Logo
2020 ජූලි මස 7 වැනි අඟහරුවාදා

COVID 19 සම්බන්ධ රජයේ ප්‍රතිචාර ශක්තිමත් කිරීමට කැනඩාවෙන් ඩොලර් 400000ක ආධාරයක්





ශ්‍රී ලංකාවට කැනේඩියානු ඩොලර් 400,000ක ප්‍රදානයක් පිරිනැමීම සම්බන්ධ ගිවිසුමකට අද (04) ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් මහත්මිය අතර අත්සන් තබා ඇත.

කෝවිඩ්-19 වසංගතය අතරතුරදී පවා, අනතුරුදායක තත්වයන්ට මුහුණ දී සිටින කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට හා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ වැදගත් සේවා ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීමේ කාර්යයන් සඳහා මෙම අරමුදල භාවිතා කරන බව සඳහන්.
   
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා රෝහල්වල තිබෙන සත්කාරක සේවාවන් වැඩිදියුණු කිරීමටත්, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයකටත්,  මාතෘ සෞඛ්‍යය වෙනුවෙන් වෛද්‍ය උපකරණ මිල දී ගැනීමටත්, වසංගතය හේතුවෙන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සිදු වී තිබෙන සමාජ ආර්ථික බලපෑම ගැන විශ්ලේෂණයක් මෙහෙයවීමටත් මෙම නව අරමුදල යොදා ගනු ලැබේ. 

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය උපදේශකත්වය ලබාදෙනු ඇත.

කැනඩා රජය වෙනුවෙන් කතා කරමින් මහ කොමසාරිස් ගරු ඩේවිඩ් මැකනන් මහතා මෙසේ පැවසී ය,

 “වසංගතයේ කණගාටුදායක පැතිකඩක් වන්නේ, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යාම හේතුවෙන් ලොක්ඩවුන් අවහිරතාවල දුෂ්කරතා සහ ආර්ථික පීඩනය තවත් සංකීර්ණ වීමයි. 

එම වින්දිතයන්ට ශක්තිමත් ආකාරයෙන් සහාය ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හරහා ශ්‍රී ලංකා රජයට ආධාර කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි සතුටු වන්නෙමු.” 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් මහත්මිය පහත දැක්වෙන කරුණු අවධාරණය කළා ය,

“කෝවිඩ්-19ට ප්‍රතිචාර දැක්වීමේදී, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වෙනස් අවශ්‍යතා සහ ප්‍රමුඛතා පවතින බව අප විසින් හඳුනාගත යුතුව තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වඩාත්ම අවදානම් සහගත කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සහාය වීම අඛණ්ඩව කරගෙන යයි. 

ඔවුන්ගේ ආරක්ෂක සහ සෞඛ්‍ය අවශ්‍යතා කෝවිඩ්-19ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයන්හි වැදගත් ම කොටසක් විය යුතු ය.” 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'