Logo
2020 ඔක්තෝම්බර් මස 24 වැනි සෙනසුරාදා

පාස්කු කොමිසමෙන් මෛත්‍රීට ඔහුගේ ලේකම්ට හා සහයක රදගුරුතුමන්ලාට අවවාද





පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිස අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩිලෙස අවවාද කර තිබේ.

කොමිසම ඔවුන්ට අවවාද කර ඇත්තේ, සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසය.

ඔවුන්ට අවවාද දී තිබෙන්නේ, කොමිසම් සභාවේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව නිකුත් කර තිබු මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ තීරණය ප්‍රකාශයට පත්කරමිනි.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.

එසේවුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් කොමිසමේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාය. 

නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ සිටියේ ය.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසී නිකුත් කර තිබුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබද කාදිනල් හිමිපාණන් දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු තුමන්ලා නිකුත් කළ නිවේදනයට අදාළවය.

කෙසේවෙතත් අද කොමිසම හමුවේ පෙනී සිටියේ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමන් පමණක් වන අතර නොතීසි නිකුත් කර තිබු කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අතිඋතුම් ඇන්තනි ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අදාළ මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත්කළේ ය.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" වරින් වර සංශෝධනය වී ඇති කොමිසන් සභා පනතේ 10 වන වගන්තිය අනුව මෙම කොමිසමට අපහාසයක් හෝ අගෞරවයක් සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යොමු කර දඬුවම් දීමට හැකියාව ඇත. කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනය මඟින් පෙන්වා දී තිබුණේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි අසත්‍යයක් බවයි. නමුත් හිටපු ජනාධිපතිවරයාද නුදුරු දිනකදී සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවන බව ඔහුට දන්වා යවා ඇත.කරුණු එසේ තිබියදී මාධ්‍ය නිවේදයනක් නිකුත් කළ මෛත්‍රීපාල සිරිසේන සහ සමීර ද සිල්වා මහත්වරුන් එවැනි නිවේදනයක් නිකුත් නොකළ යුතුව තිබුණු බව පවසමි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පෞද්ගලික ලේකම්වරයාට අවවාද කරන්නේ මින් පසු මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් නොකරන ලෙසයි. මීට අමතරව කොළඹ අගරදගුරු පදවියෙ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අවවාද කරන්නේ එවැනි මාධ්‍ය නිවේදන මින් පසු නිකුත් නොකරන ලෙසයි."

මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අද තෙවන දිනටත් සාක්ෂි විමසීම ජනාධිපති කොමිසම විසින් ආරම්භ කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'