Logo
2021 ජනවාරි මස 17 වැනි ඉරිදා

“බුරවී“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට ළංවෙයි





“බුරවී" කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි..

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී“සුළි කුණාටුව ඊයේ (01) ප.ව 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1ත් නැගෙනහිර දේශාංශ 84.2ත් ආසන්නව ස්ථානගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්  කරයි.

සුළි කුණාටුව සමඟ පැමිණෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 75 ත්, 85 ත් පමණ වන අතර, ඇතැම් විට එය පැයට කිලෝමීටර් 95 දක්වා වැඩිවනු ඇති.

මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.  ඇතැම් ස්ථානවල මි.මී 200ට වැඩි වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 80 -90 පමණ තද සුළං ඇති වේ.

සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 -70 පමණ තද සුළං ඇති වේ.

මෙරටට බලපා හැකි සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එමෙන්ම, අවදානම් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කෙරෙනවා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති මෙම නිවේදනයට අනුව නැගෙනහිර පළාතේ සියලු පාසල් අද සිට ලබන සිකුරාදා දක්වා දින 3 ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ප්‍රකාශ කළාය. සුළි කුණාටුවක් ඇති වුවහොත් ඉන් පීඩාවට පත්වන ජනතාවට අවතැන් කඳවුරු ලෙස පාසල් භාවිතා කිරිමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.


 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'