Logo
2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා

Apple Farm සිද්ධිය බොරුවක්ලු - පරිසර ඇමතිතුමා...!

ජයන්ත විජේසිංහ


පිදුරුතලාගල රක්ෂිතය හා පිදුරුතලාගල කඳු මුදුන අවට කලාපයේ වැදගත්කම සම්බන්ධව සහ ඊට මෙතෙක් සිදුව ඇති මහත් හානිය සම්බන්ධවත්, apple farm අනවසර වගා කරුවන්ට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුවේ තීන්දුව දීමට ඉදිරියේදී යෝජිත බවත්, ඒ අතරතුර අක්කර තුන්සියයකට වැඩි අනවසර වගා කරුවන්ට ම එම ඉඩම් බෙදාදීමේ සැලසුමක් ඇති බවත්, අප විසින් මීට දින දෙකකට පෙර එළිදරව් කරන ලදී.

මෙම හෙළිදරව්වත් සමගින් මේ සම්බන්ධව නැවත වතාවක් දැඩි කතාබහක් පරිසර ක්ෂේත්රයේ සහ පරිසර හිතකාමී පක්ෂ පාට ජාති කුල මල ආගම් භේදවලින් තොරව සියලු දෙනා අතර ඇති වූ අතර අති බහුතර ශ්‍රී ලාංකිකයින් ගේ බලාපොරොත්තුව වන්නේ පරිසරය යනු පක්ෂ දේශපාලනයෙන් එහාට ගිය, දේශපාලන අවශ්‍යතා වලින් වියුක්ත විය යුතු සියල්ලන් පොදුවේ ආරක්ෂා කළ යුතු සම්පතක් බවයි.

ඒ ඇතිවු කථාබහක් සහ ඇපල් ෆාම් අනවසර වගාකරුවන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබීම සම්බන්ධව පක්ෂ-විපක්ෂ කවුරුත් නොසෑහෙන සේ තම අප්‍රසාදය පළ කරන ලදී. විශේෂයෙන්ම අප හා ලංව කටයුතු කරන වියත් මගට සම්බන්ධ පරිසරවේදීන් කිහිපදෙනෙකුද මේ සම්බන්ධව මේ වන විටත් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව අප දන්නෙමු. බොහෝ විට ජනාධිපතිතුමා විසින් අදාල කාරණය සම්බන්ධව අදාල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුවා වන්නටද හැක.

ඊයේ රාත්‍රියේ මෙවැනි වෙලාවකම මා ඇමතූ පරිසර ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ අප සඳහන් කරන කාරණය බොරුවක් බවත් එවැනි ඉඩම් බෙදා දීමකට සූදානම් නොමැති බවත්ය. තවද ඔහු යම්තරමක ආවේගයෙන් දෝෂාරෝපණයක් කළ අතර, අප සංවිධානය විසින් බෙදාහරින ලද අදාළ දැනුවත් කර ගැනීම ඉවත් කර ගන්නා ලෙසත් දැන්වීය. මෙලෙස තමන් අපහසුතාවයට පත්කරන දේ පළ නොකරන ලෙසත් තමන් මේ "හොඳින් කියන්නේ" යැයිද පැවසීය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ පසු එය නැවත ඉවත් කර ගැනීමේ හැකියාවක් නොමැත. කළ හැක්කේ නිවැරදි කිරීමක් පමණි. එසේම යම් නිවේදනයක වැරදි කරුණක්, අන්තර්ගතයක් තිබේ නම් කළ යුතු වන්නේ, මාධ්‍ය නිවේදනයක් ලෙස තමන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් කරුණු දැක්වීමයි. එය අදාල ප්‍රවෘත්තිය සත්‍යය නොවන බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ හැකිය. කෙසේ නමුත් ඇපල් ෆාම් ඉඩම් අනවසර වගාකරුවන් අතර බෙදා දීමට කටයුතු නොකරන බවට මෙතෙක් පරිසර අමාත්‍යවරයා හෝ ඊට සම්බන්ධ ප්‍රදේශයේ අදාළ අනෙක් අමාත්‍යවරයා විසින් හෝ නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

