Logo
2020 ඔක්තෝම්බර් මස 27 වැනි අඟහරුවාදා

සෞම්‍ය ලියනගේගේ කතාව

නලින් ද සිල්වා


මා සෞම්‍ය ලියනගේගේ මතවාදවලට විරුද්ධයි. ඔහු වමෙක්, ප්‍රබුද්ධයෙක්. මා හිතන්නේ ඔහුත් ජාතිකවාදයට විරුද්ධ ය කියා. මා මෙය ලියන්නේ මගේ විරුද්ධ මත ධාරියකු වෙනුවෙනුත් මා යමක් කළා කියා ඊනියා බුද්ධිමතකු ප්‍රබුද්ධයකු මධ්‍යස්ථ මත ධාරියකු ලෙස ලකුණු ටිකක් ලබා ගැනීමට නො වෙයි. මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මෙහි මා ගැන ද සඳහන් වන්නේ උගතුන්ගේ කුහක කම දැන ගැන්වීමටත් ඇතැම් රෙගුලාසිවලට මගේ සම්බන්ධය ලියා තැබීමටත්. මෙහි තොරතුරු මට මිත්‍රයකුගෙන් ලැබුණු විශ්වවිද්‍යාලයේ පාලක සභා සටහනක් මත පමණක් පදනම් වෙනවා. එහි තොරතුරු නිවැරදි ය කියන උපකල්පනයෙන් මෙය ලියනවා.  

සෞම්‍ය ලියනගේට මගෙන් පිහිටක් අවශ්‍ය නැහැ. සමහර විට මා වැනි ජාතිකවාදියකුගෙන් (වමාලාට අනුව ජාතිවාදියකුගෙන්) වචනයක්වත් ලියැවීම ඔහුට අවාසියක් වන්නත් බැරි නැහැ. ඔහුට පිහිට වීමට ඔහු වෙනුවෙන් ලිවීමට කතා කිරීමට සුප්‍රසද්ධ සිනමා අධ්‍යක්‍ෂවරුන් කලා  විචාරකයන් දේශපාලන විචාරකයන් සෞන්දර්යවේදීන් ආදී ප්‍රබුද්ධ ජනකායක් සෑදී පැදී ඉන්නවා. මා මෙය ලියන්නේ මට හිතෙන නිසා පමණයි. 

සෞම්‍ය දක්‍ෂයකු ද කියා මා දන්නේ නැහැ. මට සංගීතය චිත්‍ර නර්තනය මේ කිසිවක් බැහැ. ඉස්සර නම් නවකතා චිත්‍රපට විචාරය කළා. ජයන්ත චන්ද්‍රසිරි තීරණය කරලා මට එහි දක්‍ෂතාවක් නැති බව. ඒ ඔහුගේ ඝරසර්ප විචාරයෙන් පසු. කොහොමත් සමාජ විග්‍රහයකට නවකතා චිත්‍රපටි අවශ්‍ය නැහැ. සමාජ විද්‍යාව ඒ තැන අරගෙන. ඒ කොහොම වුණත් මගේ අදහසක් තියෙනවා විශ්වවිද්‍යාලවල දක්‍ෂයන් නැහැ කියා. ලංකාවේ දක්‍ෂයන් ඉන්නවා නම් ඒ සාමාන්‍ය පෙළින් එහාට අධ්‍යාපනයක් නොලැබූ අය අතර. ඔවුන්ට තවමත් ඉවක් ඇති. අනෙක් අයගේ ඉව බටහිර අධ්‍යාපනයෙන් මොට කරලා. ඔවුන්ට බටහිර ක්‍රමයත් හරියට බැහැ. 

