Logo
2021 අගොස්තු මස 4 වැනි බදාදා

හම්බන්තොට වරායේ සිට සයිනොෆාම් එන්නත දක්වා විහිදෙන චීන විරෝධයේ ඇත්ත සහ බොරුව

ඉසුරු ප්‍රසංග


ලංකාව ගිලගන්නා බිහිසුණු චීන අධිරාජ්‍යවාදයක් ගැන කතාව දැන් නැවතත් කරළියට පැමිණ තිබේ. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතියත් සමගිනි. මේ ව්‍යාපෘතියට කෙරෙන ආයෝජනය නිසා ලංකාව චීන කොලනියක් වන බවත්, රටේ ස්වෛරීභාවය විනාශ වන බවත් කියැවේ. ඇතැමුන්ට අනුව මෙය ඊළම වැනි වෙනම රටකි. තවත් සමහරුන් පවසන්නේ ලංකාව නිස්සාර ව්‍යාපෘති සඳහා ලබාගත් විශාල චීන ණය උගුලක හිරවී ඇති බැවින් ඊට හිලව්වට ජාතික සම්පත් චීනයට පවරාදීමට සිදුව ඇති බවය. ඒ අනුව මේ ලිපියේ අරමුණ වරාය නගරයේ හොඳ නරක විමසා බැලීම නොව, වරාය නගරය ඔස්සේ නැවත ප්‍රචාරය වෙමින් තිබෙන චීන අධිරාජ්‍යවාදය ගැන කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමය. ඒ වරාය නගරය ගැන කතා කරන බොහෝ අය සිටියද, වරාය නගර විරෝධීන්ගේ සැබෑ දේශපාලනය විමසා බලන්නන් බෙහෙවින් විරල වීම හේතුවෙනි.

චීන අධිරාජ්‍යවාදය සහ හම්බන්තොට වරාය

ගෝලීය දේශපාලන බල ගැටුම් හමුවේ කිසිදු රටක භූමිකාව සර්ව සාධාරණ හෝ අහිංසක යැයි කිව නොහැකි වුවද, බටහිර බලවතුන්ට සාපේක්ෂව බලන කළ නූතන චීනයේ ගෝලීය මැදිහත්වීම ඊට සපුරා වෙනස් එකකි. ඒ අරුතින් චීනයේ නැගීම ලංකාව වැනි ලෝකයේ සෙසු රටවලට එක්තරා ආශීර්වාදයකි. අද චීනය තම බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැනි ව්‍යාපෘති හරහා නව ගෝලීය සම්බන්ධතා ජාලයක් නිර්මාණය කරමින් සිටින්නේ තමන්ට මෙන්ම අනෙක් පාර්ශ්වයන්ටද ප්‍රතිලාභ හිමිවන (mutual benefits) පරිද්දෙනි. මේ නව ගෝලීය පෙළ ගැස්ම අද බටහිර ලෝකයට මහත් හිසරදයකි. එසේ වුවද මහ දවාලේ කෙරෙන යුධ ආක්‍රමණ, රටවල අභ්‍යන්තර ප්‍රශ්න අවුලුවාලීම, බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවලට ආධාර සැපයීම, ආණ්ඩු පෙරළා රූකඩයන් බලයට ගෙන ඒම, ණය, ආධාර කොන්දේසි හරහා රාජ්‍යයන් සතු ස්වාධීනත්වය අහිමි කිරීම, ආගමික හා සංස්කෘතික ආක්‍රමණ වැනි දෑ චීන මැදිහත්වීම් සම්බන්ධව ලොව කොතැනකවත් අසන්නට ලැබෙන්නේ නැත. ඒ කිසිවක් නැති තැන අද දෙස් විදෙස් චීන විරෝධීන්ගේ ප්‍රධාන තුරුම්පුව වී ඇත්තේ මේ චීන ණය උගුල (China Debt trap) පිළිබඳ කතාවය.