තවද අප හට දැනගන්නට ලැබෙන කාරණා අනුව, අග්‍රාමාත්‍යවරයා පවා නොමඟ යන ලෙස කරුණු දක්වා අදාළ ඉඩම් බෙදා දීම සඳහා වන සැලසුමක් යම් යම් අය විසින් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කර ඇති බවයි. විශේෂයෙන් වසර 30ක පමණ කාලයක් තිස්සේ මෙම ප්‍රදේශයේ අනවසර වගා කරුවන් ගෙන් රක්ෂිතය බේරා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අනෙකුත් පරිසර නියාමන ආයතන යම් සාධනීය කාර්යයන් ප්‍රමාණයක් කර ඇත. එසේම නඩුකර ගොනු කර අදාල අනවසර වගාකරුවන්, විශේෂයෙන් කොළඹ නුවර නුවරඑළිය වැනි ප්‍රදේශවල ිශාල ව්‍යාපාරිකයින් එකතුව කරනු ලබන මෙම මහා ඉඩම් මංකොල්ලය වැළැක්වීමට කටයුතු කර ඇත. කෙසේ නමුත් එකී පාර්ශවයන් තම මුදල් බලයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු ඉහළ අධිකරණ වල අභියෝග කරමින් නඩු තීන්දු ලබා දීම පවා යම් යම් උපක්‍රම යොදමින් පරක්කු කරමින් සිටි. කෙසේ නමුත් එවැනි අභියාචනයක් අදාල අනවසර වගාකරුවන් පරාජයට පත්වූ බවත් ඒ අනුව නොබෝ දිනකදී මහේස්ත්‍රාත් අධිකරණයෙන් එවැනි නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් අපට සැළ වී ඇත.

මෙවැනි වටපිටාවක තමන්ට අවාසි වන නඩු තීන්දුවක් ලැබුනහොත් එම ඉඩම් අත්හැර දැමීමට සිදුවන හෙයින් ඉහත කී ඉඩම් අනවසර වගාකරුවන් අතර බෙදා දීම සඳහා වන කැබිනට් තීන්දුවක් ගැනීම සඳහා උත්සාහයක් පවතින බව අපට සැළ වූ කාරණයයි. ඒ සම්බන්ධව අමාත්‍යාංශය සහ යම් යම් කාර්යාල තුළ පැවති සාකච්ඡා, දිනවකවානු, සහභාගිවූවන් සහ එම සාකච්ඡා වලට අදාළ යම් යම් කාරණා සම්බන්ධ තොරතුරු අප වෙත ලැබී ඇත. එමනිසා එවැනි කිසිදු සැලසුමක් නොමැති බව හෝ තිබුණේ නැති බව අපට මෙතෙක් පිලි ගැනීමේ හැකියාවක් නැත.

පසුගිය රජයේ ැබිනට් පත්‍ර ද මෙයාකාරයෙන්ම කැබිනට්ටුවට දැමීමට පෙරත්, කැබිනට්ටුවට දැමූ පසුත් ඉදිරියට යාමක් හෝ අනුමත වීම වැළැක්වීම සඳහා අප ක්‍රියාකාරිව මැදිහත් වී ඇත. එවැනි කිසිදු අවස්ථාවක සත්‍ය වශයෙන්ම කිසිදූ දේශපාලනඥයකු හෝ නිලධාරියකු විසින් අප හට බලපෑම් කර නැත. මන්දයත් පරිසරය හා බැඳි යම් යම් රාජ්‍ය තීරණ ප්‍රතිපත්ති සම්බන්ධව අප සංවේදී වන්නේ අපගේ පුද්ගලික අවශ්‍යතා හෝ ලබැඳියාවන් නිසා නොවේ. එය සමස්ත රට වැසියාට, වර්තමාන පරම්පරාවට හා අනාගතයටත් එකසේ බලපාන හෙයිනි.

