Logo
2020 අගොස්තු මස 3 වැනි සඳුදා

පාඩම් උගත යුතු විපක්ෂයට දේශපාලන දැවැන්තයෙකුගේ පණස් වසර

කුසල් පෙරේරා


පළමුවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ දින සිට අවුරුදු 50 ක් ගතවන විටත් තවමත් සක්‍රීය දේශපාලනයේ සිටිනවා යැයි කියන්නේ සුළු පටු, ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ඒ ගමනෙහි ජාතික දේශපාලනයේ ප්‍රධාන තීරක

සාධකයක් ලෙසට පත් වීම, වඩාත් අභියෝගාත්මක පැවැත්මකි. ඉකුත් මැයි 27 වන දින මහින්ද රාජපක්ෂගේ පණස් වසරක දේශපාලනය විවිධාකාරයෙන් ඇගයුමට ලක් වූයේ එබැවින්ය.

ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ 1970 මැයි 27 වන දින මහ මැතිවරණයේ සිට 50 වසරක් ගත වූ දිනය ඉකුත් මැයි 27 දා විය. ඒ මැතිවරණයෙන් තේරී පත්වූ සියලු දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබූයේ ජුනි මස 07 වන දිනයේ ය. 

ඒ මන්ත්‍රීවරුන් 151 දෙනාගෙන් තවමත් සක්‍රීය දේශපාලනයේ ඉන්නා එවැනි අනෙක් පුද්ගලයා වාසුදේව නානායක්කාර ය. ඔවුන් සමග 70 මැතිවරණයෙන් පාර්ලිමේන්තු පැමිණි අනෙක් අති බහුතරය දැන් නැත. ආනන්දසංගරී, ආතාවුද සෙනෙවිරත්න වැනි සක්‍රීය දේශපාලනයේ ඇති නැති ගාණට දෙතුන් දෙනෙකු තව ඇත.

ඒ සියල්ලන් අතුරින් මහින්ද රාජපක්ෂ අද කැපී පෙනෙන්නේ ඔහුගේ පාර්ලිමේන්තු දේශපාලන දිවියේ ඔහු නොඉසුලූ තනතුරක් නොමැති හෙයින්ම නොවේ. ඔහු ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විය. ඔහු ඇමතිවරයෙකුද විය. 2018 ඔක්තෝම්බරයේ “මෛත්‍රී කුමන්ත්‍රණය” සමග ලැබූ තෙමසක අගමැති පදවිය අත හැර ඔහු අගමැති ධූරය දරණ දෙවන වර වර්තමානයයි.

 ජේ. ආර් ජයවර්ධන නිර්මාණය කළ සියලු බලැති විධායක ජනාධිපති ධූරයෙහි ඔහු දෙවරක් විය. එවගේම ඔහු වරක් විපක්ෂ නායකද විය. ඒ අතරතුර ඔහු ජය පරාජය විඳ ඒ සියල්ලෙහි අත්දැකීම්ද ලබා ඇත. ඒවායෙහි රස අමිරස කතාද ඇත. එහෙත් පළමුවර පාර්ලිමේන්තු පැමිණි දින සිට මෙතෙක් ඔහුගේ දේශපාලන ජීවිතයේ කතා කළ යුතු වැදගත්කම ඇත්තේ වර්තමාන විපක්ෂයට අවශ්‍ය නම් ඉන් උගත හැකි අතිශය ප්‍රයෝජනවත් පාඩම් තිබෙන නිසාය.

ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ යුග දෙකකි:

ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ යුග දෙකකි. පළමු යුගය 1977 මහ මැතිවරණයෙන් ඔහු පරාජය වීමත් සමග අවසන් වන්නේය. ඉන්පසු නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වූ 1989 පෙබරවාරි දක්වා වන අවුරුදු 12 ක පමණ කාලයේ 1985 සැප්තැම්බර මුල්කිරිගල අතුරු මැතිවරණය හැරුණු විට මහින්ද ගැන එතරම් කතාවක් නොතිබිණ. 

