Logo
2020 නොවැම්බර් මස 1 වැනි ඉරිදා

ආණ්ඩුව පරිසර දිගු දුර මිසයිලයෙන් අවසන් ගමන් යයිද ?

කැළුම් ජයසුමන


සිංහළයෝ වසර දස දහස් ගණනක් දියුණු ශිෂ්ඨාචාරයක් ගොඩ නගමින් පැමිණි ගමනේ පරිසරය රැක ගත්තේ නැද්ද? පරිසරය සුරැකීම බටහිරයන් විසින් සොයා ගත් අති විශිෂ්ඨ සොයා ගැනීමක්ද? මෙ පිලිබඳ නිවැරදිව සොයා නොබලා අද මේ වන විට කරළියට ගෙන ඇති මහා පරිසර ඝෝශාවට පිලිතුරු දිය නොහැක. එසේ නම් එය ගැඹුරෙන් සොයා බැලිය යුතු කරුණකි.

දේවානම්පියතිස්ස රජතුමා රටවැසියන්ට පනවා තිබුණු අණපනත් අතර වෘක්ෂ වර්ග දෙකක් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එකක් තමයි බෝ ගස. අනෙක මී ගස. මී ගස පිලිබඳ මෙතරම් වැදගත් තැනක් සිංහල සමාජය තුල හටගන්නේ ඇයි? ඒ එහි තිබූ වැදගත්කම නිසා..ලෝකයේ මී ගස් විශේෂ 7 ක් තියනවා. ඉන් 4 ක් ම ලංකාවට ආවේණිකයි. සාමාන්‍යයෙන් මී ගසක කඳ මීටර් 20 ක් විතර උස යනවා. ලපටි නොමේරු කොල බූව සහිත රතු පැහැයෙනුත් මේරූ කොල ලා කොල පැහැයෙනුත් තමයි තියෙන්නේ. ජුනි, ජුලි මාසවල හට ගන්න මී මල් ලා කහ පාටයි. ලා කොල, කහ වගේ පැහැයන්වලින් යුතු මී ගෙඩි ඇතුළේ තමයි මී ඇට තියෙන්නේ. මී මල් පිපෙන කාලෙට වවුලන්ගෙන් නම් බේරෙන්න බෑ. වවුලන්ගේ ප්‍රියතම ආහාරය තමයි මී මල් සහ ගෙඩි. මේවා කන වවුලන් තැන්තැන්වල වසුරු හෙලනවා. ඉන්දියානු පර්යේෂකයින් කණ්ඩායමක් සිදු කරපු පර්යේෂණයකින් හෙලි වුණු කාරණයක් තමයි වවුලන් වැඩිපුර ගැවසෙන තැන්වල පස පුදුමාකාර විදියට සාරවත් කියන එක. ඒ ගැන වැඩිදුර පරීක්ෂා කළාම සොයා ගන්න ලැබුණු දේ තමයි මේ සාරවත් බවට හේතුව වවුල් වසුරුවල ඇති ජීර්ණය වූ මී ඇට කියන කාරණය. හරියටම කියනවා නම් මී ඇට ආහාරයට ගත් වවුලන් හෙලන වසුරු පුංචි ගිනි පෙට්ටි පියනක් විතර වූ ප‍්‍රමාණයක යූරියා කිලෝ 3 ක විතර රසායනික සංඝටක අඩංගු වෙනවා. ඒ වගේම ඒ වවුල් වසුරුවල කිසිම බැරලෝහයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පස සාරවත් වෙන්නේ. මේක මී ගසේ ප‍්‍රයෝජනවලින් සියයට දශමයක ප‍්‍රමාණයක් විතරයි. ඊට අමතරව මී ගසේ සෑම කොටසක්ම හිතන්නේ නැති තරම් ගුණ ගෙන දෙන ඖෂධීය ගුණයන් සහිත වෙනවා.

දැනට අවුරුදු කීපයක ඉඳලා කතාබහ කරන අපේ රටේ තියන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි හඳුනා නොගත් වකුගඩු රෝගය. ඒකට ක්‍ණෘම කියලා කියනවා. මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල. නමුත් වකුගඩු නරක් වෙන්න බලපාන පළවෙනි හේතුව තමයි බැරලෝහ සහිත ජලය පානය කිරීම. අපේ රටේ ගංගාවලට බැරලෝහ කොහෙන්ද? ඒවා එන්නේ කෘෂිකර්මාන්තයෙදි යොදන රසායනික පොහොරවලින්. එහෙනම් කෘෂිකාර්මික ප‍්‍රදේශවල මේ රෝගය ව්‍යාප්ත වීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එතකොට මේ කාරණයට මී ගහ සම්බන්ධ වෙන්නේ කොහොමද? ජීර්ණය වූ මී ඇට සහිත වවුල් වසුරුවල කිසිම බැරලෝහයක් නැහැ කියලත් ඒවා ඉතාම සාර්ථක කාබනික පොහොරක් කියලත් කලින් කිව්වා. එහෙනම් කෘෂිකර්මාන්තයෙදි රසායනික පොහොර වෙනුවට මී ගස්වලින් පොහොර ලබා ගන්න පුළුවන්. මෙන්න මෙතරම් වටිනා ශාඛයක් විනාශ කිරීම සඳහා එදා කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් සුද්දා මී ගස කැපීමට අවසර දෙනවා. ආන්න එහෙමයි අද අපිට පරිසරය ගැන කියලා දෙන්න සල්ලි පොම්ප කරන අප්පුහාමිලා වැඩ කලේ. එදා හෙලයන්ගේ දියුණුව පරිසරය හා කොතරම් තදින් බැඳී තිබුනේද යන්නට මෙය එක් උදාහරණයක් පමණි.

