Logo
2020 ජුනි මස 5 වැනි සිකුරාදා

ආහාර සුරක්ෂිතාවය හා ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය ..



ආහාර සුරක්ෂිතාවය හා ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන කතා බහක් නැවතත් රටේ සියලු ස්ථරයන්ගේ ඇති වී ඇත. විවෘත ආර්ථිකය තුළ ඇති සියලු අහිතකර දේවල් ඉතා මැනවින් අප රටේ පැළ කර පෝෂණය කල පාලකයන් අවසානයේ කුඹුරු ගොඩ කරන්නටත් ලංකාවේ වී වගාව පාඩු යැයි පවසමින් පිටරටින් සහල ගෙනෙන්නට යෝජනා ගෙන ආවේය. නමුත් වර්තමානයේ පැතිර යන COVID 19 වසංගත තත්වය හමුවේ හෝ නැවත ඉහත මාතෘකාව කරළියට පැමිණීම අගනේය. මේ වන විටත් ලොව බොහෝ රටවල් ආහාර ද්‍රව්‍ය අපනයනය සීමා කරමින් පවතී. ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් බව නැවතත් මතක් කර දෙමින් පවතී. කෘෂිකර්මාන්තයේ අගය නැවත මතක් වී ඇත.

ආහාර සුරක්ෂිතාවය යනු කිසිදු බාධාවකින් තොරව ‍රටේ සියලු ජනයාට ආහර ලබා ගැනීමට ඇති හැකියාවයි. ස්වයංපෝෂිත වීම යනු රටට අවශ්‍ය ආහාර රට තුලම නිෂ්පාදනය කර ගැනීමයි. සහල් එළවළු පළතුරු කිරි බිත්තර ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය මෙයට ඇතුලත්‍ වේ. අප ස්වයංපෝෂිත විය යුත්තෙ ගමක් ලෙස පළාතක් ලෙස හෝ නොව රටක් ලෙසය. කුඩා රටක් වන අපට එය පහසුවෙන් කළ හැකිය. රටේ භූගෝලීය පිහිටීම කාළගුණික දේශගුණික සාධක මේ සදහා හොදින් ගැලපේ. අනෙක් අතට අප ස්වයංපෝෂිත වීම යනු බීජ පොහොර අනෙකුත් කෘෂි යෙද්වුම් උදැල්ල නගුලේ සිට සියල්ල ආනයන කර වගාව පමණක් සිදුකර අස්වැන්න නෙළීම පමණක් නොවේ. අනාගතයේදී බීජ පොහොර ආනයනද අපහසු වනු ඇත.

ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් තුල බීජ පොහොර ඇතුලු කෘෂි යෙද්වුම උදැල්ල නගුලේ සිට ට්‍රැක්ටරයේ කොළ මඩින යන්ත්‍ර දක්වා වූ නිෂ්පාදනය විය යුතුය. පර්යේෂණ , වැඩි අස්වනු සහිත පළිබෝධ ප්‍රතිරෝධී නව බීජ වර්ග නිපදවීම, පසු අස්වනු තාක්ෂණය, අගය එකතු කිරීම, ආහාර කල්තබාගැනීම, ප්‍රවාහනය එක් විය යුතුය. වාරිමාර්ග මහාමාර්ග වැනි යටිතල පහසුකම් සංවර්ධන විය යුතුය. එවිට නිතැතින්ම ආර්ථිකය දියුණු වේ. රැකියා බිහි වේ. අනෙක් අතට වගාකරැවාගේ ආර්ථිකය ශක්තිමත් විය යුතු අතර පාරිභෝගිකයා ට දැරිය හැකි මිළකට මිලදී ගත හැකිවන පරිදි පිරිවැය අවම විය යුතුය. තත්වයෙන් උසස් විය යුතුය. තිරසාර ලෙස ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නගා ගත හැකිවන්නේ එවිටය.

නිවෙස් වලට බීජ බෙදාහැරීමෙන් පමණක් අපට මෙය ජයගත නොහැක. ගොවියාගේ නිෂ්පාදන සදහා නිසි මිළක් නොලැබේ නම් ඔවුන්ට ගොවිතැන අතහැර දැමීමට සිදුවනු ඇත. සියලු දේ අපට ගෙදර වගා කරගත නොහැක. වාණිජ කෘෂිකර්මාන්තය ද රැක ගත යුතුය. අපගෙ මූලික අරමුණ ඉටුකරගැනීමට සිදුකල යුතු වැඩ රැසකි.