ඒ කාලය බෙලිඅත්ත සංවිධායක ලෙස ගෙවුනු හම්බන්තොට ප්‍රාදේශීය ක්‍රියාකාරිත්වය හා නීතිඥ වෘත්තීය හැරුණු විට ඔහුද අක්‍රීය වෙමින් පැවති ශ්‍රී.ල.නි.පයේ තවත් ආසන සංවිධායකයෙකු පමණක් විය. 

දෙවන යුගය ආරම්භ වන්නේ අනතුරුවය.

පළමු යුගයේ මහින්ද 70 පාර්ලිමේන්තුවේ ලා බාලම මන්ත්‍රීවරයා විය. නිදහසින් පසු මෙරට දේශපාලනයේ දැවැන්තයින් සැළකිය යුතු සංඛ්‍යාවක් ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සිටියහ. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ ඇමතිවරුන් වූ ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, කේනමන්, ෆීලික්ස් ඩයස්, ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානානයක, ටී.බී සුභසිංහ වැන්නන්ට අමතරව විපක්ෂයේ ඩඞ්ලි, ජේ.ආර්, දහනායක, එස්.ජේ.වී චෙල්වනායගම්, කදිරවේලුපිල්ලලේ වැනි අයද වූහ. 

කිසිදු තරුණ මන්ත්‍රීවරයෙකුට නොලැබෙන ඉමහත් වටිනා අත්දැකීමක් :

ඔවුන්ගේ ඇසුරෙහි පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කිරීමම විශ්ව විද්‍යාලයක උගෙනුමට වඩා වටින්නකි. එය මේ යුගයේ කිසිදු තරුණ මන්ත්‍රීවරයෙකුට නොලැබෙන ඉමහත් වටිනා අත්දැකීමකි.

ඒ පාර්ලිමේන්තුවේ මහින්ද මැදිහත්වූ එක් රැඩිකල් කාර්යක් වූයේ ‘71 කැරැල්ල සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වාසුදේව මන්ත්‍රීවරයාට නිවාඩු ලබා දීමේ යෝජනාවට හවුල් වීමය. බණ්ඩාරනායක අගමැතිනිය නුරුස්සනු ඇතැයි ඇය අමනාප නොකර ගැනීමට සමසමාජ නායකයින් වාසුදේව වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියහ. 

එවිට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස විජයානන්ද දහනායක වාසුදේවගේ නිවාඩු වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව මහින්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස අනුමත කළේය. ඔහුගේ ඒ හවුල සාමාන්‍යයෙන් කියවනු ලැබූයේ දේශපාලනයේ ප්‍රාදේශීයකරණය “දකුණ” ලෙස ගොනුවීම ප්‍රදර්ශනය කෙරුවක් ලෙසින්ය.

මහින්දගේ සැබෑ සක්‍රීය දේශපාලන යුගය ආරම්භය :

ඒ පළමු පාර්ලිමේන්තු යුගය එවැනි වූවත් මහින්දගේ සැබෑ සක්‍රීය දේශපාලන යුගය ආරම්භ වන්නේ දෙවන වර පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට වසරකට පමණ පෙර ය. 1987 දෙසැම්බරයේදී මා “විවිරණ” මාසික සඟරාවේ කවරයේ කතාව වෙනුවෙන් ඒ වනවිට දකුණේ දියත්වූ දැඩි මර්දනය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා මහින්ද හමුවන්නට තංගල්ලේ කාල්ටන් නිවසට යාමත් සමගය. 

