Logo
2020 අප්‍රේල් මස 1 වැනි බදාදා

ඕෂධී හේවාමද්දුම කවුද? මොනාද කළේ?

නාමල් උඩලමත්ත


ඇය ජනප්‍රිය නිළියකි. ඒ නිසාම ඇය දේශපාලනය නොකළ යුතු බව ඇතැමුන්ගේ අදහසය. රටක දේශපාලකයන් තේරිමෙහි එකම සහ ප්‍රමුඛතම නිර්ණායකය විය යුත්තේ දේශමාමකත්වයයි. ජාතිකත්වයයි. එසේ නොමැතිව ඔවුන්ගේ වෘත්තීය නොවේ.

දේශමාමකත්වය නැති එකා මොන උගතෙකු මොන ජගතෙකු වුවද ඔහු හෝ ඇයගෙන් රටට හෙනයක් මිස කිසි පලක් නැත. එහෙයින් අප විමසා බැලිය යුත්තේ ඕෂධී තුළ එම ගුණාංග ඇතිද කියාය. මම ඈ ළඟින් ඇසුරු කර නැති හෙයින් ඒ ගැන මම දන්නේ නැත.

එහෙත් ඕෂධී සම්බන්ධ එක සිද්ධියක් මට අදත් සිහිපත් කළ හැකිය. ඒ 2015 යහපාලන සුනාමියට පසු රට මහ මැතිවරණයට සූදානම් වන සමයයි. ශ්‍රිලනිප කඳවුර සිරිසේන විසින් කොල්ල කෑ හෙයින් බොහෝ දෙනෙකු සිටියේ ඉච්ඡාභංගත්වයට පත්වය. බොහෝ දෙනෙක් කරළියට ඒමට බිය වූහ. මැලි වූහ.

එහෙත් පිරිසක් එම පරාජයේ සහ සිරිසේනගේ මර්දනය හමුවේ ද නොසැලී හැකි පමණින් ජනතාව දැනුම්වත් කිරීමට පෙරමුණ ගත්හ. මහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූහ.

කොළඹ අවට එවැනි රැස්වීම් මාලාවක් සංවිධානය කර තිබුණේ වර්තමාන තරුණ සේවා සභාවේ සභාපති Theshara Jayasinghe විසිනි. තෙෂාරට අමතරව ඔහුගේ එවක පෙම්වතිය වූ වත්මන් බිරිඳ ද Sandamali Ekanayake, Susiri Elegoda ද එහි කටයුතු සංවිධානය කිරීමෙහි නිරත වූහ.

එහි පළමු ජනහමුව පැවතියේ පානදුර නගර ශාලාවේය. ඒ අවස්ථාවට කථිකයන් ලෙස පැමිණියේ ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ ඕෂධී හේවාමද්දුමය. එදා එම සභාව මෙහෙයවමින් ඔවුන් සියලු දෙනා වේදිකාවට හඳුන්වා දුන්නේ මමය.

යහපාලන නරා වළෙන් ගොඩ එන්නට නම් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතු බව සියලු දෙනා පෙන්වා දුන්හ. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ද පැමිණ ටික වේලාවක් එහි රැඳී සිටියේය.

එකල බොහෝ බාධක අනතුරු මැද දුෂ්කර ගමනක ගිය අපේ කඳවුරට ජය මාවතේ ගමන් කරන අද මෙන් අපට කලාකරුවන් ද උගතුන් ද සිටියේ නැත. යහපාලනය කිරිකැටි වියේම ඒ මකරෙකු බව හඳුනාගත් අය අතර මේ පිරිස සිටි බව අප සිහිපත් කළ යුතුය.

එම හමුවට පසු දිවා ආහාරය සඳහා⁣ දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලකට ගිය අවස්ථාවේ ද රට පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳ ඕෂධී මෙන්ම සියලු දෙනා මහත් කනගාටුවෙන් කතා කළ හැටි මට මතකය.

ආචාර්ය නාලක ගොඩහේවා ඇමතූ මුල්ම දේශපාලන රැස්වීම වූ පානදුර හමුවට පසු දින ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බව මගේ මතකයයි. ඕෂධී ප්‍රසිද්ධ දේශපාලනයට එන්නේ ද නැද්ද යන්න මගේ තීරණයක් නොවේ. එය ඔවුන්ගේ වැඩකි. ඡන්දය දීම නොදීම ජනතාවගේ වැඩකි.

එහෙත් සමහරු නළු නිළියන්ට ගරහා බුකීස්ටාර්වරු වන්නට දඟලන අද මා මේ කරුණු ලියා තබන්නේ ඒ දුෂ්කර සමයේ මේ කඳවුර නියෝජනය කළ ඊට ශක්තියක් වූ පිරිස පිළිබඳ අප අදහස් දැක්විය යුත්තේ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ නිසි ගෞරවය ද ලබා දෙමින් බව සිහිපත් කිරීමටය.

@නාමල් උඩලමත්ත







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'