මුලු ලෝකයේම පරිසරය වැනසීම ඇරැඹූවේ වෙන කවුරුත් නොව මුලු ලෝකයම තමන්ගේ ආඪිපත්‍යට නතුකර ගෙන ඇති අධිරාජ්‍යවාදී රටවල්ය. මුලු ලෝකයේම පරිභෝජනයට අවශ්‍ය සියල්ල නිපදවා වෙළඳාම පිණිස ඒකාධිකාරයක් පවත්වාගෙන යාම එකම අරමුණ කරගෙන සුවිසල් කර්මාන්තශාලා ඉදිකර විශාල ප්‍රමාණයට බලශක්තිය වැය කරමින් සිටින ඔවුන් ඉන් සිදුවන මහා පරිමාණ පරිසර විනාශය සමනය කිරීම වෙනුවෙන් පරිසරය රැකීම තුන්වන ලෝකයේ අප මත පටවා ඇත. ඒ වෙනුවෙන් ඔවුන් පරිසරය වනසමින් උපයන මහා ධනස්කන්ධයෙන් සොච්චමක් යොදවා ලොව පුරා සංවිධාන අටවා ඇත. බටහිර අධ්‍යාපනය තුලට රිංගවා ඇති මේ මතවාද වලින් තුන්වන ලෝකයේ රටවල උගතුන්ගේ මොළ සෝදා ඇත. අනෙක් අතට ඔවුන් තුන්වන ලෝකයේ රටවල් දියුණු වෙමින් ඔවුන්ගේ වෙළද තරග බිමට පිවිසීමට ඇති හැකියාව සීමා කිරීමට යොදා ගන්න අභ්‍යන්තර ගැටුම්,මානව හිමිකම් සේම ඊණියා පරිසර ආරක්ෂණ මතවාදද යොදා ගනිමින් ඇත.

ඔවුන් දිනකට විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමට කැලෑ සුරැකීමේ konකොන්ත්‍රත්තුව අපට පවරා ඇත. ඉතින් අපේ ගම්වල සිටින මිනිසුන්ට වගා කරන්නට ඉඩමක් නැතිව සදා කාලික දුප්පතුන්සේ සිටියත්,දරුවන්ට පාසල් යන්නට මාර්ගය නැතත්,ලෙඩෙක් රෝහලකට ගෙනියන්නට පාරක් නැති නිසා මග මියැදුනත් ඊණියා පරිසර නාම්බන්ගේ කීම අසා ධනවත් රටවල උවමනාව වෙනුවෙන් අප පරිසරය රැකිය යුතුය. පරිසරය සුරැකිය යුත්තේ අපේ රටේ ජනතාවගේ ශුභසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය තරමට මිස වෙනකෙකුගේ මිනුම් දඬු වලට නොවේ. වර්ග කිලෝමීටර 65000ක් පමණක් ඇති දෙකෝටි විසි ලක්ශයක් ජීවත්වන අපට,වර්ග කිලෝමීටර 76 ලක්ශයක් විශාල කෝටි 25ක පමණ කුඩා ජනගහණයක් සිටින ඕස්ට්‍රේලියාව කරන වැඩ හෝ වර්ග කිලෝමීටර 38,000ක ලක්ශ 7.5ක් සිටින භූතානය කරන පරිසර ආරක්ශණ ක්‍රමවේද කල නොහැකි බව බහුභූත දොඩවන ඊණියා පරිසරවාදීන් තේරුම් ගත යුතුය. ඔවුන් තේරුම් ගත්තත් නොගත්තත් ආණ්ඩුව අවබෝධ කර ගත යුතුමය.

අපේ පරිසරය රැකගත යුත්තේ අපේ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය ප්‍රමුඛතාවයේ තබාගෙන බව තරයේ සිහි තබා ගත යුතුය. රටේ නිෂ්වපාදන ක්‍රියාවලිය වේගවත්ර කිරීමට නම් ජනතාවට වගාව සඳහාවැඩි වැඩියෙන් ඉඩම් ලබා දිය යුතු වනු ඇත.කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉඩම් ලබා දිය යුතු වනු ඇත.එවිට මේ පරිසර ත්‍රස්තවාදීන් තව තව වියරුවෙන් කටයුතු කරනු ඇත. වසර 5ක ශේෂපත්‍රයේ අවසානය දුක් විඳින මිනිසුන් එතනින් ඉහලට පැමිණ තිබිය යුතුය.ඇති නැති පරතරය අවම වී තිබිය යුතුය.සංවර්ධනයේ ප්‍රතිලාභ ඔවුන් අතරේ සාධාරණව බෙදී ගොස් තිබිය යුතුය. අධ්‍යාපනය,සෞඛ්‍යය වැනි මූළික අවශ්‍යතා ඉටුවී තිබිය යුතුය. එසේ නොවී ඇමරිකානු ආයතනයකින් ලැබෙන පරිසර සුරැකීමේ වාර්තාවකින් හෝ සම්මානයකින් පමණක් 2025 ට මුහුණ දීමට හැකි නොවනු ඇති.

-කැලුම් ජයසුමන

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'