Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

20 ගැන රාමඤ්ඤ මහා නිකාය - අමරපුර මහා සංඝ සභාව සහ රදගුරු සම්මේලනය නිකුත්කළ නිවේදන





20 වැනි ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රාමඤ්ඤ මහා නිකාය සහ අමරපුර මහාසංඝ සභාව රැස්වී කිසිදු සාකච්ඡාවක් සිදුකිරීම හෝ ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව එම සංඝ සභාවල මහ නායක හිමිවරු අවධාරණය කරති. 

ඒ, ඊයේ එම සංඝ සභාවල ලේඛකාධිකාරී හිමිවරුන් කිහිප නමක් 20 වැනි සංශෝධන කෙටුම්පත අනුමත නොකරන බව පවසමින් පැවැත්වූ මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන උත්තරීතර මහනායක පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියන්ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරති.

අමරපුර මහා සංඝ සභාව රැස්වී 20 වැනි ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතු බව තම පෞද්ගලික මතය බවත් උන්වහන්සේ එම නිවේදනයෙන් පෙන්වා දෙති.

එමෙන්ම සංවර්ධනාත්මක විවේචනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් හොඳින් ඇහුම්කන් දිය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර වීම හේතුවෙන් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවය.

සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස්කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථකතන සිදුකිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලය නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 09 වන දා අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් ඒ පිළිබඳව තම ස්ථාවරය දන්වා ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (13) ලිපියක් යොමුකර තිබේ.

විගණන සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා අහෝසි කිරීම, අමාත්‍ය මණ්ඩල සීමාවන් ඉවත් කිරීම, වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා බලය සකස් කරගැනීම, ද්විත්ව පුරවැසි නීති වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයකට අදාළව එම ලිපියෙන් සිය විරෝධය පළ කරන බව මන්ත්‍රීවරයා පැවසීය. 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'