Logo
2020 ජුනි මස 2 වැනි අඟහරුවාදා

ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

ඉන්දික කුමාර


බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය භාවිත කළ නිසා කියන බවයි පේන්නේ. (සමහරු මේ අකුරුවලට අසෝකාක්‍ෂර කියලත් කියනවා.) ඒ නිසාම මේ අකුරු අසෝක අධිරාජ්‍යයාගේ කාලයේ එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පමණ නිර්මාණය වුනා කියලයි විශ්වාස කළේ. මේ අකුරු පද්ධතිය උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව වගේම ලංකාවෙත් භාවිත කරල තියෙනවා. උතුරු ඉන්දියාවේදි උතුරු ඉන්දිය ප්‍රාකෘත බසත්, දකුණු ඉන්දියාව් - ටැමිල්නාඩුවේ දී පැරණිම දෙමළ බස ලිවීමටත් ලංකාවේ දි සිංහල ප්‍රාකෘත බස ලිවීමටත් මේ අකුරු තමා භාවිත කරල තියෙන්නේ. මිහින්තලේ, රජගල, සිතුල්පවුව වගේ ලංකාවේ උතුරු පළාත හැර හැම පළාතකම වගේ අඩුවැඩි වශයෙන් මෙම ලිපි පැතිරිලා තියෙනවා. මෙවැනි ලිපි ලංකාවේ 3,000ක් විතර ඇති මයේ හිතේ. සෙනරත් පරණවිතාන කියන විශිෂ්ට විද්වතා විසින් සම්පාදනය කළ Inscriptions of Ceylon කියන පොතේ විතරක් මෙවැනි ලිපි 1,400ක් විතර අන්තර්ගතයි.

 

මේ අකුරුවලින් ලියල තියෙන ලේඛන දිහා බලල සමහර විද්වතුන් විවිධ අවස්ථාවල කරුණු ඉදිරිපත් කළා මේවායේ ආරම්භය අසෝක අධිරාජයාගේ කාලයෙන් සිවවස් දෙකතුනක්වක් ඈතට යන්න ඕන කියල. ඒ සඳහා දකුණු ඉන්දියාවේ හිටපු විවිධ විද්වතුන් විවිධ අදහස් හා සාධක ඉදිරිපත් කරල තිබුනත් ඒවා පුරාවිද්‍යාත්මකව, අක්‍ෂර විද්‍යාත්මකව හෝ කාලනීර්ණ අනුව තහවුරු කරන්න බැරිවුනා.

 

1980 දශකයේ අවසාන කාලයේ දී ආචාර්ය සිරාන් දැරණියගල මැතිතුමාගේ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර ඇතුළු නගරයේ සිදුකළ සල්ගහවත්ත කැනීම (ASW 88), මහාපාළි දානශාලාව (AMP 88) හා අනුරාධපුර ගෙඩිගේ (AG 85) යන ස්ථනවල සිදුකළ කැනීම්වලින් පැරණිම බ්‍රාහ්මී අක්ෂර සහිත මැටිබඳුන් කොටස් කීපයක් ලැබුනා. ඒවා මේ කැනීම්වලින් ලැබුණු අනෙකුත් පුරාකෘති සමඟ කරන මාදිලි සැසදීම් හා අනෙකුත් කැනීම් පරිශ්‍රයන්ගේ පස්තට්ටු කාල නීර්ණ එක්ක සමසම්බන්ධතා ගොඩනැඟීමේ දී අසෝක අධිරාජ්‍යයාගේ කාලයට සියවස් දෙකක් විතර ඈතට ගමන් කරන බව ඉහළ සම්භාවිතාවක් සහිතව පැහැදිලි වුනා. එතැනින් නොනැවතුණු සිරාන් දැරණියගල මැතිතුමා මේවා කාබන් 14 විතරක් නෙවෙයි තාපසම්දීප්පතා කාල නීර්ණය කියන ක්‍රම දෙක අනුව කාල නීර්ණය කළහම මේ දිනවකවානු පිළිබඳ අදහස තහවුරු වුනා. ඒ විතරක් නම් මදෑ, දැන් ඔය ලුම්බිණිය එහෙම කැනීම් කරල ලෝක ප්‍රසිද්ධ වෙලා ඉන්න රොබිං කනින්හැම් කියන සුදු ජාතික විද්වතා ගෙනල්ලා එයාලට මේ කැනීම් පරිශ්‍රයේ එක ඉමක් නැවත කනින්න කියල කීවා.
ප්‍රතිඵලය පෙර හා සමානයි. ඉතිං මේ කරුණු 1992 දී සිරාන් දැරණියගල මහතා ලෝකයටම කීවා.

