Logo
2020 ජූලි මස 14 වැනි අඟහරුවාදා

සහල් මාෆියාව කුඩුකළ හැකි සෑබෑ වෙඩික්කරුවා යළි කැදවීම නව බලාපොරොත්තුවක් - හර්ෂ ද සිල්වා





සහල් මාෆියාව කුඩුකළ හැකි සෑබෑ වෙඩික්කරුවා යළි කැදවීම නව බලාපොරොත්තුවකි. Government brings new terminator to destroy rice mafia.

ඊයේ (26) රාත්‍රී විකාශය වූ ප්‍රවෘත්තියක් දැකීමෙන් මා අතිශය සතුටට පත්වුණෙමි. එම පුවතෙන් පෙන්වූයේ සහල් මාෆියාවට මුහුණදීම සඳහා “ශක්ති“ සහල් වැඩසටහන වත්මන් රජය යළි පණ ගන්වා තිබෙන බවයි. මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද සහභාගී වී සිටියේය.

මෙහිදී, අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ නියෝජිතයින් සඳහන් කළේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මාෆියාවට පිළියමක් ලෙස සතොසට “ශක්ති“ සහල් කිලෝ ලක්ෂයක් ලබාදෙන බවයි.

මෙහිදී, නාඩු සහල් කිලෝවක් රුපියල් 89 කටත් සුදු සහල් කිලෝවක් රුපියල් 84 කටත් ලබාදෙන බව ඔවුන් පැවසීය. මාගේ නායකත්වයෙන් එදා ආරම්භ කළ “ශක්ති“ සහල් වැඩසටහන ඡන්දය දිනා ගැනීමට ඇරඹූ දේශපාලන ව්‍යාපෘතියක් නොවේ. එය අපි නිර්මාණය කළේ සහල් වෙළඳපොළ හසුරුවන මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනාට වෙළඳපොළේ තරගයක් ලබාදීම සඳහායි. ඒ සඳහා අපි සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සවිබල ගන්වමින් මෙම “ශක්ති“ සහල් සන්නාමය එළි දක්වා ඉදිරියට රැගෙන ගියේය.

නමුත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසම මෙම වැඩසටහන නතර කළ අතර මේ අවස්ථාවේ සහල් පිළිබඳව දැවැන්ත අර්බුදයක් මතුව තිබීම හමුවේ ඒ සඳහා තිබෙන හොඳම පිළියම ලෙස මෙම වැඩසටහන පිළිබඳව යළිත් විශ්වාසය තබා තිබීම පිළිබඳව අවංකවම මා සතුටු වෙමි. මෙයින් පෙන්නුම් කරන්නේ යම් ගැටලුවක් සඳහා සැබෑ විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා නම් එය කෙතරම් පාගා දැමීමට උත්සාහ කළද දියයට එබූ රබර් බෝලයක් මෙන් එය නැවතත් උඩට එසවෙන බවයි.

කෙසේවෙතත්, අවසන් මොහොතේ හෝ “ශක්ති“ සහල් වැඩසටහන ඉදිරියට රැගෙන යාමට රජය ගත් මේ තීන්දුව මා අගය කරමි. 1990 සුවසැරිය මෙන්ම “ශක්ති“ සහල් සංකල්පයද මාගේ ජීවිතයේ තවත් පරිච්ඡේදයකි. ඒ වෙනුවෙන් මා දිවා රෑ වෙහෙස මහන්සි වූ ආකාරය ගැන සිතන විට මාගේ සිතට සතුටක් දැනේ.

හර්ෂ ද සිල්වා
2020/05/27







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'