චීන විරෝධීන්ට අනුව දුප්පත් රටවල නිශ්ඵල ව්‍යාපෘති සඳහා විශාල ලෙස ණය ලබාදී ගෙවා ගත නොහැකි ණය උගුලක රට සිර කොට, අනතුරුව ඊට හිලව්ව ලෙස රටේ සම්පත් ඩැහැගැනීම චීනයේ පිළිවෙත වෙයි. ඔවුන් මේ කතාව සනාථ කිරීම සඳහා ඇන්ගෝලාව, කෙන්යාව, සැම්බියාව ආදී විවිධ රටවල් ගැන විවිධ කතාන්දර රාශියක් ගොඩනගා තිබේ. හොඳම විහිළුව වන්නේ ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳ සිදුවීමද චීන ණය උගුල ගැන ප්‍රබල උදාහරණයක් ලෙස බටහිරයන් විසින් ලෝකය පුරා පතුරුවා හැර තිබීමය. ඇමරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙකු වූ මයික් පෙන්ස්ට අනුව මෙය චීන ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Debt trap diplomacy) පිළිබඳ නිදසුනකි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත 2018 ජූනි 25 වැනිදා මේ පිළිබඳ How China Got Sri Lanka to Cough Up A Port? යන තේමාව යටතේ දීර්ඝ ලිපියක් පළ කර තිබිණි. හම්බන්තොට වරායක් ඉදිකළේ එය මහින්ද රාජපක්ෂගේ ගම වීම නිසාය, කොළඹ නැව් හම්බන්තොටට හරවා එව්වේය, වැනි බාල ඕපාදූපවල සිට උඩින් පල්ලෙන් සංඛ්‍යා ලේඛන කෑලි අහුලා පෙන්වන ව්‍යාජ තර්ක දක්වා වූ විශාල පරාසයක බොරු එකතුවක් එම ලිපියේ ඇතුළත්ය. හම්බන්තොට වරායක් ඉදිකිරීමට මුලින්ම යෝජනා වූයේ චන්ද්‍රිකා පාලන යුගයේ වන අතර, අනතුරුව බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවද ඒ සඳහා සැලසුම් සකස් කළේය. නමුත් ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය මහින්දගේ ගම ගැන කතා ගොතනුයේ වරායේ ඉතිහාසය ගැන ඒ අවම කරුණු පවා අමතක කරමිනි. තවද හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවිය යුතුවූ ණය මුදල මෙරට සමස්ත රාජ්‍ය ණයෙන් ඉතා කුඩා පංගුවකි. වරායේ පළමු අදියර සඳහා ගත් ණය මුදලට සමාන මුදලක් ලංකාව එක වසරක් තුළ කිරිපිටි ආනයනයට වැය කරයි. හම්බන්තොට වරාය චීනයට පවරා දීම හුදු මෙරට පාලකයන්ගේ අඥාන තීරණයක් මිස චීන ණය උගුලක ප්‍රතිඵලයක් නොවේ. මේ සියලු කාරණා හම්බන්තොට වරායේ සමස්ත කතාව ඇසුරින් වෙනම ඔප්පු කළ හැකි දේවල් වෙයි. හම්බන්තොට කතාව මෙහිදී කෙටියෙන් මතු කළේ චීන ණය උගුලක් ගැන ප්‍රවාදය ගොඩනැගීමට බටහිර මාධ්‍ය ඇතුළු චීන විරෝධීන් භාවිත කරන උපක්‍රම කෙතරම් දුර්වලදැයි පෙන්වා දීමටය. ඒ අනුව ඔවුන් අප්‍රිකානු රටවල් කියන කතා කොතෙක් විශ්වාසදායකදැයි නැවත සොයා බැලිය යුතුවේ.

ලංකාව චීනයට කොපමණ ණයද?

මීළඟට මේ කියන චීන ණය උගුලේ ප්‍රමාණය කොතෙක්ද? මහබැංකු වාර්තාවලට අනුව 2010 සිට 2019 දක්වා කාලය තුළ කිසිදු වසරක චීන ණය ප්‍රමාණය මුළු විදේශ ණයේ ප්‍රතිශතයක් ලෙස 10% ඉක්මවා ගොස් නැත. නමුත් මහබැංකු වාර්තාවේ මේ සංඛ්‍යා තරමක් විවාදාත්මක වන්නේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් සඳහා ඒ ඒ ආයතන මගින් ගත් ණය මීට ඇතුළත් කර නොමැති බැවිනි. ඒ සමස්ත ණය ඇතුළත් සටහනක් වෙනම දක්වා ඇතත් ඒ සටහන තුළ ඒවා ලබාගත් රටවල් වෙන වෙනම දක්වා නැත. කෙසේ වෙතත් මේ සමස්ත ණය සහිත සටහන අනුව බැලුවද චීන ණය ප්‍රමාණය පෙර කී මට්ටමට වඩා විශාල වශයෙන් ඉහළ යාමට ඉඩක් නැති බව පැහැදිලි වෙයි. ඒ බව තහවුරු කෙරෙන තවත් කාරණා තිබේ. මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට 2020 අගෝස්තු වන විට ලංකාවේ සමස්ත චීන ණය ඇමරිකානු ඩොලර් මිලියන 3388.2 කි. මෙය සමස්ත විදේශ ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රතිශතයකි. 2017 වසරේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේද ලංකාවේ චීන ණය ප්‍රතිශතය 10%ක් බවය. ස්ටැන්ලි මෝගන් නම් ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයද මේ කරුණ සනාථ කරයි. ජපානයෙන්ද ලංකාව ඒ හා සමාන ණය ප්‍රමාණයක් ලබාගෙන තිබේ. මීළඟට ලංකාව චීනයෙන් මේ ණය ලබාගෙන ඇත්තේ නිෂ්ප්‍රයෝජන දේවල් සඳහා නොව වැදගත් ව්‍යාපෘති සඳහාය. ඒවායේ ලාභ පාඩු ගැන ගැටලු තිබේ නම් එය වෙනමම සංවාදයට ගත යුත්තකි. නමුත් ලංකාව ඔය කියන තරමේ මහා චීන ණය උගුලක පැටලී නැති බව මේ අනුව පැහැදිලි වෙයි.

