Logo
2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා

ආණ්ඩුව සියතින් බෙල්ල කපාගැනීමේ ගමනක ආරම්භය මෙයද? ජනපතිතුමනි මේ අපරාධයට ඉඩදෙන්න එපා

ඉසුරු ප්‍රසංග


 ලෝකයේ විශිෂ්ටතම ආණ්ඩුවක වුවද පොඩි පොඩි වැරදි දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. එහෙත් පොඩි පොඩි වැරදි අඩුපාඩු සහ තම උපාය මාර්ගය මුළුමනින්ම වරද්දා ගැනීම අතර විශාල වෙනසක් ඇත.

මේ ආණ්ඩුව දැන් රිෂාඞ්ලා සමග අල්ලන්නට සැරසෙන අඩව්ව අයිති වන්නේ මෙකී දෙවැනි ගනයටය. ආණ්ඩුව ඒ සම්බන්ධව වැරදි තීරණයක් ගතහොත් එය කැලෑ කැපීම පන්නයේ  අඩුපාඩුවක් නොව, තම යෝධ ජනවරමට මුළුමනින්ම පස්ස හරවා උදේ පාන්දර සියතින්ම බෙල්ල කපාගැනීමක් බව අවධාරණය කළ යුතුය.

මේ කතාවේ ආරම්භය කුමක්ද? ආණ්ඩුව පළමුව සිය ජනවරමට කෙළ ගසන, අහිතකර කරුණු ගණනාවක් සහිත 20 වැනි සංශෝධනය කරළියට ගෙනාවේය. එසේ ගෙනෙමින් වැලේ වැල් නැතුව සිටි විපක්ෂයට නැවත ආයුධ සපයා දුන්නේය.

විපක්ෂය කෙසේ වෙතත් 20 පිළිබඳ සාධනීය විවේචන ඉදිරිපත් කළ ජාතික බලවේගයන්ගේ හඬට පවා කන් නොදී මුරණ්ඩු ලෙස එය බලාත්මක කරගැනීමේ තත්ත්වයකට ආණ්ඩුව පත් විය. 

ඒ අතරේ චෝදනා රැසක් එල්ල වී බන්ධනාගාර ගතව සිටි රිෂාඞ් බදුර්දීන්ගේ සහෝදරයා කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව හදිසියේ නිදහස් වී එළියට ආවේය.

ඔහුගේ කෙරුවාව ගැන පැහැදිලි සාක්ෂි ඇතැයි මාස කීපයකට පෙර සිංහ නාද නැගූ පොලීසියේ බලධාරීන් හදිසියේම මාධ්‍ය ඉදිරියේ බලු කුක්කන් බවට පත්විය. 

ඒ අතරේම බදුර්දීන් වන්නියේ පැවති උත්සවයකට සහභාගී වී චමල් රාජපක්ෂට අතට අත දෙන්නේ දෛවයේ සරදමකට සේය. 

මෙහි ඛේදජනකම අවස්ථාව වන්නේ දේශප්‍රේමී නිලධාරියෙකු ලෙස දැවැන්ත පෞරුෂයක් හා ජනතා විශ්වාසයක් ගොඩනගා ගෙන සිටි කමල් ගුණරත්න මහතා මෙහිදී බදුර්දීන්ගේ සහජීවනය ගැන චරිත සහතික ලියන්නට ඉදිරිපත් වීමය. 

කමල් ගුණරත්න වැන්නෙකු රිෂාඞ් ගැන එවැනි සහතිකයක් ඉදිරිපත් කිරීම හුදු අහම්බයක්ද? 

නැතහොත් එය ඉදිරි කාලයේ දිගහැරෙන්නට නියමිත දිගු කාලීන කුමන්ත්‍රණයක පෙර නිමිත්තක්ද? 

මේ පිළිබඳ කාටත් මතුවන සැකය අද වන විට තව දුරටත් උත්සන්නව ඇත්තේ මීට සමගාමීව නෙළුම් මාවතේ නිවට පක්කලියන් රිෂාඞ් ආවාට මොකද වැනි දෑ කියමින්, ජාතික බලවේගවලට පහරදෙන්නට වීම නිසාය. 

රටට ආදරය කරන කා තුළත් ඉහත ප්‍රශ්න සම්බන්ධව ඇති වන සාධාරණ සැකය, අප්‍රසාදය අන් කවුරු නැතත් ජනාධිපතිතුමා විසින් තරයේ සැලකිල්ලට ගත යුතුය. 