පිදුරුතලාගල අනවසර වගා ප්‍රදේශය ගත් කල්හි රන්දෙණිගල රන්ටැඹේ සහ වික්ටෝරියා යන ජලාශ තුනටම ජලය සපයන ජල පෝෂකයක් ලෙස ක්‍රියා කරන බවත්, මෙම අනවසර වගාවන් නිසා අද වනවිට එකී ජලාශවල පවා ජලය අඩු වීමට මෙය බලපා ඇති බවත් නොරහසකි. අවසානයේ මේ නිසා බලශක්ති අර්බුදයක් පවා ඇතිවිය හැක. කිලෝමීටර හතක් පමණ දුරින් පිහිටි මන්දාරම්නුවර කඳු ප්‍රදේශ වන සිට පවා අඟල් දෙකේ බට යොදාගෙන ජලය සොරාගෙන නොයෙක් ආකාරයේ වගා කටයුතු මෙම ප්‍රදේශයේ කරගෙන යන බවද නොරහසකි. අක්කරයක් දෙකක් සහ නොයෙක් ප්‍රමාණවලින් තමන්ගේම අයවලුන් අතර ඉඩම් කට්ටි බෙදාගනිම්න් අක්කර තුන්සියයක් පමණ වන අනවසර වගා භූමි ප්‍රමාණයෙන්, අතිබහුතර ඉඩම් ප්‍රමාණයක් භුක්ති විඳින්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවද නොරහසකි. ඔවුන් නැවතත් අක්කරයකින් ලක්ෂයක් පමණ මුදලක් බැගින් නඩුකරයක් ගොනු කිරීමට යයි පවසා මුදල් එකතු කරන බවද නොරහසකි. මෙය නඩුකරයන් හරහා ඉඩම් තවදුරටත් වසර ගණනාවක් ඉදිරියට භුක්ති විඳීමට දරන උත්සාහයක් බව ද නොරහසකි.

මෙවන් වටපිටාවක් තුල ඇත්තටම අදාල අමාත්‍යවරුන් විසින් එකී ඉඩම් අනවසර වගාකරුවන් අතර බෙදා දීමට සූදානමක් නොමැති නම්, ඔවුන්ගේ අභිප්‍රාය ලංකාවේ උසම කඳු මුදුන ආරක්ෂා කිරීම නම්, ලංකාවේ අංක එකේ වටිනාකමක් ඇති ජල පෝෂකයක් සංරක්ෂණය කිරීම නම්, අනවසර වගාකරුවන් ඉවත් කර, අදාල වනසා ඇති අක්කර තුන්සියයකට අධික පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීම නම්, ඔවුන් කළ යුතු වන්නේ එකී ප්‍රදේශය නැවත රක්ෂිතයට පවරා, ඉඩම් නොමැති අතලොස්සක් වූ අයට සුදුසු විකල්ප ඉඩමක් ලබා දීමත්, ධනවත් ව්‍යාපාරිකයෙක් මෙම භූමිය භුක්තිවිදීම තහනම් කිරීමත්, පිදුරුතලාගල රක්ෂිතය දැඩි රක්ෂිත ්‍රදේශයක ස්වරූපයන් ආරක්ෂා කිරීම සඳහා වන අදාළ නියෝග චක්‍රලේඛ සහ ගැසට් නිකුත් කිරීමත් ය.

අමාත්‍යතුමා මා අමතා ්‍රකාශ කළ පරිදි එවැනි ඉඩම් බෙදාදීමේ සලසුමක් නොමැතිනම් අප සතුටු වනවා සේම, අදාළ Apple Farm ගැටලුව සඳහා මැදිහත්වී එකී වටිනා පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා වූ සියලූ ක්‍රියාමාර්ග ගන්නවා ඇතැයි ද අප අපේක්ෂා කරමු.

ජයන්ත විජේසිංහ
වැසිවනාන්තර සුරකින්නෝ..







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'