Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

ලක්දිව ශාසන ඉතිහාසය විකෘති කරන්න එපා (රාජ් සෝමදේවයන්ට පිළිතුරක්)

මැදග‌ොඩ අභයතිස්ස හිමි


මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් පසුගිය දිනෙක සිදුකල ප්‍රසිද්ධ දේශනයක දී සමස්ත සමාජයම නොමග යවන ආකාරයෙන් සිදුකල ඉතිහාස විරෝධී, න්‍යාය විරෝධී, තර්ක විරෝධී හා සම්ප්‍රදාය විරෝධී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙවන් ලිපියකින් ප්‍රතිචාර දැක්වීමට අදහස් කළේ ඒ පිළිබඳව සැලකියයුතු ප්‍රතිචාරයක් ඉතිහාස හෝ පුරාවිද්‍යා අංශයක වියතෙකු විසින් සිදු නොකළ බැවිනි. මෙය පෞද්ගලිකව එම මහතාට සිදුකරන විවේචනයක් නොව එතුමාගේ මතවාදයේ සාවද්‍යතාව පිළිබඳව සිදුකරනු ලබන ශාස්ත්‍රීය විවේචනයකි. එබැවින් බුද්ධිමතුන්ට මෙය විවේක බුද්ධියෙන් විමසා බැලීමට ආරාධනා කරන අතර මෙම කරුණු පිළිබඳව සංවාදයක් ඇවැසි නම් එයට මා සූදානම් බවද පළමුව දන්වා සිටිනු කැමැත්තෙමි. (මෙම විවේචනයට අදාළ  සෝමදේව මහතාගේ දේශනය  https://youtu.be/WVTa7OowyXA?t=16 ) 



එම කථාව තුළදී එතුමන් පැරණි මාලයක පින්තූරයක් පෙන්වා විජයගේ ආගමනයට වසර 300 කට පෙර එය ලංකාවට ආනනයනය කළ බව කාබන් ඩේට්ස් පරීක්‍ෂණයකින් තහවුරු වූ බව පවසයි. එය එසේ විය හැකිය. විජය පැමිණෙන්නේ හිස් ශ්‍රී ලංකාවකට නොව ජනාවාසව පැවැති දිවයිනකට බව මහාවංශයේ පවා තොරතුරු එන බැවින් එහි සිටි රෙදි වියා විලි වසාගන්නා ජනතාව ආභරණ පැළැන්දේ නැතැයි කිසි තැනෙක ඉතිහාසයේ ප්‍රතික්‍ෂේපයක් නැති පරිසරයක මෙය ඉතිහාසය සම්බන්ධ තවත් නව සොයාගැනීමක් නොව පුරාවිද්‍යා ගවේෂණයක ප්‍රතිඵලයක් පමණි. ඩෙප්රි නෙට්ලි බුදුන් ජීවමාන කාලයේම ලක්දිවට බුදුදහම ලැබුණායැයි පවසා ඇති බව ඔහු පවසයි. නෙට්ලි පමණක් නොව ලක්දිවට බුදුරදුන් වැඩමකල බව පිළිගන්නා සෑම නොදරුවෙක් ම බුදුදහම පිළිබඳව ලක්වැසියන් දැන සිටි බව පිළිගන්නා කරුණකි. තපස්සු භල්ලුක වෙළඳූන් බුදුන් ජීවමාන සමයේ ම ලක්දිවට පැමිණීම ආදිය මීට නිදසුන් ය. එහෙත් බුදුහිමියන් ලක්දිවට පැමිණ ශාසනයක් පිහිටවූ බවක් හෝ භික්‍ෂූ සංස්ථාවක් ලක්දිව පැවැති බවක් කිසි තැනෙක තහවරු කල හැකි සාධයකයක් හමු නොවේ. සෝමදේව මහතා කිරිමකුල්ගොල්ල ගල්ගුහාවක් "කෙර" නැමැති යක්‍ෂයන් විසින් මහ සඟනට පූජා කළ ප්‍රවෘත්තිය මෙරට මිහිදු හිමියන්ට පෙරාතුව භික්‍ෂූන් වැඩ සිටි බව තහවුරු කිරීමට සාධක කොට ගනී. පණ්ඩුකාභය ද යක්‍ෂයන්ගෙන් පැවත එන දරුවෙකි. එබැවින් එම යක් පරපුරේ කෙනෙක් මිහිදු හිමියන් වැඩමවා පසු කලෙක මෙම ගල්ලෙන පූජා කළා යැයි සිතීමට ඔහුට සිත් නොදෙන්නේ කිනම් හේතුවක් නිසා දැයි ඔහු එහිලා සඳහන් නොකරයි. මෙහි සඳහන් කළේ එම කථාවේ එන කරුණු කිහිපයක ඇති විඤ්ඤුප්‍රශස්ථ නොවන කරුණු දෙකක් පමණි.

