Logo
2020 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා

කන්ද උඩරට රාජධානියේ යුධ උපාය මාර්ග සමහරක්

කීර්ති හේවාගොඩ


කීර්ති හේවාගොඩ

වර්ෂ 1804 දී ඉංග්‍රීසි හමුදා මේජර් වරයෙකු ලියු පර්යේෂණ ලේඛනයක කොටස් කීපයක් උපුටා දක්වමින්. .මාගේ නිරීක්ෂණ වරහන් තුල දක්වා ඇත. ..

""අප හමුදා රට ඇතුලෙහි ඈතට යනවිට උඩරට සටන්කාමියා අපට ආපසු පසුබැසිය හැකි සියලු මාර්ග අවහිර කරයි. තුවාලකරුවන්, රෝගීන් කරතබාගෙන, දැඩි වෙහෙසට පත්ව, වෙඩි බෙහෙත් මුණිස්සම් පමණක් නොව හරි හැටි කෑමබීම පවා නොමැතිව පසුබසින යුරෝපීය හමුදාවන් තවත් ව්‍යාකූල කිරීමට මෙම උපක්‍රමය වඩාත් යෝග්‍යවේ. උඩ රැටියන්ගෙන් දරුණුම ප්‍රහාර එල්ලවන්නේ පසුබැසීමේ මාර්ග අවහිරවී, වෙහෙසට පත්ව පතොරොම් අවසන්ව කුසගින්නේ සිටින අවස්ථාවලදීයි.""

( මගේ සටහන - ගරිල්ලා යුධ උපක්‍රම. දෙවැනි රාජසිංහ යන්ගේ 1638 මාර්තු 28 ගන්නෝරුව සටනින් පරංගීන් සමුඝතනය ට පසු විවෘත භූමියේ කරන සටන් වලට උඩරට යොමු නොවීය. උපායමාර්ගික ව පසුබැසීම භාවිත කර කපොලු ගත කිරීම ආදී protracted warfare tactics ,especially the ambush භාවිතා කල බව පෙනේ )

""එමපණක් නොව උඩරැටියන්ට හසුවන අපගේ තුවාලකාරයෙකු හෝ රෝගියෙකුට පවා නිසැකව මරණය හිමිවෙයි. මෙලෙස අසුවන ඕනෑම කෙනෙකු මරාදැමීමට උඩරට සටන්කාමීන් පෙළඹ සිටින්නේ ඔවුන් ලේ පිපාසිතයින් නිසා නොව උඩරට රජු පවත්වාගෙන යන මරාදමන සතුරු සෙබලෙකු වෙනුවෙන්ම ත්‍යාග පිරිනැමීමේ පුරුද්දයි. මෙම ත්‍යාග හා නම්බුනාම ලබාගැනීමට හසුවන ඕනෑම් යුරෝපීයයෙකු මරාදමා හිස ගෙනයාම උඩරැටියන්ගේ පුරුද්දක් වුනා."

( මාගේ සටහන -හිස ගෙන ගියේ තනතුරු ලබා ගැනීමට ම යන්න කීම වරදකි. යුධ චාරිත්‍රයක් ලෙස හිස් ගසා දැමීම පුරාණ සම්ප්‍රදාය ක් වන අතර සතුරෙකු මැරූ බව ස්ථිර කිරීමට මුලු මෘත ශරීරයම ගෙන යා නොහැකි නිසා ශීර්ෂය ගෙන ගිය බව පෙනී යයි. )

""සිංහල ප්‍රභූවරු රජුට දක්වන පක්ෂපාතිත්වය හා රජු වෙනුවෙන් කරන රාජකාරි වෙනුවෙන් ඉඩකඩම් භුක්තිවිඳීමට රජුගෙන් අවසර ලබාගෙන සිටී. මේ වෙනුවෙන් විවිධ සේවා රජුට සපයන අතර ඉන් එකක් වන්නේ රජුට අවශ්‍ය ඕනෑම මොහොතක, අවශ්‍ය ප්‍රමාණයෙන් හමුදාව සඳහා පිරිස් එකතුකොට ඉදිරිපත් කිරීමයි. මෙලෙස අවශ්‍යවිටක හමුදාව සඳහා පිරිස් බලය ලබාගත හැකි නිසා විශාල නිත්‍ය හමුදාවක් පවත්වගෙන යාමෙන් ඇතිවන විශාල මූල්‍යමය බරපැනෙන් මිදීමට රජුට හැකියාවක් ලැබී ඇත. එමෙන්ම අවශ්‍ය විටක රටේ පිරිමින්ගෙන් සැළකිය යුතු පිරිසක් හමුදාවක් ලෙස එක් රැස් කරගැනීමේ හැකියාවද රජුට ඇත."

( මගේ සටහන - මේ ලේඛකයා සිටි 1804 දී රජු ව සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහයෝ ය . සමහර ගමකින් ගැටවරයින් එක්කෙනෙක් හෝ දෙදෙනකු තෝරා අංගම් මඩුවට යවනු ලබයි. මොවුන් වසර කීපයක පුහුණුවකට පසු රෞද්‍ර සටන් කරුවන්ව පැමිණෙති. ජාතියට බෞද්ධාගමට සහ රජුට පක්ෂපාතීත්වය දිව්රීමෙන් පසු මහනුවර සහ කඩවත් එනම් ප්‍රධාන පිවිසුම් වල ඇති බලකොටු හී සේවයට යොදවයි. ඉතාම දක්ෂ සහ අතිශය රාජ පාක්ෂිකයන් නම් රාජකීය විශේෂ බලකාය ට බදවා ගනු ලැබේ. මරුවල්ලියේ සහ සුදලිය නිලමේ වරුන් යටතේ පුහුණු වේ.

මොවුන් ගේ අණ පිලිපැද අවශ්‍ය විටදී එක්වරම යුධ බිමට යැමට ගමේ පිරිමි සූදානම්ය. ( a peasants militia ). මේ නිසා හදිසි අවස්ථාවකදී දින කීපයක් තුල සිංහලේ හමුදාව 10 000 < ඉහල පිරිස් බලයක් ලබා ගනී. දුම්බර,ඌව වෙල්ලස්‌ස සහ බින්තැන්නේ සිට ජන හමුදාව ඒ ඒ ධජ පෙරටු කොට ගෙන මහනුවර පෙරමුණ දක්වා පා ගමනේ යෙදෙයි. වෙද්දු, ඇදුරෝ , කම්හල් කරුවෝ, බෙර වායෝ,උපස්ථාන කරුවෝද සේනාවේ ගමන් කරති. සෑම ගෙදරකම හදිසියේ යුධයට යෑම පිණිස කඩුව, අග්ගලා /කැවුම් මල්ල එල්ලා තිබුණි. අද මෙන් බීමත්කම ට හුරුව හෝ දේශපාලන මහප්රාණ ඔලුවට ගත් මඩේ සිටවූ ඉනි මෙන් වැනෙන එවුන් එදා නොසිටී අතර රට දැය රජු වෙනුවෙන් එකා වන්ව නැගී සිටින බහුතරයක් සිටියෝය. ..)

කීර්ති හේවාගොඩ
26. 01. 2020







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'