Logo
2020 ජූලි මස 14 වැනි අඟහරුවාදා

අඩසියවසක ලාංකීය දේශපාලනයේ රන් සළකුණ





1945 වසරේ නොවැම්බර් 18 වනදා හම්බන්තොට විරකැටිය ප්‍රෙද්ශයේ උපත ලද මහින්ද රාජපක්ෂ මහතා  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පසුව කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කර තිබේ.

1967 වසරේදී ඔහුගේ පියාවූ ඩී ඒ රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව, මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වුණි.

ඒ අනුව වයස අවුරුදු 24 ක් වනවිට, පාර්ලිමේන්තුවෙහි ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වෙයි. 

පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඔහු, 1977 වසරේදී නීතිඥයෙකු ලෙසින්ද දිවුරුම් දුන්නේය.

1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි වුවද 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට ඔහු සමත් වුණි.

වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද 2002 වසරේ මාර්තු මාසයේ දී විපක්ෂ නායකවරයා ලෙසද ඔහු  කටයුතු කරනු ලැබුවේය.

2004 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේය.

2005 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර බහුතර ජනතාවගේ ඡන්දයෙන් එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණි.

ජනාධිපතිවරයා මෙන්ම මෙරට සේනාධිනායකයා ලෙසද වසර 30 ක් පැවති කුරිරු යුද්ධය 2009 වසරේදී එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් අවසන් කර, රට එක්සේසත් කිරීමට එතුමා ලබාදුන් නායකත්වය අති මහත්ය.

2015 වසරේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු විපක්ෂයේ කාර්යයභාරය ඉටුකරමින් 2019 ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා නායකත්වයද ලබා දුන්නේය.

ඉන් අනතුරුව 03 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පත් කෙරුණු අතර අද දක්වාම ඔහුගේ සේවය ජනතාව වෙනුවෙන් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින්නේ සිය දේශපාලන දිවියේ වසර 50 ක කඩයිමද පසුකරමින්ය.

මේ වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සිය සුභපැතුම් එක්කරන්නට මෙලෙස කටයුතු කර තිබු අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද දුරකථනය ඔස්සේ සිය සුභ පැතුම් එක් කර තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'