Logo
2021 මැයි මස 10 වැනි සඳුදා

මීගමුව මහ රෝහලේදී මියගිය අයෙකුට නැවත පණ එයි





වෛද්‍යවරයෙකු විසින් මියගිය බවට තහවුරු කර මෘත ශරීරාගාරයට යැවූ පුද්ගලයෙකුට නැවත සිහිය ලැබීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට අදාළ රෝගියා එම රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මීගමුව දුංගල්පිටිය පිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 09 වනදාය.

ඒ ඔහුගේ රුධිරයේ සීනී මට්ටම අඩුවීම හේතුවෙනි. 

ඇලෙක්සැන්ඩර්ගේ බිරිඳ විසින් ඔහුව මීගමුව මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂාකර තිබුණි.

එහිදී අදාළ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ රෝගියා මියගොස් ඇති බවටය.

පසුව රෝගියා මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබුණි.

රෝගියාගේ පවුලේ ඥාතීන්ද මෘත ශරීරාගාරයට ගොස් ට්‍රොලිය මත තිබූ සිරුර පරීක්ෂාකර තිබුණේ රෝහල් පොලීසිය ඥාතීන්ට කළ දැනුම්දීමෙන් අනතුරුවය.

එම අවස්ථාවේදී බිරිඳගේ හැඬීමත් සමග එක්වරම ට්‍රොලියේ සිටි රෝගියාගේ මුව සෙලවීමට පටන්ගෙන තිබේ.

ඒත් සමගම බිරිඳ හඬ නගමින් රෝහල් කාර්ය මණ්ඩලයට 
පවසා ඇත්තේ සිය ස්වාමියා මියගොස් නැති බවය.

වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාව එම රෝහලේ 4වෙනි වාට්ටුවට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'