Logo
2020 ජූලි මස 3 වැනි සිකුරාදා

ප්‍රභාකරන්ලාට සහරාන්ලාට සුමන්තිරන්ලාට මාස්ක් හදන ජර්මානු සීයා දුටු සිහිනය

ඉසුරු ප්‍රසංග


 අවුරුදු එකසිය පනහකට පමණ පෙර ජර්මනියේ ජීවත් වූ එක්තරා සීයා කෙනෙක් පුදුමාකාර සිහිනයක් දුටුවේය. එහි තිබුණේ පන්ති නැති, දුප්පත් පෝසත් බේද නැති, රජයක් නැති, ආගම් නැති, මතවාද නැති, මිනිසුන් ස්වයංව පාලනය වී ඔටොමැටික් දෙවිවරුන් මෙන් හැසිරෙන, දශමයක නරකක් නැති, හොඳම රජයන, සර්ව සාධාරණ පරමාදර්ශී සමාජයකි.

 මේ සිහිනය දුටු සීයා එහි රසගුණ අනිත් අයටද කියන්නට විය. එවැනි සිහින දුටු අය ඊට පෙරද ලෝකයේ සිටි බැවින් සීයා මෙය කීවේ අලුත්ම ආකාරයකටය. ඒ අනුව ඔහු තම සිහිනය ලෝකයට ඉදිරිපත් කළේ නිකම්ම සිහිනයක් ලෙස නොව විශාල ආර්ථික දේශපාලන ඓතිහාසික පදනමක් සහිත ගැඹුරු දාර්ශනික මතවාදයක් ලෙසිනි. ඔහු ඒ සිහිනය වෙනුවෙන් තම දිවියම කැප කළේය.

 එතැන් සිට මාක්ස්වාදය නම් මේ මතවාදය තවත් අයගේ අදහස්වලින්ද පෝෂණය වෙමින් ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තේය. ලෝකයේ සිටි බොහෝ ප්‍රගතිශීලී, මානව හිතවාදී බලවේග වේගයෙන් ඒ වටා ඒකරාශී වන්නට වූහ.

 1917 රුසියානු විප්ලවය ඒ මතවාදයේ පළමු ප්‍රායෝගික අත්හදා බැලීම විය. රුසියාවෙන් පසු රටවල් ගණනාවක සාර්ථක අසාර්ථක විප්ලව මාලාවක් ඇතිවිය. සෑම රටකම පාහේ මාක්ස්ගේ සිහිනය පදනම් කරගත් දැවැන්ත ව්‍යාපාර බිහිවිය. දෙවැනි ලෝක යුද්ධය අවසාන වන විට රුසියාව, චීනය, නැගෙනහිර යුරෝපයද ඇතුළු සමස්ත ලෝක ගෝලයෙන් තුනෙන් එකකට වැඩි බිම් ප්‍රමාණයක සමාජවාදය ස්ථාපිතව තිබිණි. සීයාගේ සිහිනය සැබෑවක් කරන්නට මිලියන සිය ගණනක් දෙනා කැමැත්තෙන්ම සිය ජීවිත පූජා කළ අතර අනුන්ගේ ජීවිතද බිලිගත්තෝය.

 එහෙත් ජර්මානු සීයා දුටු සිහිනය සැබෑවට බවට පත් වූයේද? නැතහොත් සිදුවූයේ සිහිනයේ බලපෑමට ලක් වූ පුද්ගලයන් ක්‍රමයෙන් පියවි ලොවට ඇදවැටීමද?

 1917 සිට මේ දක්වා කාලය තුළ ලෝකයේ සමාජවාදී ආණ්ඩු හතලිකට ආසන්න ප්‍රමාණයක් බිහිව තිබේ. එහෙත් ඒ කිසි තැනක සීයා සිහින දුටු ආකාරයට පන්ති ගැටුමක් තුළින් සමාජවාදය බිහි වූයේ නැත.

 සීයා කියූ පරිදි කම්කරු පන්තියේ නැගිටීම් වෙනුවට ඇත්තටම සිදුවූයේ මාක්ස්වාදයේ බලපෑම ලැබූ ප්‍රබල පුද්ගලයන් විසින් වෙනත් විවිධ හේතු සාධක පෙන්වමින් ජනතාව පෙළගස්වා බලය ගැනීමය.

 උදාහරණයක් ලෙස කියුබාවේ විප්ලවයක් කළ කස්ත්‍රෝ බලය ලබාගෙනත් කාලයක් යන තුරු සමාජවාදයක් හෝ නිර්ධන පන්ති විප්ලවයක් ගැන වචනයක්වත් කතා නොකළේය. තව බොහෝ තැන්වලද එය එසේ විය.