ඒ වනවිට ජ.වි.පෙ නැවතත් රහසිගත සන්නද්ධ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට යොමුව සිටියහ. ඔවුන් බරපතල කුරිරු මර්දනයකට යටත් කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සහ අවට දිස්ත්‍රික්කවලය. ඒ තොරතුරු ඇසුරෙන් පසුව මා සකස් කළ දකුණේ අතුරුදහන් වූවන්ගේ පළමු ලේඛනය 1988 පෙබරවාරියේ අනුර බණ්ඩාරනායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ මහින්ද රාජපක්ෂගේ අත්සනින්ය. 

ඒ සමග අනීතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, අතුරුදහන් කිරීම් වලට එරෙහිව ආරම්භ කළ මානව හිමිකම් රැක ගැනීමේ උද්ඝෝෂණ සමග මහින්ද හම්බන්තොට ක්‍රියාකාරිත්වයෙන් එළියට පැමිණියේය. දෙවන වර 1989 පෙරවාරියේ මහින්ද පාර්ලිමේන්තු එන්නේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි දකුණේ නායකයෙකු ලෙසින්ය.

මේ යුගයේ ආරම්භක වසර කිහිපය ඔහුගේ දේශපාලනයෙහි ඉතා සටන්කාමී යුගයක් සටහන් කෙරෙන්නකි. වර්තමාන විපක්ෂයට වැදගත් වන්නේ මහින්දගේ ඒ දේශපාලන ක්‍රියාකාරිත්වය ය. මානව හිමිකම් වෙනුවෙන් මහින්ද පෙනී සිටියේ ශ්‍රී.ල.නි.පය කිසිත් නොකළ ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිවය. 

ප්‍රේමදාස ජනාධිපතිගේ ප්‍රතිරූපය හැදී තිබුණේ දැඩි අධිකාරවාදී ජනාධිපතිවරයෙකු ලෙසිනි. එනිසාම එ.ජා.පයේ නායකයින් ලෙස පෙනී සිටි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක වැන්නවුන්ට ඔහු හිසරදයක් විය. දෝශාභියෝගය එහි ප්‍රතිපලයකි. එහෙත් එය ඉතා සාර්ථකව විසඳා ගනිමින් ඇතුලත්මුදලි-ගාමිණි ඇතුලු කණ්ඩායම පක්ෂයෙන්ද නෙරපීමට ප්‍රේමදාස ජනාධිපති 1991 අගෝස්තු වනවිට සමත් විය.

 ඒ සමග, ප්‍රේමදාස ජනාධිපති යනු කිසිවකුට අභියෝග කළ නොහැකි අසහාය නායකයෙකු යැයි පොදු පිළිගැනුමක් සමාජයේ තහවුරු විය. ශ්‍රී.ල.නි.පයේ ඈලි මෑලි දුබල ගතියද ඊට එකතු වූවකි.

උද්ඝෝෂණ නිසා මහින්ද ලැබූ ජනප්‍රියත්වය...

ඒ වනවිට මානව හිමිකම් උද්ඝෝෂණ නිසා මහින්ද ලැබූ ජනප්‍රියත්වය රැක ගැනීමට ඔහුට කවර හෝ ආණ්ඩු විරෝධයක් අතට ගැනීමට සිදු විය. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් සංවිධානය කිරීමට මහින්ද රාජපක්ෂගේ උනන්දුවක් තිබූයේ එබැවින්ය. ඒ සඳහා පොදු සටන් පාඨයක් ලෙස ඉදිරිපත් කළ හැකිව තිබූයේ වෘත්තීය සමිති විසින් මතු කළ ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ සටන්පාඨය විය. 

එවැනි හෝ දේශපාලන විරෝධයක් සංවිධානය කිරීමට වමේ දේශපාලන පක්ෂ වලට කිසිදු හයියක් නොවුනි. ශ්‍රී.ල.නි.ප සතු ශක්තියක්ද නොවුනි. විවෘත දේශපාලනයකට අත ගැසිය හැකි නිරෝගී ශක්තියක් බණ්ඩාරනායක මැතිනියට නොවුනු නමුත් ඇය පක්ෂ නායකත්වය අත හැරීමට සූදානම් නොවූවාය. 

විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සැළකිය යුතු වැදගත් කාර්යක් ඉටු කරමින් සිටි අනුරට පක්ෂ නායකත්වය පැවරීමට එනමුත් ඇය සූදානම් නොවූවාය. එබැවින් පක්ෂයේ නායකත්ව අර්බූදයක් මෝරමින් තිබිණ.

ශ්‍රීලනිපය පිල් තුනකට කැඩී තිබු යුගයක් :


කොළඹ සිට කතරගම දක්වා පාද යාත්‍රාවක් යාම සඳහා 1991 නොවැම්බර් මාසයේ 24 වන දින තීන්දුව ගන්නා විට ශ්‍රී.ල.නි.ප නායකත්ව අර්බූදය උග්‍ර වූවකි. විජය කුමාරණතුංග සමග පක්ෂය බිඳ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටවූ චන්ද්‍රිකා නැවත පක්ෂයට ගැනීමට බණ්ඩාරනායක මැතිනිය තීන්දුකර තිබිණ. ඒ සමග ඇය පක්ෂ නායිකාව කිරීමේ වගකීම වෙනුවෙන් මංගල සහ එස්.බී දිසානායක පසුපසින් වැඩකොටසක් කරමින් සිටියහ. 

ඔවුන් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂද ඊට හවුල්කර ගෙන තිබූයේ ඔවුන්ට නැවත ශ්‍රී.ල.නි.ප සමග සන්ධානගත වන්නට තිබූ වුවමනාව සමගය. ඒ පෙරමුණේ නායිකාව ලෙස ඔවුන් ඒ වන විටත් චන්ද්‍රිකාගේ නම තීන්දුකර තිබිණ. ඒ සමග ශ්‍රී.ල.නි.ප අර්බුදය අක්කා මලෝගේ විවෘත රෙදි ඇපිල්ලීමක් බවට පත් විය.

පාද යාත්‍රාව සඳහා සංවිධාන කටයුතු ආරම්භ කරන විට, ශ්‍රී.ල.නි.පය අනුර පිළ හා චන්ද්‍රිකා පිළ යැයි දෙකට නොව “කිසි පිළකින් වැඩක් නැත” යැයි කියූ සැළකිය යුතු පිරිසක් සමග තුනට කැඩී තිබිණ. 

මාස 04 කින් පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කළ නොහැකිව තිබිණ. මාස 03 කින් මධ්‍යම කාරක සභාව රැස්ව නොතිබිණ. ඒවාද පිල් බෙදී තිබුණු බැවිනි. ඒ අතරතුර බණ්ඩාරනායක මැතිනිය විසින් අනුරට හිතවත් යැයි සිතා ජේ.ආර්.පී සූරියප්පෙරුම මහ ලේකම් තනතුරෙන් ඉවත්කර, ඇයගේ විශ්වාසවන්තයෙකු වූ ධර්මසිරි සේනානායක මහ ලේකම් ලෙස පත් කළාය.

පක්ෂයේ ඒ බිඳීම් කෙතරම් දුර දිග ගොසින් තිබුණිදැයි කිවහොත් ඒ දිනවල මහින්දට ලැබුණු තොරතුරු අතුරින් එකක් වූයේ, වීරසිංහ මල්ලිමාරච්චි ජනාධිපති ප්‍රේමදාසට “මහින්දලාගේ පාද යාත්‍රාව” වහා තහනම් කරන්නට යැයි කළ ඉල්ලීමට ජනාධිපති ප්‍රේමදාස ලබාදී තිබූ පිළිතුරය. “එක ගෙදර ඉන්න බැරුව ගහගන්න අය කොහේ පාද යාත්‍රා යන්නද? නෙකෙරන මගුළක් තහනම් කරලා මොනවටද නිකම් කුණු ගා ගන්නේ?” යැයි ජනාධිපති ප්‍රේමදාස කියා තිබිණ.

මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.පයේ අභ්‍යන්තර අර්බූදයෙහි කිසිදු පිළකට සම්බන්ධ නොවුනි. එය විසඳීමට උත්සාහ ගත්තේද නැත. එහි වැදගත් දේශපාලනයක් තිබිණ. තමන් උත්පත්තියෙන්ම “යු.ඇන්.පී විරෝධී” යැයි සිතා සිටින ශ්‍රී.ල.නි.ප ඡන්දදායකයින් ප්‍රේමදාස විරෝධීන් ලෙස පාර්ලිමේන්තු දේශපාලනයෙන් පිටත ගොනු නොකරන, පාර්ලිමේන්තුවෙන් පිටත රටට පෙනෙන්නට දේශපාලනයක් නොකරන නායකයින් අතර ඇතිකර ගන්නා සම්මුතීන් තාවකාලික විසඳුම් පමණක් වන අතර, එවැනි විසඳුම් මගින් ඡන්ද බලයක් හැදිය නොහැකිය. 

එනිසා කතරගම පාද යාත්‍රාව සමාජගත කෙරුණේ ප්‍රේමදාස විරෝධී ඒ ජන බලය වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ ජාතික නායකත්වයට එසවෙන්නේ ප්‍රේමදාස ජනාධිපතිට අභියෝග කරන්නාවූ “යු.ඇන්.පී විරෝධී” ජනතාවගේ නායකයා ලෙසින්ය.

“දුවන කෝච්චියට බෙල්ල තියන්න ජනතාව එන්නේ නැත”

මෙහිදී තවකක් කිව යුතුය. ප්‍රධාන විපක්ෂය සී සීකඩ විසිර තිබියදී විරෝධතා සඳහා ජනතාව එකතු කළ නොහැක. මා නිරන්තරව කියූවේ “දුවන කෝච්චියට බෙල්ල තියන්න ජනතාව එන්නේ නැත” කියා ය. එනිසා කෝච්චිය නතර කළ හැකි යැයි ඇඟවෙන විරෝධයක් ඔවුන්ට ඉදිරිපත් කළ යුතුය. ඒ වැනි ජන සහභාගි විරෝධයක් වර්තමාන විපක්ෂය මෙන් පුවත්පත් සාකච්ඡා, “වොයිස්-කට්” මගින් හා සමාජ මාධ්‍ය ජාලයන්හි කෙරෙන “මඩ කතා” මගින් සංවිධානය කළ නොහැක.

ඊට හාත්පසින් වෙනස්ව පාද යාත්‍රාව 1991 නොවැම්බර අග සිට 1992 මාර්තු 15 වන දින දක්වා මාස 04 ක් පූර්ණකාලීනව මැදිහත්ව සංවිධානය කෙරුවකි. ඊට ප්‍රධාන ඉල්ලීම් 04 ක් විය. 

(01) අතුරුදහන් කෙරුණු පුද්ගගලයින් පිළිබඳ වගවීම 
(2) අධික ජීවන වියදම 
(3) පෞද්ගලීකරණය නතර කිරීම සහ
 (4) යුද්ධය වෙනුවට සාකච්ඡාමය විසඳුමක් යන්න ඒ ඉල්ලීම් විය. 

එනිසා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ඊ.පී.ආර්,එල්. එෆ් සංවිධානයද සහාය පළ කලේය. ඒ සමග ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල පාද යාත්‍රා සංවිධාන කටයුතු අමරසිරි දොඩංගොඩටත් මහින්ද විජේසේකරටත් චමල් රාජපක්ෂටත් බාරදෙනු ලැබිණ. ඉතිරි සියලු දිස්ත්‍රික් මහින්ද රාජපක්ෂ විසින් පෞද්ගලිකවම සංවිධානය කෙරුණි. 

