Logo
2021 මැයි මස 14 වැනි සිකුරාදා

වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට දමා ඇත්තේ අමාත්‍ය අනුකමිටුවට පිටින් - ගම්මන්පිල





කොළඹ වරාය නගර කොමිෂන් පනත කෙටුම්පත පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

කැබිනට් අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ උදය ගම්මන්පිල, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය අනුකමිටුවට ඇතුළත් වෙති.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් මෙම කමිටුවට යොමුකර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතත් වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කර නොමැත.

ඒ පිළිබඳව කළ විමසුමකදී අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව සනාථ කළේය.

කෙසේ වෙතත් කොළඹ වරාය නගර කොමිෂන් පනත කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සක් සිකුරාදා (16) පස්වරුව වනවිට ගොනුකර තිබුණි. ඇතැම් පෙත්සම්වලින් ජනමත විචාරණයක් පැවැත්වීමටද නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. මෙම පෙත්සම් හෙට (19) විභාගයට ගැනීමට නියමිත අතර අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් කොටසක් ලෙසත්, කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශයක් බවටත් යහපාලන රජය සමයේ එවකට සිටි ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ වජිර අබේවර්ධන විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'