* දැනට මෙරට ප්‍රමාණවත් තරම් නිපදවන ආහාර වර්ග හදුනාගැනීම මුලින්ම සිදු කල යුතු අතර අපනයන වෙළදපොළ ඉලක්ක නොවන්නේ නම් හෝ අගය එකතුකළ කල් තබාගත නොහැකිනම් එම භෝග වර්ග වැඩිපුර නිපදවීම සිදුනොකල යුතුය.

* දැනට ආනයන කරන ආහාර ද්‍රව්‍ය හදුනාගෙන ඒවායින් මෙරට නිපදවිය හැකි වර්ගකෙරෙහි වැඩි අවධානය යොමුකළ යුතුය. උදා: අමු මිරිස් වියළි මිරිස් නිෂ්පාදනයට අවශ්‍ය. කහ, ඉගුරැ, රතුළූනු , ලොකුළූණු , අර්තාපල්, දොඩම්, මිදි

* දැනට ආනයන කරන නමුත් දැනට අප රටේ වගානොකරන වර්ග හදුනාගෙන් ඒවා වගාකිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය. උදා: පරිප්පු

* දැනට ආනයන කරන අපට වගාකළ නොහැකි ආහාර ද්‍රව්‍ය සදහා විකල්ප හදුන්වා දීම. දැනට වියළි කලාපයේ අතරමැදි කන්නයක් ලෙස ඇතැම් පරිප්පු ප්‍රභේද වගාකෙරේ. කොල්ලු වැනි ආහාර ප්‍රවර්ධනය කළ හැක.

* දැනටත් අපරටේ ඌන භාවිත පළතුරු රාශියකි. ඒවා පෝෂණ ගුණයෙන් අනූනය. රටේ තිබෙන කොස් ගස් ටිකෙන් සියඹලා ගස් ටිකෙන් වත් අපි උපරිම ප්‍රයෝජන ගන්නේ නැත.

*ක්‍රමවත් බීජ නිෂ්පාදන වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් ආරම්භ කිරීම. දැනට බොහොමයක් බීජ විදෙස් රටවලින් ආනයන කරන අතර දෙවෙනි පරම්පරාවක් බෝකර ගත නොහැකි වී ඇත. මහඉලුප්පල්ලම, පැල්වෙහෙර, තලාව, සීතාඑළිය වැනි බීජ ගොවිපොළ රජය මගින් හෝ පුද්ගලික අංශයේ සහය ඇතුව සංවර්ධනය කර මෙරට බීජ අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කිරීම. නිරන්තර පළිභෝධ හානි මර්ධනයට මෙය උපකාරී වේ. රෝග ප්‍රතිරෝධී මෙරට කාළගුණ දේශගුණ පාංශු තත්වයන්ට අනුවර්තනය වූ බීජ නිපදවිය හැකිය.

* දැනට ආනයන කරන රසායනික පොහොර හැකි පමණින් මෙරට නිෂ්පාදනය ආරම්භ කිරීම. එප්පවල පොස්පේට් නිධිය නැනෝ තාක්ෂණය භාවිතාකරමින් අගය එකතු කර SSP නිෂ්පාදනය, ඛනිජ තෙල් පිරිපහදුවේ අතුරැ නිෂ්පාදනයක් ලෙස යූරියා නිෂ්පාදනය, ඉතා සුලුවෙන් හෝ ආරම්භ කිරීම් දිගු ගමනක ආරම්භයකි.

* කාබනික පොහොර නිෂ්පාදනය නව තාක්ෂණය සමගින් අඩු පිරිවැයක් සහිතව නිෂ්පාදනය. ප්‍රාදේශීය සභා නගර සභා ආර්ථික මධ්‍යස්ථාන නිසි ලෙස සම්බන්ධ කරගනිමින් බැර ලෝහ වලින් තොරව නිෂ්පාදනය කිරීම. ගෙවතුවගාව සදහා ඉතා හොදින් භාවිතා කළ හැකිය.

