Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

නාකොටික් නිලධාරීන්ගේ බැංකු ගිණුම් ගැන විස්තර හෙළිවේ





අත්අඩංගුවට ගෙන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට අයත් බැංකු ගිණුම් 43ක් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද (8) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

දැනට රැඳවුම් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කරුණු වාර්තා කර තිබූ පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මේ බව දැනුම් දුන්නේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේ දැනට රැඳවුම් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පස් දෙනෙකුට අයත් බැංකු ගිණුම් 43ක් මහාධිකරණයෙන් ලබාගත් නියෝග මත තහනම් කර ඇති බවය.

එසේ තහනම් කරන ලද ගිණුම්වල ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 46කට ආසන්න බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම තහනම් නියෝග ලබාගෙන තිබෙන බවද ඔහු අධිකරණයට දැන්වීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'