Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

26කට මරු කැඳවූ තායිලන්තයේ සෙබළ ප්‍රහාරය





තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී හමුදා සෙබළෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනකු මිය ගියේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂක අංශ පැය කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. 

මෙවැනි අපරාධයක් රට තුළ සිදුවන අවසන් අවස්ථාව මෙය විය යුතු බව හිටපු හමුදා නායකයෙකු වන තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මාධ්‍යයට ප්‍රකාශ කළේය

ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි.

ඒ එරට වේලාවෙන් ඊයේ (08) පස්වරු තුනයි තිහට පමණ බැංකොක් අගනුවරට යාබද නකෝන් රච්චාසිමා නගරයේ පිහිටි සිය හමුදා කඳවුරේදීයි. 

එහිදී ප්‍රහාරකයා කඳවුරේ තිබූ ආයුධ සහ පතොරම් ද රැගෙන කොරාට් ලෙසද හැඳින්වෙන නකෝනි රච්චාසිමා නගරය වෙත පළාගොස් තිබුණි.

සිය මෝටර් රථය  නවත්වන මෙම සොල්දාදුව නගරයේ සිටි සිවිල් වැසියන්ට වෙඩි තබන අයුරුයි දක්නට ලැබුනේය.

ඒ අතරතුර ප්‍රහාරකයා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සජීවිව පෙනී සිටිමින් විවිධ අදහස් පළ කර ඇත.

ඔහු පවසන්නේ, පුදුම වීමේ වෙලාව පැමිණ ඇති අතර කිසිවෙකුටත් මරණයෙන් ගැලවිය නොහැකි බවයි.

ඒ සමග වෙඩි උණ්ඩ තුනක් සහිත පිස්තෝලයක ඡායාරූපයක් ද එහි පළ කර තිබුණි.

අනතුරුව ඔහු පැමිණියේ බැංකොක්හි සාප්පු සංකීර්ණයක් වෙතයි.

මේ ඝාතකයා රයිෆලයක් අතැතිව සාප්පු සංකීර්ණය තුළ සැරිසරන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණි.

සාප්පු සංකීර්ණය ප්‍රහාරකයාගේ ග්‍රහණයට නතු වීමෙන් පසු එම ගොඩනැගිල්ල වටලා ඔහුව අල්ලා ගැනීමට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරත විය.

කෙසේවෙතත් එය අසීරු කටයුත්තක් වී තිබුණේ ප්‍රහාරකයා සාප්පු සංකීර්ණය තුළදී සිවිල් වැසියන් කිහිප දෙනෙකු  ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම හේතුවෙන්.

ඒ අතරතුරු ගොඩනැගිල්ල තුළ සිරව සිටි පිරිස් මුදාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

ප්‍රහාරකයා යටත් කරගැනීමේ උත්සහයක් ලෙස ඔහුගේ මව සාප්පු සංකීර්ණය වෙත රැගෙන ඒමට ආරක්ෂක අංශ කටයුතු පියවර ගත්තේය. 

ඊට ප්‍රතිචාර නොදැක්වූ හමුදා සෙබළා වෙඩි ප්‍රහාරයකින් මියයන්නේ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි. 

ඔහු වෙඩි පහරට ලක්වන විට ගොඩනැගිල්ලේ කෙළවරක සැඟව සිටි බව තායි ආරක්ෂක අංශ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් තහවුරු වී නැති නමුත් දේපළ ගනුදෙනුවකදී තමාට සිදුවූ වංචාවක් හේතුවෙන් ඇතිවූ අමනාපයක් දුරදිග යෑමෙන් ප්‍රහාරකයා මේ සඳහා පෙළඹෙන්නට ඇතැයි තායි බලධාරීන් විශ්වාස කරයි.

මේ අතර ප්‍රහාරකයා හමුදා පුහුණුව ලබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට මෙලෙස එක්කර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවේය.

කොරාට් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන තුවාල කරුවන් බැලීමට පැමිණි තායිලන්ත අගැමති ප්‍රයුත් චාන් ඔචා මෙහිදී දැඩි ප්‍රකාශයක් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'