Logo
2020 ජූලි මස 11 වැනි සෙනසුරාදා

අම්ෆන් හෙට චණ්ඩ වන ලකුණු





ගිණිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති "අම්ෆන්'' සුළිකුණාටුව හෙට දිනයේදී චණ්ඩ සුළිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළිකුණාටුව පවතින මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසයි.

කෙසේවෙතත් මෙම සුළි කුණාටුව එළැඹෙන විසිවනදා බංග්ලාදේශ වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට හෙට දිනයේදී මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රෙද්ශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රෙද්ශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ ඉහල යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඉදිරි පැය 24 තුළ දී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රෙද්ශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම මුහුදු ප්‍රෙද්ශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා සුළගේ වේගය ක්ෂණිකව ඉහළයාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අකුණු අනතුරු වලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල ඉඹුල්දෙණිය ප්‍රදේශයෙන් කුඩා ඔයේ සැඩ පහරට හසුව මිය ගිය පුද්ගලයාගේ දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන ආවේය.

මිය ගියේ ලයනල් විජේසිංහ නැමති 47 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම හදිසි මරණය වෙනුවෙන් ආපදා කළමනාකරණ ඒකකය රුපියල් 250,000ක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන අතර ඉන් 
රුපියල් 25000ක මුදලක් අද එම පවුලේ ඥාතීන් වෙත ලබාදුන්නේ අවමංගල්‍ය කටයුතු සිදුකර ගැනිම සඳහායි.

මේ අතර ඊයෙ අලුයම කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 77 හැවිරිදි වයෝවෘද්ධ මවක් මියගිය අතර ඇගේ දේහය අද උදෑසන නිවසට රැගෙන එනු ලැබුවේය.

ආපදා කළමනාකරණ ඒකකය විසින් ලබාදෙන රුපියල් 250,000ක වන්දි මුදලින් රුපියල් 25000ක මුදලක් අද එම පවුලේ ඥාතීන් වෙත ද ලබාදුන්නේ අවමංගල්‍ය කටයුතු සිදුකර ගැනිම සඳහායි.

ගාල්ල ඇල්පිටිය, කැටපල ප්‍රදේශයේ අද උදෑසන හමාගිය තද සුළගකින් නිවාස 35කට පමණ අලාභහානී සිදුව තිබේ.

එම ප්‍රදේශයට සහන සේවා කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් ද යොදවා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා තෝලංගමුව ප්‍රදේශයේ නිවාසක් මතට පස්කඳු පෙරළී දැඩි අලාභ හානි සිදුව තිබේ.

ඉන් නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුව නැත.

මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල මාතර මාතලේ රත්නපුර කලුතර කෑගල්ල කොළඹ මහනුවර නුවරඑළිය සහ කුරුණෑගලයි.

https://youtu.be/wvicZGtN-K0





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'