Logo
2020 අප්‍රේල් මස 6 වැනි සඳුදා

ගොවීන් මියයා යුතු ද ? මොනරු මැරිය යුතු ද ?

පාඨලී චම්පික රණවක


ප්‍රවීණ පරිසරවේදියෙකු වූ සරත් කොටගම මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එනම්, රජරට ප්‍රදේශයේ ආක්‍රමණික ලෙස මොනර ගහණය වැඩිවී ඇත්නම් ඔවුන් ඝාතනය කිරීම විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවය. මොනරුන් විසින් කරන වගා හානිය නිසා සිත් තැවුලට පත් ගොවීන් සියදිවි හානිකරගැනීමේ අනුවේදනීය පුවතක්ද වාර්තාවී තිබිණි. මොනර බිත්තර අනුභව කරනා නරියන්, හිවලුන් වැනි විලෝපීන් වඳවී යාම නිසා මේ ව්‍යාප්තිය ඇතිවී ඇති බවත්, මොනරා පිළිබඳව ඇති ආගමික හැඟිම් නිසා මිනිසුන් නීති විරෝධීව හෝ උන් ඝාතනයට ඉදිරිපත් නොවන බවත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත.

අප කුඩා කාලයේ කිසිම දවසක කුඹුරුවල දැක නැති මොනරුන් අපේ ගම්වල කුඹුරුවල ද අස්වැන්න වනසන බව මගේ සොයුරියන් ද ප්‍රකාශකළා මතකය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරක් කැබිනෙට්ටුවේදී ප්‍රකාශ කළේ, සියලු වගාවන්ගේ අස්වැන්නෙන් 30% ක් පමණ මොනරුන්, වල් අලින්, ඌරන්, දඬු ලේනුන්, ඉත්තෑවන් හා විශේෂයෙන්ම වඳුරන් විසින් විනාශ කරනා බවය. එමෙන්ම මං මාවත් වල සිටිනා සුනඛ ප්‍රජාව දශලක්ෂය ඉක්මවන බව ද එතුමා ප්‍රකාශ කළ බව මතකය.

මේ පිළිබඳව රාවය කතෘ වික්ටර් අයිවන් මහතා ද දීර්ඝ විස්තරයක් පළකර යුරෝපයේ මෙන් නීත්‍යානුකූලව වගා හානි කරනා සතුන් පාලනය කළයුතු බව අවධාරණය කළේය. මෙය පාරවල්වල සිටිනා අයාලේ යන ගවයින් හා සුනඛයින්ට ද අදාළ බව ඒ මහතා ප්‍රකාශ කළ බව මතකය.

පාරේ සිටිනා යාචකයින් පුනරුත්තාපනය සඳහා ඉවත් කිරීමට (2016-17) මා උත්සහ කළ විට මානව හිමිකම් ආයතන එය වැලැක්වීය. නැතිනම් අද කොළඹ හා අවට එකදු යාචකයෙකු හෝ සිටින්නේ නැත. අධිකරණයේ මහත් බාදා මැද කොළඹ නගරයේ හා අවට සිටි යාචකයින්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත්කිරිමට අප සමත් වූවද, සුනඛයින් ඉවත්කිරීමට ගියවිට පැමිණි බාදා නිසා එය අරඹන්නට හෝ නොහැකි විය. කෙසේ වෙතත් බොහෝ බාදා මැද කොළඹ නගරයේ අයාලේ ගිය ගවයින් ඉවත්කර ගව අනාථාගාරයකට යැවීමට අපට හැකිවිය. එය ද මහත් විරෝධතා මැදය.

ආචාර්ය සරත් කොටගම, මෛත්‍රීපාල සිරිසේන, වික්ටර් අයිවන් යන මහත්වරුන් පළකරනා අදහස් සේම, සත්ව අවිහිංසාවාදීන් හා වනසත්ව වෘක්ෂලතා ආඥා පනත කියනා කරුණු ගැනද සංවාදයක් දැන් අවශ්‍යයය.