20ට රිෂාඞ්ගේ සහය ගත්තත් නැතත් දැන් ඔහුගේ සොහොයුරා අන්ධභූත ලෙස නිදහස් වී හමාරය. 

රිෂාඞ් ආණ්ඩුවට හදිසියේ එක් වුවත් නැතත් මෙයින් දෙන අනාගත සංඥාව සුබදායක නැත. ජාතිකවාදීන් නැතුවාට අපිට ගන්න අය ඉන්නවා යන පණිවිඩය ඒ තුළ ගැබ් වී ඇති අතර, නිවට පක්කලියන් ඒ කතාව ප්‍රසිද්ධියේ කීමටද පටන්ගෙන ඇත. 

ඉතිහාසයේ පළමු වතාවට අන්තවාදීන්ගෙන් බෙදුම්වාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවා හුස්මක් ගන්නටත් පෙර ආණ්ඩුව වැඩ කරන්නේ මෙසේ නම් ඒ සා තකතීරු ආණ්ඩුවක් ලෝකයේ තවත් තිබිය හැකිද? 

එය හුදු නිවේදනයක් මගින් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුත්තකි. ජනපතිතුමනි... ඔබ කියූ පරිදිම වරදක් සිදුවී ඇත්නම් එය වහා නිවැරදි කළ යුතුය. 

ආණ්ඩුවට අහිතකර කරුණු සහිත සංශෝධන ගෙන ඒමට සිදුවන්නේත්, ඒවා බලාත්මක කරගැනීමට අන්තවාදීන්ගේ උදව් අවැසි වන්නේත්, පක්කලියන් ලවා ජාතික බලවේගවලට පහරදෙන්නට සිදුවන්නේත් කා නිසාද යන්න ජනාධිපතිතුමන්ට හොඳ අවබෝධයක් තිබීමට බැරි කමක් නැත. 

එසේම අන්තවාදීන්ට කප්පම් දීමේ දේශපාලනය කාගේ තේරීමක්ද යන්න පිළිබඳවත් එතුමාට හොඳ අවබෝධයක් තිබිය යුතුය. 

එතුමාට 69 ලක්ෂයක සුවිශේෂී ජනවරමක් ලැබුණේ මුස්ලිම් ඡන්දවලට බියෙන් අන්තවාදය හමුවේ නැට්ට දෙපරැන්ද අස්සේ ගසාගෙන සිටි ඊනියා දක්ෂ සංවිධායකයන්  නිසා නොව ජාතික බලවේග මැදිහත් වී අන්තවාදයට එරෙහි සටන නොබියව අතට ගෙන සිංහල සමාජය අවදි කිරීම නිසාය.  

ආණ්ඩුව 20 ගෙනැවිත් එක වරදක් කරගත්තේය. දැන් එයින් ඇතිවූ අවුල සමනය කරගැනීම සඳහා ඊට වඩා දහස් ගුණයක් බරපතල වරදක් කිරීමට සැරසෙන බවක් පෙනෙයි. 

මේ සියල්ල කිසිදු ජාතිකත්වයක් නැති පුද්ගලයන් ජාතික බලවේගය අතට ගන්නට වලිකෑම තුළින් මතුවන ප්‍රශ්න වෙයි.  

ඒ නිසා මෙය මේ සිදුවීමට පමණක් සීමාවන්නක් විය නොහැකිය. මෙය බොහෝ විට දිගු කාලීනව ඉදිරියට යාමට නියමිත විනාශකාරී වැඩපිළිවෙළක පළමු පෙර නිමිත්ත විය හැකිය.

එක් පුද්ගලයෙකුගේ හෝ කීප දෙනෙකුගේ පෞද්ගලික සිහින වෙනුවෙන් ජාතියක ඉරණම බිල්ලට දීමට ඉඩ දෙන්නේද යන ප්‍රශ්නය අද රට හමුවේ ඉතිරිව ඇත. 

ඉදිරි වසර පහේදී රට බේරාගැනීමේ සටන ඇත්තේ විජාතික කල්ලිවලට වඩා ජාතික කඳවුර තුළම සිටිමින් ජාතිකත්වයේ ජනවරම කැලේ ගෙනයාමට උත්සාහ දරන අය සමග බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'