Logo
2020 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා

පොම්පියෝ, සීතල යුද්ධය හා ලංකාව

නලින් ද සිල්වා


අද එක්සත් රාජ්‍යවල රාජ්‍ය ලේකම් පොම්පියෝ ලංකාවට එනවා. ඔහු සිංහල කියවන්න දන්නවා නම් මුහුණුපොතෙන් දැන ගන්න පුළුවන් තමන් ලංකාවට යන්නෙ ඇයි කියල. මා හිතන්නෙ පොම්පියෝට වඩා ලංකාවෙ අය දන්නවා ඔහු ලංකාවට එන්නෙ මොකට ද කියල. මාත් ලංකාවෙ. ඒ නිසා මාත් දන්නවා ඔහු එන්නෙ මොකට ද කෙසේ වුණත් එන්නෙ ඇයි කියල. ඔහු එන්නෙ සීතල යුද්ධය සඳහා.

මට කරුණු දෙකක් මතක් වෙනවා. ඒවා අදාළ නැහැ කියල පඬියකු හිතන්න පුළුවන්. ඒත් පොම්පියෝ එන්නෙ ඇයි කියන එක මා දැන ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ පොම්පියෝ තියා දිනේෂ් ගුණවර්ධන හමු වීමෙන්වත් නොවෙයි. දිනේෂ් මෙතන දි වැදගත් වන්නෙ ඔහු මෙරට විදේශ ඇමති නිසා. පොම්පියෝ තම රටේ විදේශ ඇමති. අපට යම්කිසි දැක්මක් තියෙනවා. ඒ අනුව අපට හිතළු එනවා. මට කියන්න ඕන කරන එක කරුණක් නලින් සුබසිංහ මතක් කර තිබුණා. ඒ සිරිසේන ලවා රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම. එයට ඊයේට අවුරුදු දෙකක් ගතවුණා. ඒක මම නාථ දෙවියන් කියපු දෙයක් මත පදනම්වෙලා කළ දෙයක් නො වෙයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබෙන බව මා මුලින් ම කිව්වේ දිලිත් ජයවීරට. ඒ අවුරුදු කිහිපයකට පෙර. කොහොමත් ඒ නිසා මා සිරිජාතිකවාදියා වී මයිලෝ බිව්වා. එක් මහාචාර්යවරයෙක් මට මයිලෝ එවුවෙ නැති එක විතරයි.

දෙවැනි කරුණ තමයි තනි තට්ට කියන හඳගමගෙ චිත්‍රපටය ගැන මා කළ විචාරය. එය කළෙ චිත්‍රපටය බලලා නොවෙයි. ඒ බව මා විචාරයේම කිවුවා. එහෙම කිවුවෙ නැත්නම් අර පේරාදෙණියෙ පඬිපෝතිකාව ඒක දැන ගන්න විධියක් නැහැ. මා නොකියා හිටිය නම් කවුද දන්නෙ. මට ඕන කළෙම එක් පැත්තකින් හඳමලගෙ සිනමාව ගැන කියන්න ඒව බලන්න ඕන නැහැ කියන එක කියන්න. ඒ කාලෙ හඳගම චිත්‍රපටයක් හැදුව කිවුවම ඒක බලන්නෙ නැතිව ඒකෙ තියෙන්නෙ මොනවද කියන්න බැරි නම් ඇති වැඩේ මොකක් ද? මට ඒ විචාරය මතක නැහැ. ඒත් එහි වරදක් තිබුණෙත් නැහැ. ඒ ගැන තවත් පසුව ලියන්න ඕන. වරුණ චන්ද්‍රකීර්තිට හඳගම පොර අධ්‍යක්‍ෂ කෙනෙකු වන්න පුළුවන්. මට නම් එහෙම නැහැ. හඳගමලා විමුක්තිල එක වල්ලෙ පොල්. ඔවුන් සිනමාවට කරපු දෙයක් නැහැ. දෙමළ ජාතිවාදයට නම් සේවයක් කළා. අර පඬි පෝතිකාව ඉංගිරිසි සාහිත්‍යයට එකතු කළ යමකුත් නැහැ. ඊයෙ මා සඳහන් කළ මහාචාර්යවරු තුන්දෙනා ඒ ඒ ක්‍ෂෙත්‍රවලට මොනව ද කරල තියෙන්නෙ. මා දැන් අවුරුදු හැටකට කිට්ටු කාලයක් තිස්සෙ ආචාර්ය මහාචාර්යවරු හඳුනනවා.