 එපමණක් නොවේ. සීයා බලාපොරොත්තු වූ පොරොන්දු දේශය, මිහිපිට දිව්‍ය ලෝකය මේ සමාජවාදී රාජ්‍යයන් තුළ කිසිදා ඉදිවූයේද නැත. ඉදි නොවූවා පමණක් නොව බොහෝ තැන්වල සමාජවාදී අත්හදා බැලීම් දරුණු ඛේදවාචක බවට පත්විය. ඒ පටු මතවාදය තුළට විසල් ලෝකය බස්සන්ට යාමේ ව්‍යාජ ප්‍රයත්නය පෙරට ගියේ විය යුතු ලෙසම මිලියන ගණන් මිනිසුන්ගේ මිනීකඳු මතිනි. අනෙක් සෑම තැනකම ඇති බල අරගල, කැපිලි කෙටිලි, පරපීඩනය, නිලධාරීවාදය, දූෂණය, භීෂණය සමාජවාදය තුළද ඇති පදම් දක්නට ලැබිණි. සමාජවාදයේ ජයග්‍රහණ ලෙස පෙන්වා හැකි දේවල් බොහොමයක් ඇති බව ඇත්තක් වුවද, ඒ තරමටම එහි අඳුරු පැත්ත ගැනද පෙන්වා දිය හැකි දේවල් අති මහත්ය.

 සමාජවාදයේ මේ අසාර්ථකත්වයට බලපෑ පොදු සාධාරණ හේතු ගණනාවකි. 80 දශකය අගභාගය වනවිට ලෝක පරිමාණව සමාජවාදය බිඳවැටීම ආරම්භ වූයේ, ලෝකය තුළ සමාජවාදය අසාර්ථක වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

 රුසියාවේ හා නැගෙනහිර යුරෝපයේ සමාජවාදය මුළුමනින්ම අවසාන විය. අද චීනය, වියට්නාමය, ලාඕසය වැනි රටවල කොමියුනිට්ස් පක්ෂ බලයේ තිබුණද ඔවුන් සීයාගේ අදහස් බැහැර කර බොහෝ කල්ය. අර්බුද ගණනාවක ගිලී පවතින කියුබාව පවා පෞද්ගලික ව්‍යාපාර ආදියට ඉඩ දුන්නේ බොහෝ කාලයකට පෙරාතුවය. උතුරු කොරියාව කිසිවෙකුට තේරුම් ගත නොහැකි පිස්සන් කොටුවක් පමණි.

 මේ අනුව මාක්ස් සීයා පුරෝකතනය කළ ආකාරයේ සමාජවාදී රටවල් එකක්වත් අද ලෝකය තුළ නැත. අතීතයේ තිබුණේද නැත. අනාගතයේ බිහිවන බවට කිසිදු සලකුනක්ද නැත.

 ජිරාෆයෙකු නිවසේ ඇති ශීතකරණයකට දමන ආකරය කටින් කිව හැකිය. ඇරියා... දැම්මා... වැහුවා... නමුත් ප්‍රායෝගිකව කළ නොහැකිය. මාක්ස්වාදය ලෝකයට ගලප්පන්ට යාම යනු ජිරාෆයෙකුටත් වඩා විශාල තල්මසෙකු නිවසේ ශීතකරණයකට දමන්නට යාම වැනි වෑයමකි. කියන විට අපූරුය. නමුත් කළ නොහැකිය.

 ලෝකයේ කිසිදා කිසිදු ක්‍රමයකින් පරමාදර්ශී සමාජයක් බිහි කළ නොහැක. එහෙයින් දේශපාලන ව්‍යාපාර කළ යුත්තේ සමාජවාදය වැනි යල්පැන ගිය සිහින අතහැර, තමන්ගේ රටවල ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වූ ප්‍රායෝගික හා සාපේක්ෂව වඩා යහපත් ක්‍රමවේද වෙත යොමු වීමය.

 එහෙත් මේ ඇස් පනාපිට දිදුලන ඇත්ත පිළිනොගෙන තවමත් ජර්මානු සීයා අවුරුදු එකසිය පනහකට පෙර දුටු සිහිනය ඇත්තක් බව කියන පිරිසක් රටේ සිටිති. අද 2020 මැයි දිනයට ටිල්වින් සිල්වා කළ කතාව අසන්න. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

 මාක්ස්ගේ සිහිනය ලෝකයේ එක්තරා අවදියක මතුවූ ප්‍රගතිශීලී දේශපාලන ප්‍රවණතාවකි. නමුත් දැන් ඒ යුගය අවසානය. එහි උපත, පවත, විපත හා ඊට අදාළ හේතු තේරුම් ගැනීමට වර්තමාන ලෝකයට බැරි කමක් නැත.

එසේ තිබියදී බොරුවක් බව කවුරුත් දන්නා මේ ඉපැරණි බොරුව ඔවුන් තවමත් දේශනා කරන්නේ කුමක් සඳහාද?

 ලංකාවේ ටිල්වින්ලා වැනි වම්මුන්ගේ පිළිවෙත වන්නේ තවමත් මේ පැරණි සිහිනය ඇත්තක් යැයි කියමින් වෙනත් දේශපාලන කොන්ත්‍රාත් සඳහා එයට රැවටෙන අසරණයන් තවදුරටත් මුලා කිරීමය.

 රනිල්ගේ, සම්බන්ධන්ගේ, බදුර්දීන්ගේ, ප්‍රභාකරන්ගේ, සහරාන්ගේ සිහින සැබෑ කරදීම සඳහා මාක්ස්ගේ සිහිනය මාස්ක් එකක් ලෙස භාවිත කිරීමය.

 මැයි දිනය යනු එවැනි මාස්ක් කාරයන් කරළියට එන කාලයකි. ඔවුන්ගේ සමාජවාදයෙන් අප බොහෝ පරිස්සම් විය යුත්තේ ඒ නිසාය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'