයක් වන්නෙ විවිධ රසායන ද්‍රව්‍ය සඳහා ගිනි නිවීමට යොදා ගත යුතු ක්‍රම වෙනස් වීමයි. කෙසේ වුවත් පොදු මාධ්‍යක් ලෙස ජලය යොදා ගැනීමේ කිසිදු වරදක් නැත. නමුත් ගින්න යකඩ ගිනිගන්නා තත්වයට පත් වූ විට එය 2700C ඉක්මවූ උෂ්ණත්වකින් යුතු අතර තව දුරටත් වතුර සැපයීම ගින්නට පිදුරු දැමීමක් බවට පත්වෙයි. මක්නිසාද එම උෂ්ණත්වයේදී ජලය ක්ෂණයෙන් හයිඩ්‍රජන් බවට පත් වන අතර හයිඩ්‍රජන් යනු ගිනිගන්නා සුලු සහ පුපුරන (flamable and explosive) වායුවකි. එවැනි ගිණි නිවීමක් සඳහා එකම සුදුසු මාධ්‍ය class D (වියලි කුඩු) වන අතර එය විශාල වශයෙන් යොදාගත හැකි, සහ ඇති (available) මාධ්‍යක් නොවේ. එම නිසා එවැනි ගින්නක් පාලනය ඉතා අසීරු හෝ නොහැකි කරුණකි. බලා සිටිනවා හැර වෙන කිසිවක් ඉන් අනතුරුව කල නොහැක.

ඊලඟ කාරණය විශාල රසායන ප්‍රමානයක් ජලයට එකතු වූවාද යන්න. නැවේ පැවති නයිට්‍රික් අම්ල ප්‍රමානය ටොන් 35ක් වන අතර, එම සියල්ලම ජලයට එකතු වූවත් ටොන් බිලියන ගනනක් ඇති මුහුදට එය දීර්ඝ කාලීනව හෝ විශාල වපසරියකට බලපෑම් කල නොහැක්කක් බවයි මගේ විශ්වාසය. එසේම ගින්න නිසා එම අම්ල වලින් විශාල ප්‍රමානයක් නැවේදීම විනාශ වීමටද හැකියාවක් ඇත. විශාලම හානිය මුහුදට එක්වූ අති විශාල ප්ලාස්ටික් ප්‍රමාණයයි. මන්ද ප්ලාස්ටික් දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වන නිසා,අපට මෙහි ප්‍රතිඵල තව වසර සිය ගණනක් විඳීමට සිතුවනු ඇත. ඒ හැරුණු කොට එකතු වූ අම්ල නිසා කොරල් පද්ධතිය සම්පූර්ණයෙන් දියවී යාම, මාලු හෝ ලුණු ආහාරයට ගත නොහැකිවීම අනියස බියක් බවයි මගේ අදහස. නැවේ කිසිදු විකිරණ ද්‍රවයක් ප්‍රවාහණය කර නොමැති නිසා ඒ සම්බන්ඳවද ගැටලුවක් නැත.

නැවේ අනතුර සිදුවන විට තිබූ ඉන්ධන ප්‍රමානය ටොන්300 ක් බවටයි වාර්තා වෙන්නෙ. අපගේ වාසනාවට මෙය නැවෙ ප්‍රමාණය හා සැලකීමේදී ඉතා අවම ප්‍රමාණයක්. නැවේ ගින්න නිසා මින් ප්‍රාමාණයක් දැවී යා හැකි වුවද, මින් ටොන් 100කි ප්‍රමණයක් එන්ජින් කාමරය ප්‍රදේශයේ ටැංකිවල තිබිය හැකි නිසාත් එම ප්‍රදේශය ගින්නට හසු නොවුනානම් තවමත් ටැංකිතුල එම තෙල් තිබිය හැකි නිසාත් මුහුදට තෙල් කාන්දු වීමෙ අවදානම තවමති පැවතිය හැකියි. කෙසේ වෙතත් ගින්න පැතිර ගිය ආකාරයේ සහ තෙල් ගබඩා කර තිබූ ආකාරය අධ්‍යයනයෙන් තෙල් වලට සිදුවූයේ කුමක්දැයි මූලික අවබෝධයක් ලබා ගත හැකියි. ලොව සිදුවන ඇනතුරු වලින් 95% සිදුවන්නෙ මිනිසුන්ගේ වැරදි වලිනි (human errors). මෙවැනි අවස්තාවලදී ඇතිවන සංකූලත, අනිසි බියවීම්(Panic) නිසා තීරණ ගැනීමේදී අඩු පාඩු ඇති වීම සිදුවිය හැක්කක්. දුර සිට බලන අයට පහසුවෙන්ම මෙහෙම කරන්න තිවුනා වැනි දේවල් කීමට හැකියි. නමුත් සත්‍ය තත්වය දන්නේ එයට මුහුන දෙන අයයි. මෙම අනතුරේත් අවසානයේදී සොයා බැලීමේදී එවැනි දේවල් අනිවාර්‍යයෙන්ම මූලික කාරණා බවට හෙලි වනු ඇත. එවැනි තත්වයකදී එකිනෙකාට ඇඟිලි දික් කිරීම සාමාන්‍ය පුරුද්ද වුවත් කල යුත්තේ වැරදි තුලින් පාඩම් ඉගෙන ගෙන අනාගතයේ මෙවැනි දේ ඇතිවීම වැලැක් වීමයි.

(සැ:යු: මෙම ලිපියට කිසිදු දේශපාලන පසුබිමක් නැති අතර ක්ෂේත්‍රයේ නියැලෙන්නෙකු ලෙස මගේ අදහස ප්‍රකාශ කිරීම පමණකි) 

කමල් වන්නිආරච්චි

ප්‍රධාණ නාවුක ඉංජිනේරු

Happag Lloyds AG.

Germany







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us