මේ සමඟ අමුනා ඇති රූපයේ තියෙන්නේ එහෙම අනාවරණය වුණු පූර්ව බ්‍රාග්මි අක්‍ෂර සහිත මැටි බඳුන් කොටස්. මේ රූපයේ 1 සිට 5 දක්වා අංකවලින් දැක්වෙන්නේ අනුුරාධපුර ඇතුළුනගරයේ මහාපාළි දානශාලාව අසල 1988 සිදුකළ කැනීමේ සන්දර්භ අංක 75 කියන පස් තට්ටුවෙන් අනාවරණය වූ පැරණිම බ්‍රාහ්මි අක්ෂර සහිත මැටි බදුන් කොටස්. 6 හා 7 යන රූප දෙක 1988 දී ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ කළ කැනීමෙන් අනාවරණය වූ අක්ෂර සහිත මැටිබඳුන් කොටස් දෙක. මෙම මැටිබදුන් කාලනීර්ණ පිළිබඳ සරලව සාකච්ඡා කරන එක මේ වගේ තැනක සාර්ථක නැහැ. මොකද ඒ කාලනීර්ණ අතිශයින්ම තාක්‍ෂණික ස්වරූපයක් ගන්නා අතරම සියුම් ආකාරයෙන් පැහැදිලි කළ යුතු දෙයක්. හැබැයි ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන් මෙම සාධක ක්‍රිස්තු පූර්ව 500-700 අතර කාලයට අයත් කියන එකනම්.


අපේ මේ සොයාගැනීම ඉන්දියාවේ විද්වතුන්ට මදිකමක්. එයාලා ලංකාවෙන් ඉන්දියාවට වඩා පැරණි ලේඛන හම්බවෙන්න බෑ කියල දස අතේ විස්සෝප වුනා. ලංකාවේ මේ අනාවරණය ගැන ඉන්දියාවේ හිටි විශිෂ්ඨම අභිලේඛනඥයෙකු වූ ආචාර්ය ඉරවදන් මහාදේවන් මැතිතුමා (මෙතුමා 2018 දෙසැම්බර් මස මිය ගියා) ප්‍රකාශ කළේ "සිරාන් දැරණියගලගේ අදහස පිළිගන්න නම් මේ හා සමාන හෝ පූර්වකාලීන සාධක ඉන්දියාවෙන් හමුවිය යුතු බවයි". මේ අදහස මේ විදිහට තියෙද්දි ඉන්දියාවේ ඉන්න මහාචාර්ය කේ. රාජන් මහත්මයා කැනීම් කළ සොහාන් ස්ථාන දෙකක් වන පොරුන්තාල් (Porunthal) හා කොඩුමනාල් (Kodumanal) කියන ස්ථානවලින් අසෝක අධිරාජ්‍යයාගේ කාලය ඉක්මවා යන කාලයට අයිති මැටි භාජනවල ලියු පූර්ව බ්‍රාහ්මි අභිලේඛන අනාවරණය වුනා. ඉතිං වැඩේ අහවරයි. ‍මේවාට අමතරව අදාල කාලයට ම අයත් පස් තට්ටුවලින් මෙවැනි අකුරු කරුටුගෑම සඳහා භාවිත කළා යැයි සිතන්න පුළුවන් ආකාරයේ පන්හිදවල් ද ඉන්දියාවෙන් වගේම ලංකාවෙන් ද හමු වී තිබීම විශේෂත්වයක්.

