Logo
2020 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා

මධූෂ් ගැන කවි ලියමු.

ඉසුරු ප්‍රසංග


මෙය මේ වසරේ මුල කතරගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීමකි.
තම විවාහක දියණිය බැලීමට ඇගේ නිවසට ගිය හැට දෙහැවිරිදි මාතාවක් බසයක් එන තුරු පාර අයිනට වී බලා සිටියි.
තරුණයෝ හතර දෙනෙක් වාහනයක පැමිණ ඇය යන අත විමසති.
තමන්ගේ දරුවන් වැනි ළාබාල තරුණයන් ගැන සැක නොසිතන ඇය ඔවුන් සමග යාම සඳහා වාහනයට ගොඩ වෙයි. 
මග දී ඇය තම දරුවන් ගැනද විස්තර කතා කරමින් ඉතා සතුටින් තරුණ පිරිස සමග ගමනේ යෙදෙයි.
අතරමග කැලෑබද පෙදෙසක වාහනය නතර කරන මේ තරුණ පිරිස තම මවක් වැනි වූ කාන්තාව වනාන්තරයට ඇදගෙන ගොස් දූෂණය කරති. 
ඇය පැළඳ සිටි රන් භාණ්ඩ කීපයද ගලවා ඇය සතු මුදල්ද පැහැරගෙන ඇය මරා දැමීමට සැරසෙති. 
රන් භාණ්ඩ හා මුදල් රැගෙන තමාට යන්නට දෙන ලෙස ඉල්ලා ඇය වැඳ වැටී ආයාචනා කළද එයට සවන් දීමට තරම් අපරාධකරුවෝ  සංවේදී නොවූහ.
අවසානයේදී ඇය පොලුවලින් හිසට ගසා ගෙල මිරිකා ඝාතනය කෙරෙයි.
තම අම්මා ගැන කිසිම තොරතුරක් නොදැන සිටි ඇගේ දරුවන්ට මේ සිදුවීම සැලවන්නේ මාස ගණනාවකට පසුය.
අද මාකඳුරේ මධූෂ් ගැන කවි ගී ලියන්නෝ එකෙකුවත් මධූෂ්ලා නිසා විනාශවන  මෙවැනි අහිංසක මිනිසුන් දහසක් දෙනාගේ අයිතීන් ගැන වචනයක් කතා නොකරති.
මේ අපරාධයට සම්බන්ධ පිරිස පාතාල සම්බන්ධතා ඇති, මිනී මැරුම් හා කුඩු සම්බන්ධ චෝදනා ලැබූ සාහසිකයන් පිරිසකි. 
ඒ අහිංසක මවගේ ජීවිතය විනාශ වූයේ එවැනි පුද්ගලයන්ට නිදැල්ලේ ගැවසීමට නීතියෙන් නිදහස, ඉඩහසර ලැබී තිබීම හේතුවෙනි.
සමහරවිට ඒ ඉඩහසර ලැබුණේ පොතේ හැටියට ක්‍රියාත්මක වන නීතියේ ඇති දහසකුත් එකක් ප්‍රායෝගික හිදැස් නිසාම විය හැකිය. 
අපරාධකරුවෙක් මියගිය විට ඒ ගැන හඬ නැඟීමට, මානව අයිතිවාසිකම්, පුරවැසි අයිතිය, නීතියේ ආධිපත්‍ය ගැන කතා කිරීමට හැටහුටහමාරක් දෙනා පෙළ ගැසෙති. 
ඒ සියල්ල වැදගත්ය. ඒත් ඒවා තිබිය යුත්තේ අර කියූ මාතාව වැනි අහිංසක පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මිස කාලකණ්ණි අපරාධකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට නොවේ. 
අපරාධකරුවන් පාරේ මරාදමනවා නම් එය වැරදි විය හැකිය. නමුත් එය කවි ගී ලියමින් හඬා වැළපිය යුතු ජාතික ප්‍රශ්නයක් නොවේ.
ජාතික ප්‍රශ්නය විය යුත්තේ ඔවුන්ගේ අපරාධ නිසා හිංසනයට ලක්වන අයගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මිස අපරාධකරුවන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්නය නොවේ.
පාරේ මරාදැමීම වැරදි නම් කුමන  හෝ ක්‍රමයකින් ඔවුන් සමාජයෙන් ඉවත් කරදැමීම සඳහා යාන්ත්‍රණයක් සකස් විය යුතුය. 
ත්‍රස්තවාදය පොතේ නීතියට අනුව මර්දනය කළ නොහැක්කක් වනවා සේම පාතාලයද පොතේ නීතියට අනුව මර්දනය කළ හැක්කක් නොවේ. 
රටක් කොතෙක් ආර්ථික අතින් මානව ගුණධර්ම අතින් ඉදිරියට ගෙන ආවද අපරාධකාරී සාහසික මානසිකත්වයක් සහිත පුද්ගලයන් ඒ ඕනෑම තැනක සුළු පිරිසක් හෝ සිටිති. 
ඔවුන් හොඳින් යහමගට ගත නොහැකි නම් ඊළඟ විකල්පය විය යුත්තේ සමාජයේ අනෙක් පුද්ගලයන්ගේ යහපත තකා ඔවුන් සමාජයෙන් ඉවත් කර දැමීමය. 
අද මධූෂ්ලා ගැන හඬා වැළපෙන පිරිස ගැන එතරම් කරදර නොවිය යුත්තේ ඔවුන් මොන වාද බේද මැද වුවත්  එකම දේශපාලන කඳවුරකට හා මතවාදයට අයත් සදා අනාථයන් පිරිසක් වීම නිසාය. 
එදා ප්‍රභාකරන්ගේ හා කොටි ත්‍රස්තවාදයේ පරාජය මේ තුන්ලෝකයේ සිදුවූ ලොකුම අපරාධය ලෙස සලකමින් ඒ ගැන කවි ගී කතන්දර ලීවේද මේ අනාථයන් පිරිසමය. 
ඔවුන් මාකඳුරේ මධූෂ් ගැන හඬාවැළපීම කිසිසේත්ම පුදුම විය යුතු කාරණයක් නොවේ. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'