Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

දේශපාලන බලයට හා මුදලට යටවන ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ‍

චාරක එරන්ද ගමගේ


රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට හරහා එළියට එන්නේ මෙතෙක් කලක් සුදුරෙදි කඩකින් වසාගෙන සිටි මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ නිරැවතය. ( නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් සමාජ සාධාරණය හා යුක්තිය ඉටු කිරීමට මෙරට පවතින් නීති ප්‍රමාණවත් ය.) යහපාලනය, ස්වාධීන අධිකරණය, ස්වාධීන කොමිසන් සභා ඇතුලු සියලු ප්‍රෝඩාවන් හරහා මෙරට සාමාන්‍ය ජනතාවට අධිකරණ කෙරෙහි තිබූ විශ්වාසය බිද වට්ටවා ඇත. පොල් ගෙඩියක් අඹ ගෙඩියක් බඩගින්න වෙනුවෙන් හොරකම් කළ මිනිසුන් මාස ගනන් හිරගෙවල්වල තපින්නෙත් රටේ ජාතික ධනය කොල්ලකෑවුන් නිදහසේ සිටින්නේත් නැතිනම් දවස් දෙකෙන් තුනෙන් ඇප ලබා පැමිණ ජනතාවට කෝචොක් දමන්නෙත් එය මනාවට පිළිඹිබු කරමිනි.

නීතිය ක්‍රියාත්මක කරන සමහරැන් සිතාගෙන සිටින්නේ අධිකරණයේ ගෞරවය යනු කකුල් වැහෙන්නට ඇදගෙන අධිකරණ ශාලාව තුලට පිවිසීම, හිස පහත් කොට ශාලාවෙන් පිටත්ට යාම, අත් දිග කමිසයක් ඇද සිටින්නෙ නම් කමිසයේ අත් දෙක දිගට දමාගෙන යාම, ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කිරීම, අධිකරණය තුල කැස්සක් ආවත් ඉවසාගෙන සිටීම, තම නඩුව විභාගයට ගන්නේ කීයටදැයි නොදැන උදේ සිට හවස් වනතෙක් අධිකරණ ශාලාව අසල සිටගෙන සිටීම වැනි දේවල් ය. ගේට්ටුවේ සිටින් පොලිස් නිලධාරියාගෙ සිට පැමිණෙන අහිංසක මිනිස්සුන්ට තම නිල බලයේ හයිය පෙන්නමින් පාට් දමන්නේ ඒ නිසාවෙනි. එවැනි දේවල් වලට දඩ ගසන්නේත් සමහර අවස්ථාවන් වල රිමාන්ඩ් පවා කර අධිකරණයේ ගෞරවය යනු කුමක්දැයි සාමාන්‍ය ජනතාවට ඔප්පු කර පෙන්වන්නෙත් ඒ නිසාවෙනි. එක් අතකින් රංජන් රාමනායකට ස්තුතිවන්ත විය යුතුය. ඒ බහුතරයක් දෙනා දැන සිටි එහෙත් සාක්ෂි නොමැතිව සිටි කාරණා වෙනුවෙන් ඇති තරම් සාක්ෂි සපයා දීම වෙනුවෙනි.

දැන්වත් මෙරට පාලකයන් තේරැම් ගත යුතු දෙයක් ඇත. අධිකරණයේ ගෞරවය රැකගත හැක්කේ සාමාන්‍ය අහිංසක මිනිසුන්ට යුක්තිය සාධාරණය ඉටු කිරීමෙන් මිස සාධාරණය බලාපොරොත්තුව උසාවියට පැමිණෙන අහිංසකයන්ට තම නිල බලය පෙන්වීමෙන් හෝ තම උසස්වීම් උදෙසා දේශපාලකයන් ලග ඇඹරීමෙන් හෝ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් දේශපාලකයන් හෝ යහමින් මිළ මුදල් ඇත්තවුන් සමග ඩීල් දැමීමෙන් නොවන බවය. එම පරිවර්තනය ඉතා ඉක්මනින් සිදුවිය යුතුය. එසේ නොවන්නේ නම් තෝල්ක තැන විසින් උසාවිය නිශ්ශබ්ද වෙනු යයි පවසන විට ජනතාව විසින් ඒ මොන රෙද්දකටදැයි අසන දිනය ඈතක නොවනු ඇත.

සමස්ත නිලාධාරීන් එසේ නොමැති බව සැබෑවක් වුවද බහුතරයක් සාමාන්‍ය ජනතාවට මෙරට අධිකරණ පද්ධතිය තුල නිසි කලට සාධාරණය ඉටු නොවන බවත් සැබෑය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'