මානවයා අඩුම තරමින් වසර 15,000 ක සිට විවිධ කැලෑ බෝග මෙන්ම කැලෑ සතුන්ද හීලෑ කර සිය ප්‍රයෝජනයට ගත්තේය. ක්‍රමයෙන් එය අද ස්වාභාවික සත්ව ගහණයක් නොව මිනිස් නිෂ්පාදනයක් බවට පත්වී හමාරය.

ජර්මනියේ කැලෑ වෘකයින් සිය ගණනක් වාසය කරද්දී, වෘකයින්ගෙන් පැවත එන සුනඛයින් මිලියන 05 ක් සිටිති. ලෝකයේම වෘක ගහණය ලක්ෂ 02 ක් පමණ වන විට සුනඛ ගහනය දශලක්ෂ 400 ක් බව වාර්තා වේ. කැලෑ සිංහයින් ප්‍රමාණය 40,000 ක් පමණ වන විට දශලක්ෂ 600 ක් බිලාලයින් මිනිස් නිවාසවල ජීවත්වෙති. කැලෑ ගවයින් ලක්ෂ 09 ක් ලොවේ සිටිනා විට මිනිස් ගොවිපොළ වල දශලක්ෂ 1500 ක් ගවයින් ජීවත් වෙති. ඉතා කුඩා වලි කුකුළු ගහණයක් ඇති ලොවේ දශලක්ෂ 20,000ක කුකුළු ගහණයක් වෙසෙති. (2014 සංඛ්‍යා ලේඛන)

කොටින්ම ලේකයේ විශාල වන සතුන්ගේ ජීව බර සන්සන්දනය කළහොත් මානවයාගේ එය ටොන් මිලියන 300 කි. හීලෑ කරන ලද සතුන්ගේ ටොන් මිලියන 700 කි. කැලෑ සතුන්ගේ ටොන් මිලියන 100 කි. එනම්, 90% කට වඩා ලොවේ වාසය කරන්නේ මානවයා හෝ ඔහු විසින් පාලනය කරන සත්ව ගහණයකි. (Living Planet Report – 2014)

වන සතුන් ගහණය වනයේදී නම් විලෝපීන් විසින් ස්වාභාවිකව පාලනය කරයි. මුව ගහණය කොටියා පාලනය කරයි. මොනර ගහනය හිවලුන් හා නරි පාලනය කරයි. නමුත් ස්වභාව චක්‍රය මිනිසා විසින් සහමුලින් බිඳ දමා ඇති තත්ත්වය තුළ ආක්‍රමණික ලෙසින් පැතිරෙන වන සතුන් පාලනය කිරීමේ ස්වභාව උපක්‍රමයක් නැත. බටහිර ලෝකය මේ සඳහා පාලිත ඝාතනය (Culling) යොදා ගනිති. ලංකාවේ නීතිය හා සදාචාරය විසින් එය විලංගු ලා තිබේ. මේ නිසා අලි - මිනිස් ගැටුම, වඳුරු - මිනිස් ගැටුම, මොනර - මිනිස් ගැටුම ආදිය ඇති වී තිබේ.

අපට ආපසු ස්වභාව පාලිත ක්‍රමවලට යාහැකි නම් මේ ගැටුම් පාලනය ස්වභාව ධර්මය විසින් සිදුකරනු ඇත. එහෙත් මිනිසා හෝ ශ්‍රී ලාංකිකයා එයට සූදානම්ද ? පිළිතුර නැත යන්නය.

ඒ නිසා සරත් කොටගම මහතා ඉදිරිපත් කර ඇති විසඳුම හෝ වෙනත් ස්වභාවික විසඳුමක් පිළිබඳව ජාතික කතිකාවක් අවශ්‍ය වේ. දුගී ගොවියන් මියයෑම හෝ ජලභීතිකාවට එන්නත්දීම මොනර ව්‍යාප්තියට හා අයාලේ යන සුනඛ ව්‍යාප්තියට විසඳුමක් නම් නොවේ.

පාඨලී චම්පික රණවක







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'