අපගේ විශේෂ අවධානය යොමුවන කරුණ එන්නේ මින් අනතුරුව ය. හෙතෙම මිහිදු හිමියන් වැඩමවීමට පෙරාතුව ලක්දිව භික්‍ෂු ශාසනයක් ස්ථාපිතව පැවැති බවට ඉතා ප්‍රබලව දක්වන සාධකය නම් සම්මෝහවිනෝදනී අටුවාවේ එන ශ්‍රී ලාංකික සිංහල භික්‍ෂුවක් ඉන්දියාවට ගොස් යෝනක ධම්මරක්ඛිත හිමියන් මුණගැසුණු පුවතයි. එහිදී සෝමදේවයන් පවසන්නේ මෙම ප්‍රවෘත්තියේ එන යෝනක ධම්මරක්ඛිත හිමියන්ට එම නාමය ලැබෙන්නේ උන්වහන්සේ යෝනක දේශයට ධර්මප්‍රචාරය සඳහා වැඩමවීමෙන් අනතුරුව බවත්, උන්වහන්සේ යෝනක දේශයට වැඩමවීමෙන් පසුව නැවත ඉන්දියාවට නොපැමිණි බවත්, එසේ නම් යෝනක ධම්මරක්ඛිත හිමියන් මෙම ශ්‍රී ලාංකික භික්‍ෂුවට මුණ ගැසෙන්නේ නිරනුමානයෙන් ම ධර්ම ප්‍රචාරක කාර්යයට පෙරාතුව බවත්, එබැවින් ලක්දිව බෞද්ධ භික්‍ෂූන් මහින්දාගමනයට පෙර වැඩසිටි බවත් ය.

අහෝ, ප්‍රදේශ නමයකට බුදුදහම ගෙන ගිය භික්‍ෂූන් පිළිබඳව එන සියලුම  වාර්තාවන්හි යෝනක දේශයට බුදුදහම ගෙන ගියේ මහාරක්ඛිත නම් හිමියන් බවත්, යෝනක ධම්මරක්ඛිත හිමියන් බුදුදහම ගෙන ගියේ අපරන්ත දේශයට බව මහාචාර්යතුමන්ට අමතක වීද නො එසේ නම් හිතා මතා සිය මතය තහවුරු කිරීම සඳහා අමතක කළේ ද යන්න අපගේ විශ්මයට කරුණයි. ඉතා පැහැදිලිව අටුවාවන්හි, ශාසන වංසයෙහි මෙන්ම මහාවංශයෙහි ද සඳහන් වන්නේ යෝනක ධම්මරක්ඛිත හිමියන් අපරන්ත දේශයට වැඩම කළ බවයි.
 
යෝනක ධම්මරක්ඛිතත්ථෙරොපි අපරන්තකං ගන්ත්වා අග්ගික්ඛන්ධෙපමසුත්තන්තකථාය අපරන්තකෙ පසාදෙත්වා සත්තති පාණසහස්සානි ධම්මාමතං පායෙසි යනුවෙන් සමන්තපාසාදිකා අටුවාවේ ඉතා පැහැදිලිව උන්වහන්සේ අපරන්ත දේශයට වැඩමකොට හැත්තෑ දහසක් පිරිසට අග්ගික්ඛන්ධොපම සූත්‍රය දේශනාකොට ඔවුන් පැහැදවූ බව කියැවේ.

මහාවංශයෙහි,
ගන්ත්වාපරන්තකං ථෙරො - යොනකො ධම්මරක්ඛිතො
අග්ගික්ඛන්ධොපමං සුත්තං - කථෙත්වා ජනමජ්ඣගො,

යනුවෙන්, එම  ප්‍රවෘත්තිය ම සඳහන් වෙයි. යෝනක දේශයට වැඩමවූ මහාරක්ඛිත හිමියන් පිළිබඳව ද මහාවංශයේ දැක්වේ.