සෞම්‍යගේ ප්‍රශ්නය ප්‍රතිපාදන කොමිසමේ අංක 721 චක්‍රලේඛය හා සම්බන්ධයි. එහි තමා ආචාර්ය/මහාචාර්ය පදවිවලට බඳවා ගැනීම් උසස් කිරීම් පිළිබඳ නිර්ණායක සඳහන් වන්නේ. 721 යම් යම් සංශෝධනවලට භාජනය කෙරී තියෙනවා. එහෙත් ප්‍රධාන වෙනස්කමක් සිදු වී නැහැ. මා දැක තියෙනවා බොහෝ දෙනා 721 කළු ද සුදු ද කියාවත් දන්නේ නැතිව අදාළ නිර්ණායක ගැන කතා කරනවා. ඉවක් තියෙනවා නම් බැරි කමකුත් නැහැ. බුදුදහම දැන ගන්න මුළු ත්‍රිපිටකය ම කියවන්න ඕන නැහැ. කියවපු සමහර අය බුදුදහම දන්නෙත් නැහැ. සංස්කෘතික ඉව ඉතා බලවත්. බටහිර අධ්‍යාපනයෙන් මේ ඉව නැති කෙරෙනවා.  

විශ්වවිද්‍යාලයක පරිවාස කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගැනීමට අදාළ විෂයෙන් විශේෂ (ප්‍රථම) උපාධියක් පළමු හෝ දෙවැනි පෙළ (උසස්) හෝ සාමාර්ථයක් තිබීම එක් නිර්ණායකයක්. දෙවැනි පෙළ (පහළ) සාමාර්ථයක් ඇත්නම් අමතර ව අවුරුද්දක පරයේෂණ අත්දැකීම් තියෙන්න ඕන. අදාළ විෂෙයෙන් විශේෂ උපාධියක් නැත්නම් පංති සාමාර්ධයක් සහිත ව වෙනත් ප්‍රථම උපාධියක් සහ අදාළ විෂයෙන් අවුරුදු දෙකක පර්යේෂණ පශ්චාත් උපාධියක් තිබිය යුතුයි.  සෞම්‍ය බඳවා ගැනී ඇත්තේ මේ අවසාන නිර්ණායකය යටතේ. ඔහුට ඕස්ත්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් තියෙනවා. ඔහු පර්වාස කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගෙන ඇත්තේ 2007 පෙබරවාරි 02 වැනි දින.

දැන් තමයි කතාව පටන් ගන්නෙ. පරිවාස කථිකාචාර්යවරයා ස්ථිර විය යුතු යි. සමහර විට ස්ථිර වීමත් සමග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙවැනි ශ්‍රේණියට උසස්වීමක් ලැබෙනවා. ඒ සියල්ල සඳහා සපුරා ලිය යුතු කොන්දේසි තියෙනවා. එහි දී ආචාර්ය උපාධියක් අවශ්‍ය ම නැහැ. අවුරුදු දෙකේ හෝ එකේ හෝ පරයේෂණ සංරචකයක් සහිත ශාස්ත්‍රපති/ විද්‍යාපති/දර්ශනපති උපාධියක් ප්‍රමාණවත්. පරිවාස කාලය අවුරුදු තුනයි. එහෙත් විශ්වවිද්‍යාලයට එය අවස්ථාවොචිත ව උපරිම වශයෙන් තවත් අවුරුදු පහකට දීර්ඝ කරන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙවැනි ශ්‍රේණියට උසස් වීමට අවම වශයෙන් අවුරුදු පහක පරිවාස කාලයක් සම්පූර්ණ කළ යුතුයි. 

මේ කාල වකවානුවලට යම් පදනමක් තියෙනවා. පරිවාස කථිකාචාර්යවරයා පශ්චාත් උපාධියක් සඳහා විශ්වවිද්‍යාලයක් සොයා ගත යුතුයි. විශ්වවිද්‍යාලයෙන් වැටුප් ලබා ගැනීමට නම් එකල අවුරුදු දෙකක්වත් සේවය කර තිබිය යුතු වුණා. පශ්චාත් උපාධිය සඳහා තවත් අවුරුදු තුනක් හයක් අතර කාලයක් යන්නත් පුළුවන්. පරිවාස කාලය අවමය අවුරුදු පහක් වන්නේත් උපරිමය අවුරුදු අටක් වන්නේත් ඒ අයුරින්.