* කෘෂි යාන්ත්‍රෝපකරණ නිෂ්පාදනය. උදලු තල, නගුල, කොළ මඩින යන්ත්‍ර, වතුර පොම්ප, කුඩා ට්‍රැක්ටර්. මහාපරිමාණයෙන් නොව කල යුත්තේ කුඩාවට හෝ ආරම්භ කිරීමය. අවශ්‍යතාවය අනුව දියුණු කල හැක.

* නිසි වෙළදපොළ යාන්ත්‍රනයක් සකස් කිරීම. වගාකරැවාට නිසි මිළක් සහ පාරිභෝගිකයා ට සාධාරණ මිළකට ලබාගත හැකි අයුරින් ඉක්මනින් අතරමැදියන් අවම කරගනිමින් වගාභුඉමියේ සිට පාරිභෝගිකයා වෙත ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කිරීම. සුපිරිවෙළදසැල් ආර්ථික මධ්‍යස්ථාන ‍යොදා ගනිමින් පහසුවෙන් සිදු කළ හැකිය. දැනටට නිපදවා ඇති ගොවිපොළ වැනි app මේ සදහා භාවිතා කළ හැකිය.

* පසු අස්වනු තාක්ෂණය භාවිතා කරමින් සිදුවන හානිය අවම කිරීම. ආසන්න් වශයෙන් දැනට 30%. ප්‍රවාහනය අගය එකතු කිරීම, නිසි කල් තබාගත හැකි ක්‍රමවේදයන් දක්වා. උදා: ප්‍රවාහනය කූඩ භාවිත් කිරීම. අවශ්‍ය නම් නීති පැනවිය හැකිය.

* වගාකරැවන් හා වගාව රක්ෂණය කිරීම. අත්‍යවශ්‍ය කටයුත්තකි. වැස්ස නියගය රෝග හානි වැනි තත්වයන් යටතෙ වගාකරැවා රජයට ජනතාවට බරක් නොවී රැකගත හැකිය.

* ගොවියා ව්‍යවසායකයෙක් ලෙස පුහුණු කල යුතුය. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන්නෙක් බවට පත්කළ යුතුය. බැංකු රක්ෂණ සමගම් සමග ගණුදෙනු කිරීමට අවස්ථාවන් ලබා දී ව්‍යාපාරයක් ලෙස ගොවිතැන කරගෙන යන මට්ටමට ගෙන ආ යුතුය.

* ඉඩකඩ ඇති අයට තම ගෙවත්තේ නිතර ප්‍රයෝජනයට ගන්න අමු මිරිස් , කරපිංච, රම්පෙ, ඉගුරැ, කහ , පළා වර්ග වැනි දේ පහසුවෙන් වගාකරගත හැකිය. නාගරික කෘෂිකර්මාන්තය යටතේ බදුන්ගත වගාවන් ප්‍රචලිත කළහැක.

මෙවැනි කාරණා රාශියක් පවතී. ඒවා නිසි ලෙස අධ්‍යනය කර ක්‍රියාවට නැංවිය හැකි යාන්ත්‍රනයක් ද මෙරට දැනට ඇත. හැකියාව සහිත නිලධාරීන් ද ඇත. සිදුවිය යුත්තේ නිසි ලෙස ක්‍රියාත්මක වීමයි. අඩුපාඩු තිබිය හැක. එක විට සියල්ල සර්ව සම්පූර්ණ ලෙස සිදුවන්නෙ නැත. සිදුවිය යුත්තේ අමාරැවෙන් හෝ පටන් ගැනීමය. එවිට ස්වයංපෝෂිත ආර්ථිකයක් හරහා ආහාර සුරක්ෂිතාවය ඇතිකළ හැකිය. රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකිය. තිරසාර වන්නෙ එවිටය.

නැතිනම් වසංගත තත්වය පහව ගියපසු නැවතත් පරණ පුරැදු ලෙසටම ගොවියාත් අසරණය. පාරිභෝගිකයාත් අසරණය. දැනටත් වර්තමාන පරම්පරාව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නට තබා ඒ දෙස බලන්නෙ වත් කැමති නැත. තම්න්ගේ දෙමාපියන් විදින දුක ඔවුන් දැනටත් අත්දකිමින් සිටින නිසාවෙනි. ප්‍රායෝගික යතාර්ථය එයයි. එවිට නැවතත් සියල්ල නැවෙන් ගොඩබාන තෙක් බලා සිටීමට සිදුවනු ඇත.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'