Logo
2020 මැයි මස 31 වැනි ඉරිදා

උණ බම්බු බීම බට වතුර බෝතල් ශ්‍රී ලංකාවෙත්

ඉන්දික කුමාර


 

බීම බට වලින් සිදුවන ප්ලාස්ටික් දුෂණය සම්බන්ධයෙන් සහ ඒ සඳහා ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින නොයෙකුත් පරිසර හිතකාමී විසඳුම්,
පරිසර දූෂණය ගෝලීය වශයෙන් මිනිසාට මෙන්ට සකල ජෛව පද්ධතියට ඉමහත් බලපෑමක් සිදුකරන යුගයක ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන බලපෑම පරිසර දුෂණ දර්ශකවල ඉහලින්ම සටහන් වනවා. මේ අතරිනුත් ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් බෝතල් වලින් සාගර ජීව ප්‍රජාවට සිදුවන බලපෑම අප මුහුණ දී ඇති බරපතල ගැටළුවක්. ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන ප්ලාස්ටික් බීම බට ප්‍රමාණය මිලියන 500ක්. 2017 වසරේ සිදුකරනලද සමීක්ෂණයන්ට අනුව ප්ලාස්ටික් බීම බට බහුලවම හමුවන අපද්‍රව්‍ය අතර 11 වන තැන ගන්නවා. වසර 200 කටත් වැඩි කලයකදී පවා දිරාපත් වීම අසීරු ප්ලාස්ටික් බීම බට එම කාලය තුලදී කෙතරම් ජීවිත සංඛ්‍යාවකට කොපමණ බලපෑමක් සිදු කරනවා ද?
පරිසර හිතකාමී බීම බට ආදේශක වල ලෝකයා යොමුවන්නේ ඒ නිසයි .
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල උණබට භාවිතයෙන් බීම බට නිෂ්පාදනයට යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ග්‍රාමයේ සාම්ප්‍රදායික උණ කර්මාන්තයෙහි යෙදෙන පිරිස් අතර මෙම උණ බම්බු බීම බට ජනප්‍රිය වෙමින් පවතිනවා. යටියන්තොට ප්‍රදේශය Ceylon Reed Bambo හෙවත් සාමාන්‍ය ව්‍යවහරයේ අප හඳුන්වන බට ගස් සඳහා කදිම නිවහනක්.
Ceylon Reed Bamboo ( රණ බට ) එසේත් නැතිනම් Ochelandra stridula විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කැලෑ උණ ගස් තණකොළ පවුලට අයත් ශ්‍රී ලංකාවට ආවේණික උණ විශේෂයක්. සාමාන්‍යයෙන් මලානික කොළ පැහැයක් ගන්න මෙම ශාකය වියලිමේදී දුඹුරු පැහැයට හැරෙනවා. මෙහි මතුපිට රළු වන අතර තෘණ දණ්ඩ වඩාත් ඍජු ස්වරුපයක් සහිතයි. සාමාන්‍යයෙන් මීටර් 1-2 උසකින් යුක්ත වන මෙම ගස් සෙන්ටිමීටර 4-8 දක්වා පළලකින් යුක්තයි. කෑගල්ලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක වල බහුලව හමුවන මෙම ශාකය බොහෝවිට දක්නට ලැබෙන්නේ තෙත් කලාපිය වැසි වනාන්තර ආශ්‍රිතව සහ ගඟ ඉවුරු දෙපසය.
යටියන්තොට සංස්කෘතික සහ අත්කම් මධ්‍යස්ථානයේ කාර්මික ප්‍රජාව මෙම උණ බට භාවිත කර විවිධ නිර්මාණ සිදු කරන අතර බිම බට ආදේශකය ඒ අතරින් අපට වැදගත් නිර්මාණයක්.
මෙම බීම බට නිෂ්පාදනය සිදුවන ආකාරය පිලිබඳ අපට දැනගන්න ලැබුනේ පහත අයුරින්.
කපන ලද උණ බට පළමුව උණුවතුරෙහි දමා තම්බා ගන්නවා. මෙහිදී 1:4 අනුපාතය විනාකිරි සහ ජලය මිශ්‍ර කරන ලද ද්‍රාවණයක් භාවිත කරනු ලබන්නේ විනාකිරි වල ඇති ස්වභාවික පදම් කිරීමේ ගුණය නිසයි. තැම්බීමේදී උණ බටයේ වර්ණය මලානික කොළ පැහැයේ සිට හිරියල් කහ පැහැයට මාරු වන අයුරු දැක ගත හැකියි. ඉන්පසුව මෙම බට දඬු අවශ්‍ය බිම බටයේ ප්‍රමාණයන්ට අනුව කපගනු ලබනවා.
මෙම උණ බම්බු බීම බට පරිසර හිතකාමී මෙන්ම මන පෙනුමකින්ද යුක්තයි. වඩාත්ම වැදගත් කරුණ නම් මෙම බීම බට නැවත නැවත භාවිත කල හැකි තිරසාර විසඳුමක් වීමයි.
පරිසර සුරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති සියල්ලන්ගේ ඇස යොමු විය යුතු මෙම නිෂ්පාදනය් ආයෝජන හා රැකියා අවස්ථා රැසකටද මනා පිටුබලයක් සපයනවා.විශේෂයෙන්ම ග්‍රාමීය කුඩා කර්මාන්තයක් ලෙස අවම තාක්ෂණික පහසුකම් යටතේ සිදුවන මෙම කර්මාන්තය රජයේ මෙන්ම පුද්ගලික අංශයේ ව්‍යවසයකයන්ගේ ද අවධානය යොමු විය යුතු පැතිකඩක්.
උණ සහ බට ශාකයන් නැවත වර්ධන වේගය අතරින් ලෝකයේ පළමු තැන හිමි කරගන්නවා. ඒ අනුව බැලුවද බීම බට සඳහා වන උණ ගස් පරිභෝජනය ඉතා කෙටි කාලයකදී නැවත පරිසරයට එක කල හැකියි. නිවර්තන කලාපිය රටක් වශයෙන් සියලුම භෞතික සම්පත් වල හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අපට මෙම උණ බට වලින් තැනූ බිම බට පරිසර හිතකාමී ප්‍රවනතාවයක් ලෙස වර්ධනය කල හැකි නම් එය තිරසාර සංවර්ධනයක් සඳහා, ලියකියවිලි වලට පමණක් සිමා නොවූ සැබෑ විසදුමක් වනු නොඅනුමානයි.

තොරතුරු : යටියන්තොට අත්කම් හා සංස්කෘතික මධ්‍යස්ථානය ( 071 952 2500 )







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'