Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

ත්‍රීරෝද රථයකට වල්අලි පහර දීමක්-පියා හා දියණිය රෝහලට





යාපනය-නුවර ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය,පූනෑව ප්‍ර දේශයේදී ඊයේ සවස ත්‍රීරෝද රථයකට වල් අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ පූනෑව දෙස සිට මැදවච්චිය දෙසට ගමන් ගත් ත්‍රීරෝද රථයකට පූනෑව ඉසිපතන මහා විද්‍යාලය ආසන්න කැළෑ ප්‍රදේශයේදී වල් අලියෙකු පහර දී ඇති බවයි.

ත්‍රීරෝද රථයේ ගමන්ගත් පියෙකු හා දියණියක අනතුරින් තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගය හරහා දිවා කාලයේ දී පවා වල් අලි මාර්ගය හරහා හුවමාරු වන බවද පූනෑව ප්‍රදේශවාසීන් පැවසූහ.

පුනෑව ප්‍රදේශවාසීන් පැවසූවේ මීට පෙරද අවස්ථා කිහිපයක දී අදාළ ප්‍රදේශයේදී වල් අලි පහරදීම හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ වල් අලි ප්‍රධාන මාර්ගය හරහා මාරුවන සීමාව හරහා අලි වැටක් ඉදිකරදෙන ලෙසට අවස්ථා ගණනාවක දී වගකිව යුතු අංශයන්ගෙන් ඉල්ලීම් කළඳ මේ දක්වා නිසි පිළිතුරක් නොලැබුණ බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'