Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය තරවෙයි





ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය නැවත වරක් අවධාරණය කර තිබේ.

තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, නැගෙනහිර බහලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගීතාව හඳුනාගත් එකී ක්ෂේත්‍රයන්ට අයත් වෙන බව ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු(Motegi Toshimitsu) මහතා අද (13)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේ දී මෙම අදහස් පළ කළේය.

ජපාන අමාත්‍යවරයා සමඟින් ඉහළ පෙළේ නියෝජිතයන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හමුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට සුබපැතුම් පළ කරමින් අමාත්‍ය තොෂිමිත්සු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව “ජපානයේ විශේෂ මිතුරෙක්” බවයි. 

ජපානයේ චාරිකාවක නිරත වන ලෙසට ජනාධිපතිතුමාට ආරාධනා කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ ‘ආසියාවේ මිතුරන්’ නමති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට ලබන මැයි මාසයේ දී අප විසින් සත්කාරකත්වය ලබා දෙන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ආරාධනය පිළිගනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වනු ඇති බවට ද ජපාන අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය. 

අන්නෝන්‍ය වශයෙන් එකඟ වු සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා ද්විපාර්ශ්වික ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට ජපානය බලාපොරොත්තු වෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.

එය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ජපාන සමාගම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සහායක් වනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ තම ආර්ථිකය කුඩා එකක් නමුත් නිපුණතා සහිත උගත් හා දක්ෂ ශ්‍රම බලකායක් සිටින බවයි. 

තම අභිප්‍රාය ශ්‍රමය කේන්ද්‍ර කරගත් උසස් තාක්ෂණයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැංවිම බවද පැවසු ජනාධිපතිවරයා,එම ඉලක්කය කරා ළගාවිමට ජපානයේ සහයෝගය අපි බලපොරොත්තු වෙන බවද පැවසීය.

ශ්‍රී ලංකාව විදේශ ආයෝජනයන්ට විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි කලාපීය රටවල ආයෝජනයන්ට විවෘත බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

කලාපීය සහයෝගිතාව ගැන අවධානය යොමු කළ ජපාන අමාත්‍යවරයා නිදහස් හා විවෘත ඉන්දු - ශාන්තිකර කලාපීය සංකල්පය කෙරෙහි තම රටෙහි ඇති කැපවීම ප්‍රකාශ කර සිටියේය.

 

 

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'