Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න සූදානම්-මුදල් අවශ්‍ය නෑ-හමුදාපති





බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකා යුද හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ මිරිසවැටිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ දඩ මුදල ගෙවිමට මුදල් රැස්කිරීම අනවශ්‍ය බවයි.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥා කරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබුණි.

එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.

මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි ප්‍රකාශ කළේ බෙඳුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද වෙනුවෙන් එංගලන්ත රජය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාව බිල්ලට ගෙන ඇති බවයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'