දැන් පොම්පියෝට. පොම්පියෝ නමින් ද ඇඟැවෙන පරිදි ඉතාලි සම්භවයක් ඇත්තෙක්. ඔහු ඉතාලියට කිසිම බැඳීමක් නැහැ. ඔහුගේ සීයා තමයි එක්සත් රාජ්‍යයවලට ඇවිත් තියෙන්නෙ. මෙරට පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන්නෙ පොම්පියෝ එන්නෙ එම්සීසී ගිවිසුම සෝෆා ගිවිසුම ආදී එකී නොකී ගිවිසුම් අත්සන් කරන්න කියල. ඔහුට එහෙම අදහසක් තියෙන්න පුළුවන්. ඒත් ලංකාවට එහෙම අදහසක් තියෙනවා ද කියන එක හොයල බැලුව නම් නරක ද? පඬියන් කියයි හොයල බලන්න දෙයක් නැහැ කියල.

චීන විදේශ ඇමති ලංකාවට ඇවිත් ගියේ ඊයෙ පෙරේදා. මේ විශේෂ දුත පිරිස්වලට සාමාන්‍ය නිරෝධායන නීති රීති බල නොපාන බවට ඒ ඒ රටවල් අතර බුබුළු ගිවිසුම් තියෙනවා. පඬියන් ඒ ගැන කලබල වෙන්න ඕන නැහැ. මේ තමයි අලුත් සීතල යුද්ධය. චීනය එක් පැත්තක, ඉන්දියාව හා එක්සත් රාජ්‍ය අනෙක් පැත්තෙ. ඉන්දියාව මැදිහත් වන්නෙ කලාපීය බලවතකු හැටියට. යුද්ධය මූලික වශයෙන් චීනය හා එක්සත් රාජ්‍ය අතර. එහෙමත් නැත්නම් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හා චීන සභ්‍යත්වය අතර. මේ හන්ටින්ග්ටන් කී සභ්‍යත්ව ගැටුම.

අප මෙහි දී කල්පනාවෙන් වැඩ කරන්න ඕන. අපට එක පැත්තක් ගන්න බැහැ. ගන්න ඕනෙත් නැහැ. අප ඔය එක සභ්‍යත්වයකවත් නැහැ. කොටින් ම අප සභ්‍යත්වයක නැහැ. අප සංස්කෘතික පිරිසක්. ථෙරවාදය සභ්‍යත්වයක් නොවෙයි. මා මේ සියල්ල පැහැදිලි කරල දීල බොහෝ කල්. අද ඊයෙ මේ ලිපි කියවන්න පටන් ගත්ත අය ඒ නොදන්නවා වෙන්න පුළුවන්. අවස්ථාවක් ලැබෙන පරිදි ඒ නැවත විස්තර කරන්නම්. පඬි නැට්ටන් කොණක් අල්ල ගෙන ථෙරවාදයට සභ්‍යත්වයක් නැහැ, බෞද්ධ දර්ශනයක් නැහැ ආදිය කීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ විචාරශීලි බුද්ධි මහිමය. මේ සභ්‍යත්ව, නැත්නම් රාජ්‍ය කියමු, තුලනය කරනවා කියල රටේ මේ කොටස චීනයට තව කොටසක් ඉන්දියාවට තවත් කොටසක් එක්සත් රාජ්‍යවලට දෙන්න බැහැ. එවිට අපට කොටසක්වත් ඉතිරි වෙන එකක් නැහැ.