යොන රට්ඨං තදා ගන්ත්වා - සො මහාරක්ඛිතො ඉසී
කාලකාරාමසුත්තෙන - පසාදෙසි යොනකෙ,

යනුවෙන් මහාරක්ඛිත හිමි යෝනක දේශයට ගොස් කාලකාරාම සූත්‍රය දේශනා කොට යෝනකයින් ප්‍රසාදයට පත්කල බව පැහැදිලිව දක්වා ඇත. මේ අනුව මහාචාර්යතුමන් යෝනක දේශයට උන්වහන්සේ වැඩම කළාය යනුවෙන් දක්වන අදහස සම්පූර්ණයෙන් ම ඉතිහාස විරෝධී ප්‍රකාශයකි. එම හිමියන්ට එම යෝනක ධම්මරක්ඛිත යන අභිධානය ලැබෙන්නේ එහි වැඩම කිරීමෙන් පසුය යන අභ්‍යුපගමය මෙයින් ඉඳූරාම ඛණ්ඩනය වේ.

යෝනක ධම්මරක්ඛිත හිමියන්ට මෙම නාමය ලැබෙන්නේ වෙනත් හේතුවකිනි. එය සාරත්ථ දීපනී ටීකාවේ එන යොනකමහාධම්මරක්ඛිතත්ථෙරන්ති යොනකවිසයෙ ජාතං ඉධාගන්ත්වා පබ්බජිතං ධම්මරක්ඛිත නාමධෙය්‍යං මහාථෙරං යනුවෙන් යෝනක දේශයේ ඉපිද මෙහි පැමිණ පැවිදි වූ ධම්මරක්ඛිත නම් මහතෙරුන් යැයි ඉතා පැහැදිලිව දක්වා ඇති බැවින් කිසිදු සැකයකින් තොරව පැහැදිලි වේ.

මෙම ව්‍යාජ හා සාහසික ප්‍රකාශනය සෝමදේවයන් සිදුකරන්නේ ඔහුගේ කථාවේ ඊලඟට දක්වන මිහිදු හිමියන් ලක්දිවට ගෙනාවේ තෙවරක් සංස්කරණය කළ  බුදුදහමක් යැයි පැවසීමේ මූලික කොන්දේසියක් වශයෙනි. සංගායනා යනු සංස්කරණ නොවන බව මහාචාර්යතුමන් අවබෝධ කොටගත යුතුය. විශ්මය ඇත්තේ එහි නොවේ. ඔහු ලක්දිව බුද්ධාම හා ඉන්දියාවේ බුද්ධාගම දෙකක් යැයි පැවසීමට යෝනක ධම්මරක්ඛිත හිමියන් හා ශ්‍රී ලාංකික පුනබ්බසු කුටුම්බිකතිස්ස හිමියන් අතර ඇතිවීයැයි දක්වන සංවාදයයි. එබඳූ සංවාදයක් අටුවාවේ කිසිදු තැනෙක අපට හමු නොවෙයි. එවන් විකෘති කිරීමකට එතුමන් යොමුවන්නේ කවර නම් අදිසි හස්තයක අවශ්‍යතාව වෙනුවෙන් ද යන්න බුද්ධිමතුන් විසින් විමර්ශනය කළ යුතුය. ඔහුට මෙහිලා අවශ්‍ය වන්නේ ම ලක්දිව මහින්දාගමනයෙන් පසු ඇති බුද්ධාගම හා ඊනියා ඔහු කියන හිතලු  බුද්ධාගම අතර මතවාදී ගැටීමක් ඇති බව පෙන්වීමටයි. මේ හරහා බෞද්ධයන් තුළ ථේරවාදී බුදුදහම විෂයෙහි සැකයක් ජනිත කරවීම මගින් මෙකල බුද්ධ දේශනාවට විවිධ අර්ථකථන සපයන ධර්ම විලෝපකයන්ට සහයෝගයක් නොලැබේ යැයි කාට නම් කිව නො හැකිද?