මේ අවුරුදු පහේ කතාවට මාත් සම්බන්ධයි. අපේ කාලයේ (අවුරුදු පනහකට පෙර) ඔය නිර්ණායක නීතිගත වෙලා තිබුණෙ නැහැ. 1967 ඔක්තෝබරයේ උපාධි ලැබූ මා තාවකාලික සහාය (එකල සහාය කෑල්ලකුත් තිබුණා) කථිකාචාර්යවරයකු ලෙස ඒ මාසයේ සිට ම පත්වී 1968 මාර්තුවේ පරිවාස සහාය කථිකාචාර්යවරයකු වුණා. ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ලැබුණු බැවින්  මට පරිවාස කාලයේ අවුරුදු දෙකක් වැටූප ලබා ගැනීමට ඉන්න වුණේ නැහැ. 1969 ජනවාරියේ ම මා සසෙක්ස් ගියා. 1970 සැප්තැම්බරයේ ආපසු ආවා. එකලත් අවුරුදු පහේ සම්ප්‍රදායක් තිබුණා. සම්ප්‍රදායක් කිවුවට හැමෝම වගේ ආවෙ අවුරුදු පහක් හරි වැඩි කාලයක් හරි ගත කරල. විශ්වවිද්‍යාලය මට කිවුවා උසස් වීම ලබා ගත හැක්කේ 1973 මාර්තුවේ කියා. මා කිවුවා එහෙම රෙගුලාසීියක් තියෙන තැනක් පෙන්නන්න කියා. පුරුද්දක් තිබුණට නීතියක් තිබුණෙ නැහැ. මට 1970 ම උසස්වීම ලැබුණා. එහෙත් පසුව අවුරුදු පහ නීතියක් බවට පත් කෙරුණා. 

දැන් නැවතත් සෞම්‍යට. ඔහු 2014 සැප්තැම්බර් 30 ඕස්ත්‍රේලියාවේ ලාට්රෝබ් විශ්වවිද්‍යාලයට තම  ආචාර්ය උපාධි නිබන්ධය භාර දී තියෙනව  ඒ අර අවුරුදු අටේ පරිවාස කාලය ඉවර වීමට පෙර.  ප්‍රශ්නය එන්නේ මෙතැනයි. පරික්‍ෂකවරු විවිධාකාරයි. මගේ පරීක්‍ෂක සාපේක්‍ෂතාවාදයේ ලොක්කෙක්. ඔහු කාලය ගැන විශාරදයෙක්. ඔහු එතරම් කාලයක් ගත්තේ නැහැ. ඔහු මගෙන් ප්‍රශ්න රාශියක් ඇසුවා. මා ඒවාට පිළිතුරු දුන්නා. අවසානයේ දී ඔහු ඇහුවා ලංකාවට ගිහින් මොනව ද කරන්නෙ කියා. ඔහුට වුවමනා වුණේ කරන්න යන පර්යේෂණ දැන ගැනීමට. මට කියන්න ඒ තරම් දෙයක් තිබුණේ නැහැ. ඒත් ඔහු වචනයක්වත් සංශෝධනය නොකර නිබන්ධය අනුමත කළා. මගේ උපදේශක මහාචාර්ය මැක්රේ මට සුබ පැතුවා. ඔහු පසුව මට සහතිකයක් වැනි ලිපියක් දුන්නා. එහි සඳහන් වූ එක් දෙයක් පමණක් මට මතකයි. ඔහු කියා තිබුණා ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි කියා.  Your country will be proud of you. එය නම් වුණෙ නැහැ. වමාලාත් චම්පකගේ ගෝලයන් ඇතුළු දකුණත් පමණක් නොව ඇතැම් ජාතිකවාදීන්ද මට කියන්නෙ මැන්ටලයක්, මුග්ධයෙක්, ජාතිවාදියෙක්, මිථ්‍යා මත ධාරියෙක්, මහාවංස විරෝධියෙක්, බෞද්ධ දර්ශනය ප්‍රතික්‍ෂෙප කරන්නෙක් සහ අඩුම තරමෙන් සිරිජාතිකවාදියෙක්.

