Logo
2021 ජූලි මස 31 වැනි සෙනසුරාදා

පිරිමින්ට වඩා ගැහුණුන්ගේ ලිංගික උනන්දුව අඩු දෙදාස් පන්සීයේ ගෝත්‍රික සංස්කෘතිය නිසාද

ඉසුරු ප්‍රසංග


ලිංගික ආවේග අතින් පිරිමියා සහ ගැහැනිය අතර විශාල වෙනසක් පවතින පවතින බව අපට බැලූ බැල්මට පවා නිරීක්ෂණය කළ හැක්කකි. බොහෝ දෙනා විශ්වාස කරනුයේ මේ වෙනස සංස්කෘතිය මත රඳා පවතින්නක් බවය. ඒ නිසා සංස්කෘතියට බුරන රැඩිකල් විද්වතුන්ට මෙය ආස්වාදයෙන් තලු මැරිය හැකි මාතෘකාවකි. 
සංස්කෘතිය ස්ත්‍රී පුරුෂ හැසිරීම් කෙරේ බලපාන බව ඇත්තකි. එහෙත් මේ වෙනසට ප්‍රධාන හේතුව සංස්කෘතික එකක් නොව ජීව විද්‍යාත්මක එකක් වන අතර, ලෝකයේ කවර සංස්කෘතියක වුවද ස්ත්‍රී පුරුෂ හැසිරීම් සම්බන්ධව පහත පොදු ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට නොලැබේදැයි ඔබම කල්පනා කර බලන්න.
කවර සංස්කෘතිකයක වුවද ප්‍රේමය හෝ ලිංගිකත්වය සම්බන්ධව පිරිමියා ගැහැනියට වඩා අතිශයින් ආක්‍රමණශීලී වන අතර ගැහැනියගේ පිළිවෙත ඒ ආක්‍රමණයට සීරුමාරුවෙන් අවනත වීමය. 
ඉතිහාසය පුරා ලෝකයේ විවිධ ශිෂ්ටාචාරවල බිහිවූ කවි, කතන්දර, නාට්‍ය, චිත්‍රපට බොහොමයක අසන්නට ලැබෙන්නේ කාන්තාවන් දිනාගැනීම සඳහා වීර වික්‍රමයන් කළ, යුද්ධ කළ පුරුෂයන් ගැන මිස පුරුෂයන් දිනාගැනීම සඳහා සටන් කළ කාන්තාවන් ගැන නොවේ.
ප්‍රේම සම්බන්ධතා වුවද සීයට අනූවක් පමණ ආරම්භ කරන්නේ පිරිමින් විසිනි. නමුත් ඒ ප්‍රේම සම්බන්ධතා සීයට අසූවක් පමණ අවසාන කරන්නේ ගැහැනුන් විසිනි. 
ගැහැනියගේ නිරුවත පිරිමියා තුළ විශාල කැළඹීමක් ඇති කරයි. නමුත් පිරිමි නිරුවතින් සිටිනු දැකීමට ගැහැනිය තුළ එවැනි උනන්දුවක් නැති සමහර විට එය ඇයට සිනහව හෝ පිළිකුල උපදවන්නක් විය හැකිය. 
ගැහැනියගේ නිරුවත හා ලිංගික ආකර්ෂනය පදනම් කරගත් වර්ණනා, කවි, ගී, කතන්දර, චිත්‍ර, මුර්ති, නාට්‍ය, චිත්‍රපට බිලියන හෝ ටි්‍රලියන ගණනක් ලෝකයේ සෑම සංස්කෘතියක් ඔස්සේම මතුවී තිබුණද, පිරිමියාගේ නිරුවත හෝ ලිංගික ආකර්ෂණය ගැන එවැනි දේ ඉතා අල්පය.
ලෝකයේ කුමන සංස්කෘතිකයක වුවද ගණිකා වෘත්තිය බිහිවී ඇත්තේ පිරිමින් ඉලක්ක කරගනිමිනි. ගැහැනුන් ඉලක්ක කරගත් ගණිකා වෘත්තිකයන් කවර රටක වුවද ඉතා විරලය. 
ගණිකාවන්ට අමතරව සමාජ ශාලා, සම්බාහන ආයතන, මිතුරු හවුල්, අසභ්‍ය චිත්‍රපට, වීඩියෝ දර්ශන, පුවත්පත්, සඟරා, නිරුවත් ඡායාරූප ආදී වශයෙන් වූ විශාල ලිංගික වෙළෙඳපොළක් ලෝකය පුරා නිර්මාණය වී ඇත්තේ පිරිමියා ඉලක්ක කරගනිමිනි. ගැහැනිය මේ ලිංගික වෙළෙඳපොළෙහි සේවා සපයන්නියක මිස ගැනුම්කාරියක වන්නේ සාපේක්ෂව ඉතා අඩුවෙනි. 
අනියම් සම්බන්ධතාවලට, ලිංගික අපරාධවලට, විකෘති ලිංගික චර්යාවන්ට වැඩි වශයෙන්ම යොමුවන්නේ ගැහැනු නොව පිරිමිය. ලිංගික ආශාව නිසා ඇතිවන සමාජ ප්‍රශ්න බොහොමයක නිර්මාපකයා පුරුෂයාය. 
ගැහැනියගේ ප්‍රධාන වස්තුව රූපය වන අතර, පිරිමියාගේ ප්‍රධාන වස්තුව ධනය, බලය, කීර්තිය ආදියයි. කිසිදු සංස්කෘතියක් තුළ ගැහැනියගේ රූපාලංකාරයට තරම් ඉඩක් පුරුෂ රූපාලංකාරය වෙනුවෙන් වැය වී නැත්තේ මේ නිසාය. 
ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම ගැහැනියගේ රූපය ගැන අතිශයින් උනන්දු වන අතර, පිරිමියාගේ රූපය ගැන එවැනි උනන්දුවක් කිසිවෙකු තුළ නැත. රූප රාජිනිය තෝරන තරග මිස රූප රාජා තෝරන තරග විරල වන්නේ මේ නිසාය. 
පිරිමි තමන්ට අවස්ථාවක් ලැබේ නම් දන්නා නොදන්නා ඕනෑම ගැහැනියක සමග ලිංගිකව එක්වීමට පසුබට නොවෙති. නමුත් ගැහැනිය එසේ කැමති වනුයේ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් පසුවය. 
පිරිමියාගේ පිළිවෙත වන්නේ තමන්ගේ ධනය, බලය, ශක්තිය කාන්තාවගේ රූපය වෙනුවෙන් කැපකිරීම වන අතර, ගැහැනියගේ පිළිවෙත වන්නේ තම රූපය ඇසුරෙන් ධනය, බලය, ශක්තිය සහිත පුරුෂයන් දිනා ගනිමින් ඒවායේ ආනුභාවය අත්විඳීමය. 
පිරිමින්ගේ ලිංගික උනන්දුව වැඩිවීම පිළිබඳ කාරණය මිනිසාට පමණක් නොව සතුන් තුළද දක්නට ලැබෙන්නක් බව බල්ලන්, බළලුන්ගේ ලිංගික එක්වීම් ගැන දන්නා අයෙකුට වුවද සරලව තේරුම් ගත හැක්කකි. මේ සෑම උදාහරණින්ම පැහැදිලි වන ආකාරයට පිරිමියා ස්වභාවයෙන්ම ගැහැනියට වඩා ලිංගික වශයෙන් ආක්‍රමණශීලී වන්නේ කුමක් නිසාද? 
ඕනෑම ජීවී විශේෂයක් ස්වභාවිකව හැඩ ගැසී ඇත්තේ තම වර්ගයා බෝ කිරීමේ කාර්යය හැකි තරම් වේගයෙන් කළ හැකි ආකාරයෙනි. එහෙත් ඒ කාර්යයේදී පිරිමියාගේ හා ගැහැනියගේ ලිංගික ආවේග ක්‍රියාකරන්නේ වෙනස් ආකාරයෙනි. ඊට පැහැදිලි ජීව විද්‍යාත්මක පදනමක් තිබේ.
පිරිමියා පරිණාමය වී ඇත්තේ කෙටි කාලයක් තුළ හැකිතාක් තම ජන්මානු බෙදා හරින සාරවත් වපුරන්නෙකු වශයෙනි. විවිධාකාර ගැහැනුන් රාශියක් සමග ලිංගිකව එක්වුවහොත් ඔහුට කෙටි කාලයක් තුළ විශාල ජනිතයන් ප්‍රමාණයක් බිහි කළ හැකිය. ඒ ප්‍රමාණයට සීමාවක් නැත. වර්ගයාගේ පැවැත්මට එය හිතකර වේ. 
නමුත් ගැහැනියගේ තත්ත්වය මීට සපුරා වෙනස්ය. කොතෙක් සංසර්ගයේ යෙදුනද ඇයට එක වතාවකදී බිහිකළ හැක්කේ එක් දරුවෙක් පමණි. එපමණක් නොවේ. ඇය ඒ සඳහා මාස දහයක ප්‍රසූත කාලයක් පසු කළ යුතුය. දරුවා බිහිවීමෙන් පසුව තවත් සැලකිය යුතු කාලයක් දරුවාට රැකවරණය සැපයිය යුතුය. දරුවා වෙනුවෙන් වෙනුවෙන් කැපවන පියෙකු අරපරිස්සමින් තෝරාගත යුතුය. මෙහිදී ඇයට කටයුතු කිරීමට සිදුවන්නේ පහසුවෙන් බීජ වපුරා පලායන්නෙකු ලෙස නොව බීජ දරාගනිමින් දිගු කාලීන වගකීම් සහගත කාර්යයකට උරදෙන්නියක වශයෙනි.  
ගැහැනියගේ ලිංගික ආවේග, මොළය, හෝමෝන පද්ධතිය මීට ගැලපෙන අයුරින් ස්වභාවිකවම හැඩ ගැසී වී ඇති අතර, ගැහැනු හා පිරිමි යන දෙපාර්ශ්වයටම එක සමාන තරමේ ලිංගික ආවේග පැවතීම ජීව විද්‍යාත්මක වශයෙන් ප්‍රයෝජනවත් නොවන දෙයක් පමණක් නොව හානිකර දෙයක් වීමටද ඉඩ ඇත. එය දරුවන් බිහිකිරීම හා රැක බලාගැනීම නමැති ගැහැනිය සතු වන ජීව විද්‍යාත්මක වගකීමට හානිකර ලෙස බලපෑ හැක්කකි.  
මේ අනුව ගැහැනියගේ හා පිරිමියාගේ ලිංගික ආවේග හැඩගැසී ඇත්තේ සංස්කෘතියට වඩා ජීව විද්‍යාත්මකව පදනමකිනි. සංස්කෘතික සාධකද මීට අදාළ වුවත් ඒවා තේරුම් ගැනීමේදී ලෝක ස්වභාවය ගැන මූලික කාරණා දැනසිටීම අතිශය වැදගත්ය. 
ඉසුරු ප්‍රසංග





Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'