මී ළඟට අපගේ අවධානය යොමුවිය යුත්තේ මෙම පුනබ්බසු කුටුම්මිකතිස්ස නම් ශ්‍රී ලාංකික භික්‍ෂුව යෝනක ධම්මරක්ඛිත හිමියන් හමුවීමට ගියේ කව දා කොහේට ද යන්න වෙතයි. සෝමදේවයන්ට අනුව උන්වහන්සේ ඉන්දියාවට ගිය බව කියැවේ. එහෙත් අටුවාවේ සඳහන් වන්නේ සො කිර තබ්බපණ්ණි දීපෙ බුද්ධවචනං උග්ගහෙත්වා පරතීරං ගන්ත්වා යනුවෙන් උන්වහන්සේ ලක්දිව බුද්ධවචනය හදාරා පරතෙර වැඩම කල බව පමණි. පරතෙර යනු ඉන්දියාව පමණක් යැයි මහාචාර්යතුමන්ට සිතුනේ මන්ද? ඉන්දියාවේ වෙනත් ප්‍රදේශයකට හෝ වෙනත් දේශකට ගොස් මෙම සංවාදය සිදුවීනම් එතුමන්ගේ තර්කය ප්‍රතිෂ්ඨා විරහිත වන නිසාවෙන් ද?

මෙහිලා යෝනක ධම්මරක්ඛිත හිමිවරුන් දෙදෙනෙක් ඉතිහාසයේ හමුවන බව සෝමදේවයන්ට පෙන්වා දිය යුතුය. එක නමක් අශෝක රාජ්‍යසමයේ වැඩසිටි අපරන්තදේශයට ධර්මය ප්‍රචාරයට වැඩම කළ හිමියන් වන අතර ථූපවංසයේ සඳහන් දුටුගැමුණු රජු දවස රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවයට යෝනක දේශයේ අලසන්දා නුවර සිට භික්‍ෂූන් වහන්සේලා තිස්දහසක් (30000) සමග වැඩමකළ යෝනක ධම්මරකක්ඛිත හිමියන් යනුවෙන් උන්වහන්සේලා වංසකථාවන්හි හමුවෙති. මෙම අලසන්දාව ඇලෙක්සෙන්ඩ්‍රියාව ලෙස හඳූනා ගැනේ. ලක්දිවට පවා භික්‍ෂූන් පිරිසකගේ නායකයා ලෙසින් වැඩමවූ මෙම යෝනක ධම්මරක්ඛිත හිමියන් මුණගැසීමට ක්‍රි.පූ. 161 -137 රාජ්‍යය විචාල දුටුගැමුණු යුගයේ වැඩසිටි පුනබ්බසු කුටුම්මිකතිස්ස නම් භික්‍ෂුවක් වැඩම කලේ යැයි උපකල්පනය කිරීම සෝමදේවයන්ගේ මෙම න්‍යාය විරෝධී උපකල්පනයට වඩා යුක්ති සහගත නොවන්නේ ද?

මේ අනුව ඉතිහාසය හා සම්ප්‍රදායගරුක භික්‍ෂූන් වහන්සේලා විවේචනය කරමින්, තමන් සියලු පොත්පත් කියවා ඇති මහා උගතෙකු ලෙසින් සිය ප්‍රකාශනයෙහිම සඳහන් කරමින්, එපමණක් ද නොව කාලාම සූත්‍රයට අනුව යමක් තර්කානුකූලව විග්‍රහ කළයුතු යැයි ප්‍රකාශ කරමින් ම අතාර්කික, ඓතිහාසික නොවන, සමාජය නොමග යවනසුළු මතවාදයක් ලෙස මිහිදු හිමියන් ගෙනාවේ තෙවරක් සංස්කරණය වූ දහමක් බවත්, ඊට පෙරාතුව ලක්දිව බුදුන්ගෙන් ම බණ ඇසූ ඹහුට අනුව First hand  ධර්මය උගත් භික්‍ෂු ශාසනයක් පැවතියාය යන රාජ් සෝමදේවයන්ගේ මතය ප්‍රතිෂ්ඨා විරහිත සිතළුවක් බවත් මෙහිලා පෙන්වා දිය යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය,
රාජකීය පණ්ඩිත මැදගොඩ අභයතිස්ස හිමි
 (2020. ජූලි 05 ඉරිදා ලංකාදීප )





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'