Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

මැයි 19 ගැන වාක්‍ය කීපයක්

ඉසුරු ප්‍රසංග


යුද්ධයට අවසානයක් මිස ජයග්‍රහණයක් නැතැයි කියන්නෝ යුද්ධයේ අවසානය සාමය බව නොදනිති.

යුද්ධයේ අවසානය ගැන කම්පා විය හැක්කේ සාමය නිසා අවතැන් වූ තිරිසන් ම්ලේච්ඡයන්ට පමණි.

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය ඊනියා දෙමළාගේ ප්‍රශ්නයක් නොව බටහිර යටත්විජිතවාදයේ බල මෙවලමකි. එයින් සිංහලයාට හෝ දෙමළාට අත්වන කිසිදු යහපතක් නැත.

කුඩු මුදලාලිලා බිහිවීමට හේතු ඇති බව කියමින් සිහිය ඇති කිසිවෙක් කුඞ්ඩන් ආරක්ෂා නොකරති. එහෙත් ත්‍රස්තවාදය බිහිවීමට බලපෑ හේතු ගැන කියමින් එය ආරක්ෂා කරන රැඩිකල් පඬියෝ ලංකාවේ ඉතා සුලබය.

සෑම ත්‍රස්තවාදයක්ම බිහිවීමට හේතු ඇත. මේ ඊනියා හේතු ගැන කතා කරන්නට ගියහොත් ලෝකයේ ඕනෑම ත්‍රස්තවාදයක් සාධාරණීකරණය කිරීමට සිදුවේ.

ත්‍රස්තවාදය විනාශ කරනවා විනා ඊට බලපෑ හේතු නැති කර ත්‍රස්තවාදය නැති කිරීම කිසිදා කිසිදු රටක කළ නොහැක්කකි.

ත්‍රස්තවාදියා හා විමුක්තිකාමියා අතර වෙනස හඳුනාගත නොහැක්කේ පොල් ගහ සහ කොස් ගහ අතර වෙනස හඳුනාගත නොහැකි තරමේ තකතීරුවන්ට පමණි.

රැඩිකල් පඬියෝ නිතරම යාපනය පුස්තකාලය ගැන කළු ජූලිය ගැන කම්පාවෙමින් ඒ අපරාධවල සැබෑ අයිතිකරුවා වූ එජාපය බලයට ගෙන ඒමට වලි කති.

පුස්තකාලය ගැන කළු ජූලිය ගැන දිවා රෑ දොඩමින් එහි වරද සමස්ත සිංහල ජාතිය මත පටවන පඬියෝ ත්‍රස්තවාදීන්ගේ අපරාධ ගැන කියමින් කිසිදා දෙමළ ජාතිය විවේචනය නොකරති.

කළු ජූලියක් ගැන නිතර දොඩවන පඬියෝ ත්‍රස්තවාදී අපරාධ ලැයිස්තුව කළු ජූලියට වඩා බෙහෙවින් දීර්ඝ බව අමතක කරති. නමුත් ඒවා නිතර වමාරාකමින් දෙමළාට එරෙහිව වෛරය වැපිරීම සිංහලයාගේ ක්‍රමය නොවේ.

ජාතිවාදය එපා යැයි බණ දෙසන රැඩිකල් පඩියෝ සිංහලයාට සාර්ව භෞමිකත්වයත් දෙමළාට ජාතිවාදී ඊළමත් යෝජනා කරති.

ධනේශ්වර හමුදාව ලවා කොටි මර්දනය කරවීම වැරදි යැයි කියන රැඩිකල් පඬියෝ තමන්ගේ නිවසට හොරු පැන්න විට ධනේශ්වර පොලීසියට යනු විනා හොරු බිහිවීමට හේතු ගැන කතා නොකරති.

හොරුන්ට, දූෂිතයන්ට, නීතියෙන් දඬුවම් දෙන්න යැයි ඝෝෂා නගන රැඩිකල් පඬියෝ ත්‍රස්තවාදීන්ට නීතියෙන් දඬුවම් දෙන විට පස්ස පොළොවේ ගසා ගනිති.

තමන්ගේ ගෙවල්වලට දොරගුලු, තාප්ප, ගේට්ටු දමා ගන්නා පඬියෝ ජාතික ආරක්ෂාව ගැන කතාකිරීම ජාතික අපරාධයක් ලෙස සලකති.

දෙමළාට ප්‍රශ්න ඇති බව කියමින් කොටි ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන පඬියෝ සිංහලයාගේ ප්‍රශ්න ගැන සාමකාමීව කතා කිරීම පවා ජාතිවාදය ඇවිස්සීමක් යැයි පවසති.

ත්‍රස්තවාදයේ අවසානය මිනිස් ඉතිහාසයේ සිදුවූ ලොකුම ඛේදවාචකය බව කියමින් හඬා වැළපෙන සාහිත්‍යකරුවන්, සිනමාකරුවන් ආදී ඊනියා පඬියන් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන රට ශ්‍රී ලංකාව යැයි සිතමි.

ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින රැඩිකල් පඬියන් තුළ ඇත්තේ දෙමළා ගැන ඇති ආදරයක් නොව බුර බුරා හැලෙන සමාජ වෛරයක් පමණි. ඔවුන්ගේ අඳුරු ජීවිත කතා අවුස්සා බැලීමෙන් මේ වෛරයට බලපෑ මූලයන් හඳුනාගත හැකිය.

යුද්ධයට අප කැමති නැත. එහෙත් විටෙක එය නොවැලැක්විය හැකි ඓතිහාසික කාර්යයභාරයක් ඉටු කරයි.

අප සමරන්නේ යුද්ධය නොව සාමයේ හා මනුෂ්‍යත්වයේ ඓතිහාසික විජයග්‍රහණයයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'