සෞම්‍යගේ පරීක්‍ෂකයන් තීරණයක් දීමට කල් අරගෙන. සුළු නිවැරදි කිරීම් කරන්නත් කියල. ඔහු ඒ සියල්ල කර උපාධිය ලබාගෙන තියෙන්නෙ 2015 අගෝස්තු 12 වැනි දා. එවිට අවුරුදු අට පැනලා. මෙවැනි අවස්ථාවල් ඇති වෙනවා. විශ්වවිද්‍යාලය එවිට කරන්නෙ අවුරුදු අට සම්පූර්ණ වූ දිනයේ සිට තාවකාලික කථිකාචාර්ය ධුරයකට පත් කිරීම. ඉන්පසු උපාධිය ලැබුණු පසු නිබන්ධය භාර දුන් දින සිට බලපාන පරිදි උසස් කිරීම හා බඳවා ගත් දිනයේ සිට සේවය ස්ථිර කිරීම. එසේ කරන්නේ නිබන්ධය භාර දුන් පසු පරීක්‍ෂකවරුන් පත් කිරීම පරීක්‍ෂණය පැවැත්වීම වාර්තාව සැපයීම වැරදි ඇත්නම් නිවැරදි කිරීම නැවත නිබන්ධය භාර දීම විශ්වවිද්‍යාලය එය අනුමත කිරීම ආදියට කල් ගත වෙන නිසා. ඒ සියල්ල අවුරුදු අටක් ඇතුළත සිදුවෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කල් ගියොත් එයට වරද කරුවා පරිපාලනය පරීක්‍ෂකවරුන් මිස උපාධි අපේක්‍ෂකයා නොවන බැවින් ඔහුට අවැඩක් නොසිදුවන අයුරින් ක්‍රමයක් සකසා තිබිය යුතුයි. අවුරුදු අටෙන් පසු ඔහුට පරිවාස කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන්න බැරි නමුත් විශ්වවිද්‍යාලයට ඔහු අස් නොකර විශ්වවිද්‍යාල සේවයේ තබාගන්න පුළුවන්. මෙහි ඊනියා සඵල දින (effective date) කතාවක් නැහැ.   

විශ්වවිද්‍යාලය ඒ අනුව ක්‍රියා කරමින් පරිවාස කාලයට අවුරුදු අට පිරුණු 2015 පෙබරවාරි 02 සිට බලපාන පරිදි  සෞම්‍ය තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස පත් කරලා. එය නිවැරදියි. එහෙත් ඉන් පසු 2015 දෙසැම්බරබර 14 වැනි දින පැවති පාලක සභා රැස්වීමක දී සෞම්‍ය අවුරුදු අටට වඩා මාස 6 දින 10ක් වැඩි පුර අරගෙන ඇති බව නිරීක්‍ෂණය කර එය මාස 7ක් ලෙස සලකමින් සෞම්‍යගේ ස්ථිර කිරීම ඔහු පත් වූ 2007 පෙබරවාරි 02 සිට නොව 2007 සැප්තැම්බර් 02 දින සිට කෙරෙන බවටත් උසස්වීම 2005 අගෝස්තු 12 සිට කෙරෙන බටත් තීරණය කරල. මෙය වැරදි තීරණයක්. මාස 6 දින 10 මාස 7 ලෙස සැලකුවේ කෙසේ ද යන්න පැහැදිලි නැහැ. සෞම්‍ය ස්ථිර කිරීමට තිබුණේ 2007 පෙබරවාරි 02 සිට. එය කෙසේවත් 2007 සැප්තැම්බර් 02 වෙන්න බැහැ. අනෙක් අතට විශ්වවිද්‍යාල පරිපාලනයේ පරීක්‍ෂකවරුන්ගේ පමාවීම්වලට අපේක්‍ෂකයාට වන්දි ගෙවන්න කියන්නෙ නැහැ. සෞම්‍ය උසස් කළ යුතු ව තිබුණේ ඔහු නිබන්ධය භාර දුන් 2014 සැප්තැම්බර් 30 සිට. 

