Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

ජනපතිට මහා සංඝරත්නයෙන් වටිනා උපදෙස්





ශ්‍රී ලංකාව යහපත් රටක් බවට පත් කිරීමට නම් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.

අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් බැහැ දුටුවේය.

එහිදී අදහස් දක්වමින් කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් මේ බව පැවසීය.

“ඉතින් අද මම කිසිදෙයක් කියන්නේ නැහැ. ජනාධිපතිතුමාට පුංචි බණ කතාවක් කියලා දෙන්න තමා මම හරිම ආස. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්ප මත්තා න මීයන්ති යේ පමත්තා යථාමතා.

අප්‍රමාදීව කටයුතු සිද්ධ කළොත් ලෝකයේ අමරණීය කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රමාදව කටයුතු සිද්ධ කළොත් එයා හරියට මැරිච්ච කෙනෙක් වගේ. 

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට මේ රටේ මහා සංඝරත්නය කොයිතරම් ආශිර්වාද සිදුකෙරුවද? ඒ වගේම අපි දන්නවා ආරණ්‍ය සේනාසන වල ඉන්න අපේ භික්ෂූන් වහන්සේලා , පාරමීදම් පුරන අපේ භික්ෂූන් වහන්සේලා ඇවිදින් කැමැත්ත ප්‍රකාශ කරලා කැලේට ගියා. ඒ තරම් ආදරෙයි මහා සංඝරත්නය. 

අපි දන්නවා අද අපේ ජනාධිපතිතුමා ආරක්ෂාව ගැන එච්චර හිතන්නේ නැහැ. ඒ වුනාට අපිට පේනවා ජනාධිපතිතුමනි මේ රටේ තියෙන මේ තුවක්කු සංස්කෘතිය ඔක්කොම ටික ගෙන්නලා ගෝල්ෆේස් පිට්ටනියට ගෙන්නලා ඔක්කොම ටික විනාශ කරලා දාන්න ඕනේ. 

ඒ වගේම නොයෙක් නොයෙක් ආයුධ තියෙනවානම් ඒ හැම දෙයක්මත් රජයට අරගෙන විනාශ කරලා දාන්න ඕනේ. මේ රට යහපත් තත්වයට පත් කරන්න, ධාර්මික ගුණ සමාජයක් තත්වයට පත් කරන්න නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.එතකොට කිසි කෙනෙකුට බයක් සැකක් නැතුව මේ රටේත් ලෝකය තුල අපිට ජීවත් වීමේ භාග්‍ය උදාවෙනවා. 

හිතන්න, අප්‍රමාදීව කටයුතු සිද්ධ කළොත් ලෝකයේ අමරණීය කෙනෙක් වෙන්න පුළුවන්. මේ රජමහා විහාරයෙන් එදා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්න කොට අපි පඬුරු ගැට ගහලා භාර හාර වෙලා යුද්දෙට ගියේ. 

ඒ යුද්ධය ජයග්‍රහණය කළා. මෙදා අපි පඬුරු ගැට ගහලා භාර හාර වෙලා ඡන්ද සටනට ගියේ, ඒකත් ජයග්‍රහණය කළා. ජනාධිපතිතුමන්ට සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දේව ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා“

අනතුරුව ජනාධිපතිවරයා විහාරස්ථානයේ භූමියේ ඇති දේවාලයට ගොස් ආශිර්වාද ලබාගෙන පෙරහැර කටයුතු සහභාගි කරගන්නා අලි ඇතුන්ට පළතුරු ලබාදීමට එක්වුණි.

අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයටයි.

එහිදි ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම ආගමික වතාවත් වල නිරත වුණි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා, විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'