Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

ලෝකයේම ළමයින්ට කතන්දර කියූ ආච්චි අම්මා නිහඬ වෙයි





කෘතහස්ත ළමා කතා ලේඛිකා සහ චිත්‍ර ශිල්පිණී කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය ඊයේ (30) රාත්‍රියේ  අභාවප්‍රාප්ත විය.

මියයන විට 92 වන වියේ පසු වූ ඇයගේ දේහය මේ වන විට පැපිලියාන ඩයස් පාරේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබේ.

 1928 ඔක්තෝබර් 31 වනදා ගාල්ල ගිංතොටදී උපත ලැබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය දැයේ දරු දැරියන්ගේ ආදරයට පත්වන්නේ ඇයටම ආවේණික චිත්‍ර හා කතන්දර ශෛලිය නිසාය.

වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිසෙන සිබිල් වෙත්තසිංහ මහත්මිය මේ වන විට ග්‍රන්ථ 200 කට ආසන්න සංඛ්‍යාවක් රචනා කර තිබේ.

ඉංග්‍රීසි, දෙමළ, ජපන්,චීන, පෘතුගීසි හා කොරියානු ආදී භාෂාවන්ටද පරිවර්තනය වූ අතර ජාතික හා අන්තර්ජාතික වශයෙන් සම්මානයටද පාත්‍ර වී තිබුණි. 

දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් "වොන්ඩර් ක්‍රිස්ටල්" හෙවත් "පුදුම පළිඟුව" ළමා කෘතියේ අවසානය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දුන් සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා අතරට එක්වූයේ ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතියේ නිර්මාතෘවරිය බවට පත්වෙමිනි.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා පස්වරු 3 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

අකුරු සිතුවම් සහ සෙනෙහෙස සම්මිශ්‍රනයෙන් සොඳුරු ළමා ලොව තවත් හැඩ කළ ආදරණීය සිබිල් නැන්දා...ඔබට නිවන් සුව.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'