චීන ණය ලෝකය ගිලගෙන තිබේද?

මීළඟට ලෝකය පුරා අටවා ඇති චීන ණය උගුලක් ගැනද නිතර කියැවේ. මේ පිළිබඳ විවිධ විශ්ලේෂණ බටහිර මාධ්‍ය තුළ ඉතා සුලබය. ඒවා අවිචාරශීලීව පුනරුච්චාරණය කරන ලංකාවේ ඇතැම් වාමාංශිකයන් පවා ලෝකය ගිලගත් චීන ණය උගුලක් ගැන කතා කරති. නමුත් මෙහි සැබෑව කුමක්ද? Kiel Institute for the world economy නම් ප්‍රකට ජර්මානු ආයතනයේ වාර්තා මූලාශ්‍ර ලෙස දක්වන Statista වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි චීන ණය තම ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස 25%ට වැඩි අගයක ඇත්තේ රටවල් එකසිය ගණනක් අතරින් රටවල් හතක පමණි. ඒ ජිබුති, නයිජීරියාව, කොන්ගෝව, කිර්ගිස්ථානය, ලාඕසය, කාම්බෝජය, මාලදිවයින යන රටවල්ය. මේ වාර්තාව අනුව චීන ණය උගුලේ හිරවූ බව කියන බොහෝ රටවල ඒ ප්‍රමාණය ඇත්තේ 10%ට අඩු අගයකය. තවද ඇමරිකාවේ National Bureau of Economic research නම් ප්‍රකට ආයතනය China's Overseas Lending මැයෙන් 2019 දී නිකුත් කළ පර්යේෂණ වාර්තාවකින්ද මේ කරුණු සනාථ වේ. මේ වාර්තාව චීන ණය ලබාගත් රටවල් එකසිය පනස්ගාණක් අතරින් ප්‍රධාන රටවල් 50ක් ගැන කරුණු දක්වයි. ඒ වාර්තාව අනුව

> ජාතික ආදායමට ආසන්න මට්ටමක චීන ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජිබුති රාජ්‍යය පමණි.

> මේ රටවල් 50න් රටවල් 49ක චීන ණය ප්‍රතිශතය ඒ රටවල ජාතික ආදායමෙන් 40%කට වඩා අඩුය.

> රටවල් 50න් රටවල් 36ක චීන ණය ප්‍රතිශත ජාතික ආදායමෙන් 20% කට වඩා අඩුය.

> එය ජාතික ආදායමෙන් 10%ට වඩා අඩු රටවල් 16කි.

> විදේශ ණයෙන් 10%ක චීන ණය ප්‍රතිශතයක් සහිත ලංකාවට මේ ලැයිස්තුවේ 34 වැනි ස්ථානය හිමිවී තිබේ.

මේ චීනයට විරුද්ධ ස්ථාවරයක පිහිටා සකස් කළ වාර්තාවක් චීන ණය ගැන කියන කතාවය. එකම බොරුව දහස් වතාවක් කියන විට ඇත්තක් සේ දැනෙන බව ගැන මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නැත. මේ ගැන චීනයේ පාර්ශ්වයෙන් පිළිතුරු ලබාදී තිබුණද ලෝක පරිමාණව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ඉඩක් වෙන්ව ඇත්තේ බටහිරින් ඇසෙන හඬට පමණි. ණය උගුල කෙසේ වෙතත් අද ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව වැනි රටවල් පවා චීන ණය හා ආයෝජනවලට හොඳින්ම විවෘතය. චීන ණය උගුල ගැන කතා ගොතන අය ඔස්ටේ්‍රලියාව ගැන හෝ අප්‍රිකාවේ නූතන වර්ධනයන්ට බලපෑ චීන දායකත්වය ගැන කිසිවක් කතා නොකරති. අද අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය ලෙස හඳුන්වන රුවන්ඩාව හෝ මෑතකදී වේගවත් ආර්ථික වර්ධනයක් අත්කරගනිමින් සිටින නයිජීරියාව, ඉතියෝපියාව වැනි රටවල් ඔවුන්ට අමතකය. ආයෝජකයන් පය තබන්නට පවා බියව සිටි කලාපයක විදේශ ආයෝජන, වෙළෙඳාම, බලශක්තිය, කෘෂිකර්මාන්තය, ඇගළුම්, කාර්මික ආදී විවිධ ක්ෂේත්‍රවල වේගවත් වර්ධනයට චීනයේ මැදිහත්වීම ගැන ලියවුණු වාර්තා, සංඛ්‍යා, දත්ත කොතෙකුත් තිබුණද ලංකාවේ ඊනියා වාමාංශිකයන්ගේ සිට බොහෝ දෙනා ඒවාට වැසුණු ඇස් කන් ඇත්තෝ වීම කනගාටුවට කරුණකි.