 

කාලනීර්ණ තත්ත්වය මෙහෙම වුනත් මේ දේවල් පිළිගන්න අපේ ලංකාවේ සමහර උගතුන් කැමති වුනේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ දෙයක් පිළිගන්න නම් සුදු හමක් තියෙන කෙනෙක් කියන්න ඕන නේ. එහෙමත් තැන්කම් අපේ අය කැමති නෑ ඉන්දියාට වඩා පරණ දේවල් අපේ රටේ තියෙනවා කියන්ට. අර කුමාරතුංග මුනිදාස පඬිතුමා වරක් කියල තියෙන්නේ "ඇයි මේ හැමදේම පිටින් අපිට ආවා කියල හිතන්නේ, ඇයි නිකමටවත් හිතන්න බැරි අපෙන් දෙයක් පිටට ගියා කියල". සිරාන් දැරණියගල මැතිතුමාගේ අදහසට ප්‍රබලම විචාරයක් එල්ල කළා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පියතිස්ස සේනානායක මැතිතුමා. මේ ලියන මගෙත් ගුරුතුමෙක්. ඒ වගේම පේරාදෙණියේම ඉතිහාස මහාචාර්ය විමලසේන හෑලෝගම මැතිතුමා. පස්සේ කරුණු අධ්‍යයන කළ ආචාර්ය පියතිස්ස සේනානායක මැතිතුමා දැරණියගලගේ අදහස පිළිගත්තේ "නවීන කාලනීර්ණ විද්‍යාත්මක සාධක සහිතව ඉදිරිපත් කර ඇති මේ අදහස පිළිගන්නේ නැත්නම් ඔහුට පිස්සු වෙන්න ඕන කියන" ප්‍රකාශයත් සභාවක කරලයි. 2010 දි විතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවති විද්වත් සභාවකදී ඉතිහාසඥයින් අභිමුව මේ අකුරුවල පෞරාණිකත්වය පිළිබඳ අදහස සනාථ කිරීමට පිරිසක් සමත් වුනා. විරුද්ධ අදහස් අනාථ වුනා. මේ සභාවේ මුලසුන දැරුවේ අපවත් වූ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හාමුදුරුවන් වහන්සේ. ඊට පස්සේ 2019 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ දී ජනමාධ්‍යත් ඇතුළු සියලු පාර්ශවයන් කැදවා මහා සමුළුවක් පැවැත්වුනා. එතැන දී වාදයකින් තොරවම දැරණියගල මැතිතුමා ඉදිරිපත් කළ අදහස පිළිගන්න වුනා පක්ෂ විපක්ෂ සියලු දෙනාටම.

මම කලින් සටහනක දී කිවුවනේ ඉතිහාස කාලපරිච්ජේදය ආරම්භ වන්නේ ලිඛිත මූලාශ්‍රය හමුවන කාලයත් එක්ක කියලා. ඒ අනුව, මෑතක් වනතෙක් අපේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට ඒ කියන්නේ මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළ කාලයට සීමා වෙලා තිබුනේ. දැන් අපේ ඉතිහාසය අඩුම තව තරමින් තවත් සියවස් දෙකක් ආපස්සට ගිහිං.

 

මේ සංවාද ගැන වැඩිදුර දැනගන්න කැමති කෙනෙකුට www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ඔස්සේ මේ සම්බන්ධ ලේඛන කීපයක්ම කියවන්න පුළුවන්.

 

මේ තියෙන්නේ අපිට ආඩම්බර වෙන්න දෙවල්. මේව තියෙද්දිනේ අපි හීන පස්සේ දුවලා අපේ විධිමත් සප්‍රමාණ පුරාවිද්‍යා දත්ත විනාශ කරල සුරංගනා ලෝක හදන්න යන්නේ.

සටහන

Chandima Ambanwala‎ to ශ්‍රී ලංකා පුරාවිද්‍යාව







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'