Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

සීයට තුනේ බෞද්ධ විරෝධය සහ රැඩිකල් නිරාගමිකත්වයේ ඇත්ත සහ බොරුව

ඉසුරු ප්‍රසංග


 ලෝකයේ සෑම ඓතිහාසික සංස්කෘතියක්ම පාහේ ගොඩනැගී ඇත්තේ භාෂාව, ආගම යන ප්‍රධාන සංරචක කේන්ද්‍රකරගනිමිනි. 


 විද්‍යාත්මක දියුණුව නිසා ආගම අහෝසි වී යනු ඇතැයි ලිබරල්වාදීන් හා සම්භාව්‍ය මාක්ස්වාදීන් එදා අවංකව සද්භාවයෙන් සිදුකළ පුරෝකතන ලෝකයේ කිසිදු තැනක ඇත්තක් වී නැත.


 බිමල්ලා ගෝත්‍රික යැයි හඳුන්වන ආගමික සංකේත වන්දනාව, ඊනියා සමාජවාදී රටවල සිට ලෝකයේ දියුණු යැයි කියන ඕනෑම රටක දක්නට ඇති දෙයකි.  


 ලංකාවේ බෞද්ධයන්ට ගෝත්‍රිකයන් යැයි ගරහන ජේවීපී වසලයන් පාප් වහන්සේ බැලීමට ලක්ෂ ගණනින් මහමග පොරකන විප්ලවකාරී කියුබානු සහෝදරයන් ගැන කිසිවක් නොකියති.  

පාප් වහන්සේ කියුබාවේදී


 ආගමට එරෙහිව දැඩි රාජ්‍ය මර්දනයක් දියත් කරමින්, උදේ සිට රෑ වන තුරු බලහත්කාරයෙන් මාක්ස්වාදය පමණක් ඉගැන්වූ ලෝකයේ එකදු සමාජවාදී රටකවත් ආගම සපුරා අහෝසි කරදැමීමට මාක්ස්වාදයට හැකිවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ කසිකබල් මාක්ස්වාදය සුන්නද්ධූලි වී යෑම පමණි. 


 සමාජවාදී චීනයේ එදා ආගම් ඇදහීම නීතියෙන් පවා තහනම් කර තිබුණද අද ඒ සියලු තහනම් ඉවත් වී තිබේ. එපමණක් නොව එය මිනිසාගේ අධ්‍යාත්මික අවශ්‍යතාවක් බවත්, ආර්ථික සංවර්ධනය සමග එරට ආගමික නැඹුරුව වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් වත්මන් චීන කොමියුනිට්ස් නායකත්වය නිල වශයෙන් පිළිගනිති. 


 භෞතික දියුණුව, සංවර්ධනය සමග ආගම අහෝසි වී යාම වෙනුවට සිදුව ඇත්තේ ආගමික නැඹුරුව වැඩිවීමය.


 දියුණු යැයි කියන බටහිර ධනවාදය ආගම අහෝසි කිරීම වෙනුවට ආගමික අන්තවාදය බල මෙවලමක් ලෙස භාවිත කරයි. 


 ඊනියා අනාගමික යැයි කියන බලවත් රටවල් ලෝකය ආක්‍රමණය කරනුයේ හේතුවාදය නොව ආගමේ අවිය සෘජුව හා වක්‍රව ඉහළට ඔසවා ගනිමිනි. 


 මේ අනුව අතීත සමාජවාදීන් එදා අවංකව විශ්වාස කළ විශ්ව සාධාරණ සුන්දර නිරාගමික ලෝකය බොරුවක් බව අද වන විට ලෝක පරිමාණව ඔප්පු වී ඇති අතර, නිරාගමිකත්වය පිළිබඳ සංකල්පය  අද භාවිතාවන්නේ වෙනත් විනාශකාරී අරමුණක් සහිත දේශපාලන ආයුධයක් වශයෙනි.


 රැඩිකල් නිරාගමික යැයි කියා ගන්නා සත්ත්ව කොට්ඨාසයක් ලංකාවේ සිටියද ඔවුහු උග්‍ර බෞද්ධ විරෝධීන් මිසක කිසිසේත්ම සැබෑ නිරාගමිකයෝ නොවෙති. 


 මේ රැඩිකල් නිරාගමිකයන් ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන්, දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිති. සහරාන්ලා ආරක්ෂා කරමින් ඔවුන්ට විරුද්ධ වන අයට එරෙහිව ජාතිවාදය අවුස්සනවෝ යැයි කෑ මොර ගසති. ජාතිවාදී පදනමින් රට බෙදන රනිල්ගේ තක්කඩි ව්‍යාපෘති වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරති. 


 ලංකාවේ ජනයා එකට බැඳ තබන මහා පොදු බැම්ම වූ සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ගේ ද්‍රෝහී මෙහෙයුමට ඇති ප්‍රධාන බාධකය වෙයි. සියවස් ගණනාවක් තිස්සේ එයට පහරදීම යටත්විජිත දාසයන්ගේ ප්‍රධාන උපායක් වී ඇත්තේ ඒ නිසාය.


 ප්‍රභාකරන්ලාට, සහරාන්ලාට ජයග්‍රහණ ලබාදෙමින් මේ රට කෑලි කෑලිවලට බෙදුණු අස්ථාවර මිනීකන්නන්ගේ දේශයක් බවට පත්කළ හැක්කේ බහුතර සිංහල ජනයා ජාතියක් ලෙස කල්පනා නොකරන තත්ත්වයට පත් කිරීමෙනි. තමන්ගේ උරුමයට වෛර කරන අක්මුල් නැති ගොබ්බයන් රැළක් බවට පත්කිරීමෙනි. ඔවුන්ගේ නිරාගමිකත්වය ලංකාව තවත් ලිබියාවක් බවට පත් කිරීමේ එකී ද්‍රෝහී මෙහෙයුම උදෙසාය.  


 බිමල්ලාගේ නිරාගමිකත්වයෙන් බිහි විය හැක්කේ ලෝකයේ කිසිදු තැනක නැති ඊනියා අනාගමික රාජ්‍යයක් නොව සහරාන්ලා, ප්‍රභාකරන්ලා රජ කරන ජාතියේ හා ආගමේ නාමයෙන් බෙලි කපන මිනීකන්නන්ගේ දේශයකි. 


 මේ සටහන ලියන මම පවා කිසිදු ආගමික වත්පිළිවෙතක නියැලෙන අයෙක් අයෙක් නොවෙමි. මෙරට මහා සංස්කෘතියේ නිර්මාණයක් වන මට ආගමික නීතිවලින් නොව හෘද සාක්ෂියේ හා බුද්ධියේ අවබෝධය තුළින් යහපත් ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් විකල්ප පඬියන් දේශනා කරන ඊනියා නිරාගමිකත්වය යනු එවැන්නක් නොවේ. 


 බිමල්ලාගේ බොරු නිරාගමිකත්වය වනාහී සහරාන්ලාගේ ආගමික අන්තවාදයේම විනාශකාරී බල මෙවලමකි. 


 නිරාගමික බොරුකාරයන් පාර්ලිමේන්තු යැවීම කසිප්පුකාරයන්, කොමිස්කාරයන්, දූෂිතයන් පාර්ලිමේන්තු යැවීමටත් වඩා බොහෝ භයානක අපරාධයක් වන්නේ ඒ නිසාවෙනි. 


ඉසුරු ප්‍රසංග





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'