එබැවින් රට පුරා ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් හමුවන්නට අප නොගිය ආසනයක් නැත. මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, බල මණ්ඩල සාමාජිකයින්, ප්‍රාදේශීය හා නගර සභා මන්ත්‍රීවරුන්, පලාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය වෘත්තීය සමිති නායකයින් හමු නොවුනු දිස්ත්‍රික්කයක් නොමැත.  

සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින්ගේ විරෝධය මැද ...

එයට අමතරව, සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් පාද යාත්‍රාවට විවෘතවම විරුද්ධ වනවිට අපි ඔවුන්ගේ පාක්ෂිකයින් හා ක්‍රියාකාරීන් ප්‍රාදේශීයව හමුවීමු. ඒ සාකච්ඡා වලදී මහින්ද ඉදිරිපත් කළ ඔහුගේ ජනප්‍රිය කතාව වූයේ, “මේකට ඕනෑම යු.ඇන්.පී විරෝධියෙකුට එන්න පුළුවන්. කොන්දේසි නැහැ. වාමාංශිකයින් හැටියට ඒ නිසා ඔය සහෝදරවරුන්ට එන්න කිසිම බාධාවක් නැහැ” යන්නයි.

ඒ කතාව සතු සැළකිය යුතු ආකර්ශනයක් විය. පාද යාත්‍රාව 1992 මාර්තු 16 වන දින විහාර මහා දේවි උද්‍යානය අභියසින් පිටත් වනවිට, කැඩී බිඳී තිබූ ශ්‍රී.ල.නි.ප එක ගොනුවකට පැමිණ තිබිණ. මංගල හා එස්.බී සමග චන්ද්‍රිකා ඇයගේ පිරිස්ද කැටුව පාද යාත්‍රාවට හවුල් වූවාය.

කොමියුනිස්ට් පක්ෂ වෘත්තීය සමිති කිහිපයක ශාඛා සංවිධාන ඔවුන්ගේ බැනර සමගින් හවුල් වූහ. කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීවරුන් මාතරදී හවුල් වූහ. සමසමාජ පක්ෂයේ කාන්තා සම්මේලනය පක්ෂ තීන්දුවට එරෙහිව ඔවුන්ගේ සම්මේලනයේ තීන්දුවක් සමග විවියන් ගුණවර්ධනගේ නායකත්වයෙන් අවසාන දිනයේදී හවුල් වූහ. 

ඒ වන විට, පාද යාත්‍රාව හෙළා දකිමින් සමසමාජ හා කොමියුනිස්ට් නායකයින් නිකුත් කළ නිවේදන මාර්තු 14 වන ඉරිදා සිළුමින හා ඔබ්සවර් පුවත් පත්වල ලොකු ප්‍රසිද්ධියක් ඇතිව පළකර තිබිණ. සමසමාජ-කොමියුනිස්ට් විරෝධයට කිසිදු වලංගු බවක් නොලැබුණි. 

එනිසා අද මහින්ද කතා කරන්නේ මෙරට ඉතිහාසයේ ‘53 අගෝස්තු 12 හර්තාලයෙන් පසු ඉතා සාර්ථකව දියත් කළ දැවැන්තම ජනතා විරෝධයේ නායකයා වශයෙනි.

 “ජන ගෝෂාව” රට පුරා වඩාත් ව්‍යාප්තව..

ඉන් පසු පාද යාත්‍රාවේ ශක්තිය සමග ජූනි මස 04 වන දින “ජන ගෝෂාව” රට පුරා වඩාත් ව්‍යාප්තව සංවිධානය කෙරුණකි. එය එක් දිනක විරෝධයක් වූවාට එය ඉදිරිපත් කෙරුණේ දහවල් 12 සිට පැය බාගයක් ඕනෑම පුද්ගලයෙකුට තමන් ඉන්නා තැන සිට හවුල් විය හැකි ශබ්ද පූජාවක් වශයෙනි. එනිසා එදින ශබ්ද නැගිය හැකි හැම දේටම “යු.ඇන්.පී විරෝධීන්” තඩි බෑහ. 