මේ තීරණ ගෙන ඇත්තේ යහපාලන ආණ්ඩු කාලයේ පැවති පාලක සභා රැස්වීමක (2015 දෙසැම්බර් 14). මට ප්‍රශ්නය සෞම්‍ය ඒ දිනවල ම එයට විරුද්ධත්වය ප්‍රකාශ නොකළේ ඇයි ද යන්නයි. එදා ම විරුද්ධ වුණා නම් අද කරන්න දෙයක් නැති වෙනවා. ඒ තීරණයේ මූද්‍රිත දෝෂයක් තියෙනවා. 2005 අගොාස්තු 12 කියන එක මුද්‍රිත දෝෂයක්. සෞම්‍යට උපාධිය ලැබිල තියෙන්නෙ 2015 අගෝස්තු 12 හර්තාලයට හරියට ම අවුරුදු 62කට පස්සෙ.

ඊයේ පෙරේදා අරගෙන තීරණය කුමක් පදනම් කරගෙන ද කියා මා දන්නේ නැහැ. සෞම්‍ය නැවත පරිවාස කථිකාචාර්යවරයකු බවට පත් කරලා. අර උපාධි කතන්දරය අනුව නම් එහෙම කරන්න බැහැ. පාලක සභාව කළ යුතුව තිබුණේ සෞම්‍යගේ ස්ථිර කිරීම 2005 පෙබරවාරි 02 කියා නිවැරදි කිරීමත් උසස් කිරීම 2014 සැප්තැම්බර් 30 දින සිට කියා නිවැරදි කිරීමත්. 

සෞම්‍ය වෙනුවෙන් ආචාර්ය සංගමය හා ආචාර්ය සමිති සම්මේලනය කුමක් කරාවි ද කියා මා දන්නේ නැහැ. මා වෙනුවෙන් නම් ඔවුන් කිසි දෙයක් කෙළේ නැහැ. එකල කොළඹ වමේ යැයි කිව හැකි අයගෙන්  මා වෙනුවෙන් කතා කෙළේ පියසීලි විජේගුණසිංහ හා අර්ජුන පරාක්‍රම පමණයි. අනෙක් අය සද්දයක් කෙළේ නැහැ. උයන්ගොඩ නම් ප්‍රසි්ධියේ ම මට විරුද්ධ වුණා. ජී එල් සමග එකතු වුණේ ලක්‍ෂමන් හා ඇපාසිංහ පමණක් නො වෙයි. ඔය වමේ කියන ඊනියා බුද්ධිමතුනුත් හිටියෙ ජී එල් එක්ක. එකල ආචාර්ය සංගමයෙ ලේකම් ව හිටියෙ එදිරිසිංහ කියල ට්‍රොට්ස්කිවාදයෙක්. තව වාමාංශිකයො හිටිය. ඔවුන් කළ ඉටි ගෙඩියක් නැහැ. චම්පකගෙ ගෝලයන් සියලු ශිෂ්‍ය විරෝධතා කඩාකප්ල වන තැනට වැඩ කළා. ඔවුන් අදත් මට විරුද්ධයි. එකල හිටි අනෙක් ශිෂ්‍යයන්ගෙන් විස්තර දැන ගන්න පුළුවන්. සෞම්‍යට එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.  





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'