Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

නිවසේ සිදුවු පිපිරීමකින් හිටපු එල්ටීටීඊ සාමාජිකයාට බරපතළ තුවාල





කිලිනොච්චිය,පලෙයි,අයියකච්චි ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව ඇති අතර, එහිදී හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

මේ අතර, එම නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, “කළු කොටි සැමරුම සිදුකරමු“ යනුවෙන් සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් සමඟ ගුරුවරියක් ලෙස සේවය කරන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පලෙයි පොලීසිය පවසයි.

අදාළ ගුරුවරියගේ නිවස තුළ කිසියම් පිපිරීමක් ඉකුත් 03 වැනි දින සිදුව ඇති අතර,  එහිදී අත්අඩංගුවට ගත් ගුරුවරියගේ ස්වාමිපුරුෂයා මෙලෙස තුවාල ලබා තිබේ.

තුවාලකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන බවට කිලිනොච්චිය ආරක්ෂක අංශ අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩංගුවට ලත් 43 හැවිරිදි ගුරුවරිය මේ වන විට අයියකච්චි ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ වන මෙම කාන්තාව කුමන කටයුත්තක් වෙනුවෙන් අදාළ පුපුරණ ද්‍රව්‍ය සකස් කළේ ද යන්න සොයා ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් කාන්තාව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පලෙයි පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, ත්‍රස්ත විමර්ශන ඒකකය හා යුද හමුදා නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'