මහින්ද ලිප්ටන් වට රවුමේදී ආරම්භ කළ ශබ්ද පූජාවට ඒ වෙලාවේ ධාවනය වූ වාහන බොහෝමයක් ඒවායේ නලා මහ හඬින් නාද කිරීමෙන් හවුල් වූහ. අපට පසුව ආරංචි වූ අයුරු වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක්ද ඔවුන්ගේ බෙලෙක් පිඟන් වලට ගසමින් ජන ගෝෂාවට හවුල්ව ඇත.
මහින්ද රාජපක්ෂ නායකත්වයට එන්නේ බිඳුණු පක්ෂයක තනතුරු බෙදා ගැනීමේ සම්මුති ඔස්සේ නොවේ. ඔහු නායකත්වයට එන්නේ ඔහු වටා පක්ෂයේ සාමාජිකයින් හිතවතුන් සහ පොදුවේ තමන් “යු.ඇන්.පී විරෝධී” යැයි සිතූ වාමගාමී පිරිස් ඒකරාශි කළ පාර්ලිමේන්තුවෙන් පිටත සංවිධානය කළ ආණ්ඩු විරෝධී ජනතා ව්‍යාපාර ඔස්සේය. ඒ ජනතා ව්‍යාපාර සඳහා ජනතාවගේ ඉල්ලීම් වලට නායකත්වය ලබා දෙමින් ය. ඉන් ඇත්තටම සිදුවූයේ පක්ෂ නායකයින්ට මහින්ද සමග සම්මුතියකට ඒමට ය. “යු.ඇන්.පී විරෝධී” ඡන්ද පදනම ඒ වනවිට මහින්ද අතට ගෙන තිබුණි.  

ඒ මත ඔහු පසුව හදාගත් සිංහල-බෞද්ධ දේශපාලනය ගැන වෙනම කතා කළ යුතු ය. එහි නිශේධාත්මක බලපෑම මත ඔහු සියලු ජනවර්ගයන් නියෝජනය කළ හැකි ජාතික නායකයෙකු නොවී, දකුණේ සිංහල-බෞද්ධ නායකයෙකු වීමේ රටටම බලපාන්නාවූ බරපතල දේශපාලන බෙදීම් අනිවාර්යෙන් කතා කළ යුත්තකි.

එහෙත් ආපසු හැරී බැලීමේදී මහින්දගේ පාර්ලිමේන්තු දේශපාලනයේ අවුරුදු 50 න් ඔහුට වඩාත් වැදගත් වූයේ දෙවන යුගයේ ඔහුගේ විවෘත දේශපාලන මැදිහත්වීම්ය. ශ්‍රී.ල.නි.පයේ සියලු බිඳ වැටීම් නොතකා ඔහු ජාතික නායකයෙකු වන්නේ සම්මත පාර්ලිමේන්තු දේශපාලනයෙන් බැහැරව කළ දේශපාලනයෙනි. අන් සියල්ල තීන්දු වූයේ ඒ මතින් ය. 

අදටත් මහින්ද ජනතාව අතර ඉන්නට හැම අවස්ථාවක්ම ලබා ගන්නේ ඒ ජනතා දේශපාලනයේ වටිනාකම ඔහු අන් සියල්ලන්ට වඩා හොඳින් දන්නා හෙයින්ය. විපක්ෂයට අවශ්‍ය නම්, ජනතා ඉල්ලීම් සමග “ආණ්ඩු විරෝධය” දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න හා ජනතාව සමග දේශපාලනය කරන්නේ කෙසේද යන්න මහින්දගේ අත්දැකීම් ඔස්සේ උගෙන ගත හැකි අතිශය වැදගත් පාඩමකි. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'