Logo
2020 ජූලි මස 15 වැනි බදාදා

අගමැතිගේ පුතාට සිංදු කියන්න තහනම්ද ?

ඉසුරු ප්‍රසංග


අගමැතිගේ පුතාට සිංදු කියන්න තහනම්ද ?

එහෙනම් දරුවා වෙනුවෙන් හදපු සිංදුවක් ටීවී එකේ දැම්මාම මොකද?

වෙන ගායකයෝ කී දෙනෙක් තමන්ගේ දරුවෝ ගැන හදපු සිංදු ටීවී එකේ ගියාද?

එහෙනම් අගමැතිගේ පුතාට විතරක් ඇයි ඒක කරන්න බැරි...?

මේ ප්‍රශ්නවලට උත්තරේ මොකක්ද?

පළවෙනි කාරණේ මෙයාව රටේ මිනිස්සු දන්නේ අගමැතිගේ පුතා විදිහට මිසක් ගායකයෙක් විදිහට නෙමෙයි. එයා ඕන නම් ජීවිතේටම සිංදු දෙක තුනක් කියලා ඇති. හැබැයි අතුලලා, සමිතලා, සනත් නන්දසිරිලා තමන්ගේ ළමයි ගැන සිංදු කිව්වාට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද එයාලා ගායකයෝ. ඒ නිසා ගායකයන්ගේ සිංදු ටීවී එකේ යන එකයි ජීවිත කාලෙටම සිංදුවක් දෙකක් කියපු අගමැති පුතාගේ සිංදුවක් ටීවී එකේ යන එකයි එකක් නෙමෙයි සම්පූර්ණෙන්ම දෙකක්.

ඊළඟට චිචී රටේ ඉන්න හොඳම ගායකයෙක් කියලා මොහොතකට හිතමු. එහෙම වුණත් එයාගේ සිංදුවක් රජයේ රූපවාහිනී නාලිකාවල යන කොට එතන දේශපාලන ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද මේ රටේ අගමැතිගේ පුතා නිසා. එතකොට අගමැතිගේ පුතා වීම නිසා ගායකයෙකුට තමන්ගේ සිංදුවක් ටීවී එකේ දාගන්න බැරි නම් ඒක අසාධාරණයක් නෙමෙයිද? ඔව් අසාධාරණයක් තමයි. හැබැයි රටක් හදන්න නම් නායකයන්ට එහෙම කැප කිරීම් කරන්න සිද්ධවෙනවා. ජාතියක මහා අරමුණු ඉස්සරහ තමන්ගේ පුතෙක්ගේ සිගිති ආතල් එකක් කැප කරන්න බැරි නම් ඒ විදිහට රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. අගමැති පුතාට සිංදු කියන්න ඕනම නම් තමන්ගේ යූ ටියුබ් එක, ෆේස්බුක් එක තියනවා. ඒ මදි නම් තව පෞද්ගලික නාලිකා තියනවා. ඒ නිසා ඕක රූපවාහිනියේ නොදා ඉන්න එක මහ අමාරු දෙයක් නෙමෙයි.

ඊළඟට අපිට තියන පරණ අත්දැකීම් අනුව මේවා මේ කිසිසේත්ම මේ වගේ මල් වැඩවලින් නවතින දේවල් නෙමෙයි. සිංදු කියන්න, කාර් පදින්න, බෝල ගහන්න, ඉහළම ලකුණු අරන් විභාග පාස් වෙන්න, ආචාර්ය උපාධි ගන්න, රොකට් යවන්න, ඉර හඳ තරණය කරන්න.... බලය තියන කාලෙට මේ පුතාලගේ හැකියාවන් දක්ෂතා ඉවරයක් නැතුව එළියට එන්න ගන්නවා. 2015 අත්දැකීම් ආපහු මතක් කරගන්න. ඊට පස්සේ ඒකට වන්දි ගෙවන්න වෙන්නේ පුතාලට විතරක් නෙමෙයි මේ රටට.

ඒ නිසා තමයි මේ වගේ නාඩගම්වලට පළවෙනි මොහොතෙම ෆ්ලැට් වෙන්න ගහලා නැති කරලා දාන්න ඕන කියන්නේ... එහෙම නැතුව එක එක හිඟන තර්ක දදා මේ දේවල් සාධාරණීකරණය කරන්න ගියොත් ඒකේ ප්‍රතිඵල සෑහෙන මීට වඩා දරුණු වෙනවා. 2015 වෙච්ච වින්නැහිය බොහොම අමාරුවෙන් ආපහු හරවලා 69 ලක්ෂෙක ජනවරමක් අරගෙන ගෝඨාභය වගේ වැදගත් නායකයෙක් පත්කරගත්තේ පිස්සන්ට ආතල් දෙන්න නෙමෙයි.

මෙච්චර කතා ඕන නෑ... ගෝඨාභයටත් පවුලක් තියනවා. පුතෙක් ඉන්නවා. පුතාට ලස්සන ගෑනියෙක් ඉන්නවා. හැබැයි එයාලා ඉන්නවද නැද්ද කියලාවත් කිසි කෙනෙක් දන්නේ නෑ... ඉතාම වැදගත් විදිහට තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. ඒ නිසා හැදෙනවා නම් වෙන කාගෙවත් කතා ඕන නෑ. අඩුම ගානේ තමන්ගේ බාප්පා දිහා බලලා හරි හැදෙන්න මේ අයට පුලුවන්. එක එක තර්ක දදා මේවා සාධාරණීකරණය කරන අයට නම් කියන්න තියෙන්නේ අංගොඩ ඉන්න දොස්තර මහත්තයෙක් හම්බවෙන්න කියලා විතරයි.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'