මේ වත්මන් සීතල යුද්ධයේ ජයග්‍රහකයකු හිටින්නෙ නැහැ. පැරණි සීතල යුද්ධයෙන් නම් සෝවියට් කඳවුර පරාජය කර එක්සත් රාජ්‍ය ජයගත්තා. බර්ලින් තාප්පය බිඳ වැටුණා. එහෙත් චීනයට සීතල යුද්ධය ජයගන්න බැහැ. එක්සත් රාජ්‍යවලට ජයගන්නත් බැහැ. අවාසනාවකට වත්මන් සීතල යුද්ධය දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව පදනම් කරගෙනයි කෙරෙන්නෙ. චීනයට අග්නිදිග ආසියාතික රටවල යම් වෙළෙඳ හා මූල්‍ය ආධිපත්‍යයක් තිබුණත් දේශපාලන ආධිපත්‍යයක් නැහැ. චීනයට විරුද්ධ ව මේ රටවල් දේශපාලනික ව නැගී හිටීවි. එය පැරණි සෝවියට් කලාපයේ රටවල් රුසියාවට විරුද්ධ වුණා වගේ. ඒ විතරක් නොවෙයි. ජපානය, ඕස්ත්‍රේලියාව වගේ රටවලුත් චීනයට විරුද්ධ ව නැගී හිටිනවා. එහෙත් පැරණි සීතල යුද්ධයේ වගේ එහි වාසිය ගන්න කාටවත් ලැබෙන්නේ නැහැ.

පඬි නැට්ටකු කියා තිබුණා මා චීන කොමියුනිස්ට් පක්‍ෂය ගැන කියා තිබුණු බව මතක් කරමින් මා චීනය කොමියුනිස්ට් රටක් ලෙස හිතනවා කියා. චීනය කොමියුනිස්ට් නොවෙයි සමාජවාදී හරි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීවත් නො වෙයි. එය තවමත් ඇත්තේ කොන්ෆියුෂියස් ධුරාවලියේ හා තාඕවාදයේ. ඔවුන් බුදුදහමත් අවශ්‍ය ප්‍රමාණයට අවශෝෂණය කරගෙන. චීනයේ සුළු කොටසක ථෙරවාදය තිබූ පමණින් චීනය ථෙරවාදයට සලකන්නේ නැහැ. ඔවුන් තම ආධිපත්‍යය රැක ගැනීමට ථෙරවාදය යොදා ගන්න බලනවා.

ඒ සියල්ල මැද්දට කොවිඩ් ඇවිල්ල. මුළු ලෝකය ම අවුලක. එක්සත් රාජ්‍යවත් චීනයවත් අද බල පුළුවන් කාරයන් නො වෙයි. ඔවුන් අප හිතනවාට වඩා දුර්වලයි. අප ශක්තිමත් කියන එක නොවෙයි එයින් කියන්නේ අප දුර්වලයන් අතර වඩා දුර්වලයකු බව පමණයි. අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන පැහැදිලි ප්‍රකාශයක් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ පසුගිය දා දෙරණට පැවසුවා. ඔහු කියා සිටියේ අප ඉන්දියාව පළමුව ප්‍රතිපත්තියෙන් ලංකාව පළමුව ප්‍රතිපත්තියට මාරු වී ඇති බවයි. අප පොමිපියෝටත් අනෙක් අයටත් කිව යුත්තේ ලංකාව පළමුව බවයි. සීතල යුද්ධයෙන් අපට දිනන්න බැහැ. පැරදෙන්නෙ නැතිව ඉන්න බලමු.

අනුර දිසානායකලාට මේ කතා තේරෙන්නේ නැහැ. ඒත් ඔවුන් තම බටහිර ගැති බව වහන්න ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවා. ඔවුන් චීනයට පක්‍ෂපාත කියල හිතනවා ද? ඒ කාලෙ විජේවීර නම් චීන කොමියුනිස්ට්. අනුර දිසානායකලා ඇමරිකන් කොමියුනිස්ට්.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'