Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

මුහුණු වසාගෙන UVA T20 ඉන්දියාවේදී පවත්වලා - බදුල්ල කියා පෙන්වා ඇත්තෙ පන්ජාබයේ ක්‍රීඩාංගනයක්





ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ පැවැත්වූ බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කළ වංචාකාරී UVA T20 ප්‍රිමියර් ලීග් තරාගාවලිය පන්ජාබ් ප්‍රාන්තයේ චන්ඩිගාර් අසල මොහෙලි නම් ප්‍රදේශයේ සවර නම් ගමේ පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   එවැනි තරගාවලියක් පැවැත්වීමේ සැබෑ අරමුණ කුමක්ද යන්න පන්ජාබ්හි කරාර් දිස්ත්‍රික්කයේ පොලිසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙයි.

විස්සයි විස්ස තරඟාවලිය යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය වූ බව විචාරකයින් කියා සිටි අතර, තරඟ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ බදුල්ල නගරයේ බව පැවසූ නමුත් මෙම තරග සැබවින්ම පවත්වා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත අධිවේගී මාර්ග 12 ඒ අසල චන්දිගාර් සිට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි සවර ගම්මානයේ භූමියක ය.

සහභාගී වූ ක්‍රීඩකයින් පන්ජාබයේ වැසියන් යැයි කියනු ලබන අතර ඔවුන් මුහුණු ආවරණය කර ක්‍රීඩා කොට ඇත. යූ ටියුබ් හි තරඟ වල සජීවී ආවරණයට ක්‍රීඩකයන්ගේ සමීප දර්ශන කිසිවක් නොතිබූ බැවින් ඔවුන් හඳුනා ගැනීම දුෂ්කර වි කිබේ.

UVA T20 ලීගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිලකරත්න දිල්ෂාන්, ෆර්වීස් මහරූෆ්, තිලාන් තුෂාරා සහ අජන්ත මෙන්ඩිස් නායකයින් ලෙස නම් කර තිබුණි. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මෙය ප්‍රතික්ෂේප කළහ.

මෙම හෙළිදරව්ව පිළිබඳ වඩාත්ම වැදගත් අංගය වන්නේ තරඟ ප්‍රචාරය කොට ඇත්තේ  ෆෑන්කෝඩ් FanCode විසින් වීමයි. FanCode හි මව් සමාගම ඩ්‍රීම් ස්පෝර්ට්ස් වන අතර එම සමාගමේ Dream 11 ආයතනය ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ අනුග්‍රාහකයන්ගෙන් එකකි.

ෆැන්කෝඩ් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පවසන්නෙ ඌව පළාතේ ක්‍රිකට් සංගමයෙන් ඔව්න්ට සහභාගි වන ලිපිය ලබා දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල විද්‍යුත් තැපැල් ලිපියකින් ඔවුන්ට මේ තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කල බවයි.

ජුනි 29 වන දින පළමු තරඟ දෙකෙන් පසුව ෆෑන්කෝඩ් විසින් තරඟාවලිය සජීවීව විකාශය නැවැත්වීය. වංචා සහ සූදුව සම්බන්ධ චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු පන්ජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැන් දැනගන්නට ඇත.

එවැනි ලීගවල තරඟ විකාශය වීමට හේතුවක් වන්නේ ඕනෑම තැනක නරඹන අයට ඔට්ටු තැබිය හැකි අතර බුකී කරුවන්ට එමගින් මුදල් උපයා ගත හැකි වීමයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'