අපේ ජාතික සටන සහ චීනය

මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුව වන්නේ අද මෙරට චීන අධිරාජ්‍යවාදයක් ගැන කතා කරන බලවේගවල පොදු දේශපාලන හැසිරීමේ ස්වභාවයන් හඳුනාගැනීමය. දේශපාලන බෙදීම් අනුව ගත් කළ මේ පිරිස එජාපය, සජබ, විවිධාකාර වාමාංශික පක්ෂ, විකල්ප සිවිල් සංවිධාන ආදිය නියෝජනය කරන්නෝ වෙති. මොවුන්ට අනුව බටහිර අධිරාජ්‍යවාදය යනු සිංහල ජාතිකවාදීන්ගේ ව්‍යාජ කථිකාවකි. ඔවුන්ට රටේ නිදහස් දිනය යනු සුද්දා අපෙන් නිදහස් වූ දිනයකි. ප්‍රභාකරන් මළ දිනය ඔවුන්ගේ ජාතික ශෝක දිනය වෙයි. එදා නෝර්වේ වැනි රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් මෙරට තුළ අටවන්නට ගිය ඊළමේ සිට, බලය බෙදීම, ජිනීවා වන්දනාව, එට්කා, සීපා, එම්සීසී වැනි ගිවිසුම් දක්වා වූ සෑම විජාතික මෙහෙයුමක්ම ඔවුන්ට මහත් ආස්වාදජනක දෑ වෙයි. සිංහල බෞද්ධකම තරම් බියකරු සතුරෙකු ඔවුන්ට ලොව කොතැනකවත් නැත. විදෙස් අතපෙවීම්, බටහිර කුමන්ත්‍රණ ආදිය විහිළුවට ලක් කරන මේ පිරිස වරාය නගරය සම්බන්ධව කතා කරන්නට යාමේදී පමණක් පුදුමාකාර ජාතිකවාදී දේශප්‍රේමී බවක් පෙන්වති. ඔවුන්ගේ දේශපාලනය කුමක්ද යන්න මෙවැනි උදාහරණ ඇසුරින් වටහාගත හැකි වන අතර, ඉතිහාසය පුරාම ඔවුන් කටයුතු කර ඇත්තේ බටහිර යටත්විජිතවාදයේ දේශීය නියෝජිතයන් වශයෙනි. එය හුදු හිතළුවක් නොව කරුණු සහිතව සනාථ කළ හැක්කකි. මොවුන්ට ඇත්තේ ලංකාව ගැන ආදරයක් නොව චීනය ගැන වෛරයක් පමණක් වන අතර, ඒ චීන වෛරය බටහිර ගැතිභාවයේම අඛන්ඩ දිගුවකි. ඒ වෛරය පෝට්සිටියේ සිට සයිනෝෆාම් එන්නත දක්වා චීන වූ සියලු දේට අදාළය.

කාගෙන් වුවද රටට අහිතකර බලපෑමක් එල්ල වේ නම් ඊට එරෙහි විය යුතු වුවද අනර්ථකාරී ගෝලීය මැදිහත්වීම්වලට සාපේක්ෂව චීනය අඛණ්ඩව කටයුතු කර ඇත්තේ අපේ මිතුරෙකු වශයෙනි. චීන විරෝධීන්ගේ අරමුණ වන්නේ ව්‍යාජ චීන අධිරාජ්‍යවාදයක් ගැන කියමින් ජාත්‍යන්තර දේශපාලනයේ මෙකී සැබෑ පින්තූරය වසන් කිරීමට උත්සාහ දැරීමය. අපේ වෑයම විය යුත්තේ ජාත්‍යන්තර දේශපාලනයේ මහා පින්තූරය නිවැරදිව තේරුම් ගනිමින්, ඊට සාපේක්ෂව රට නිසි තැන ස්ථානගත කිරීමය. ඒ උපායමාර්ගික දැක්ම මත පදනම්ව චීනය හා අත්වැල් බැඳගැනීම චීන බලපෑමට නතු වීමක් නොවන අතර, එය රටේ අනාගත අභිවෘද්ධියට තුඩු දෙන අපේ ජාතික සටනේම අඛණ්ඩ කොටසක් බව අප ගැඹුරින් තේරුම් ගත යුතුය.





Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'