Logo
2020 සැප්තැම්බර් මස 21 වැනි සඳුදා

පස්මහ බැලුම් බලද්දී කුලය බලපු බුදුන්

රත්තනදෙණියේ මේධානන්ද හිමි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුශාග්‍ර බුද්ධිමතෙක් වූ කණිෂ්ක ජයලත් කටඋත්තර නැතිවෙන ප්‍රශ්නයක් අහලා. ඒ තමයි බුදුහාමුදුරුවෝ ඉපදෙනකොට පස්මහ බැලුම් කියලා කුලය බලනකොට සාධුකාර දෙන එවුන් රංජන් කුලය හොයනකොට බනිනවාලු 😁. ඇත්තටම කණිෂ්ක ජයලත් පමණක් නෙමෙයි විකල්ප ගෝත්‍රයේ උගත් බුද්ධිමත් ජනයා අහන මේ වාගේ ප්‍රශ්න නිසා බුදු හාමුදුරුවන්ටත් මිස් වෙච්ච තැන් තියෙනවා කියලා වෙන්ට රැඩිකල් මල්ලිලාත් හිතන නිසා ඒ ගැන ලියන්න හිතුවා. සිදුහත් කුමරු මනුලොව ඉපදීමට ප්‍රථම පංචමහා විලෝකනයට අදාළ අනෙකුත් කාරණා හතර පසකින් තබා අපි බලමු කණිෂ්ක ජයලත් නම් කුශාග්‍ර බුද්ධිමතා මතුකරන කුලය නමැති සාධකය සිදුහත් බෝසතුන් වැදගත්කොට ගත්තේ ඇයිද යන කාරණය.

බුදුන් වහන්සේ උපත ලබන්නේ කුලභේදය ඉතාම තදින් මුල් බැසගෙන තිබූ භාරතීය සමාජයේ. එය කුලභේදය අටුවම් බැසගෙන තිබූ දේශයක්. අද තත්ත්වය සැලකුවත් ඉන්දියානු ව්‍යවස්ථාවෙන් පවා කුලය පදනම් කරගත් අනිසි වරප්‍රසාද ලැබීම/නොලැබීම නීතියෙන් තහනම් කොට ඇතත් හින්දු සමාජය තුළ අතිශය හිංසාකාරී සංස්ථාවක් වශයෙන් කුලය, හින්දු ආගමෙන් ලැබුණු දායාදයක් වශයෙන් අදටත් කරපින්නාගෙන යමින් තිබේ. වෙනත් ජනවර්ග අතර ඉන්දියාවේ හින්දුන් අදටත් 79.8% ක් වෙසෙති. කුල ගෝත්‍ර දහසකට වඩා ඇති ඒ භූමිය බුදුන් වහන්සේ පහලවූ ක්‍රි.පු 6 වන සියවස වන විට බ්‍රාහ්මණ දහම මුල් කොට ගෙන"චතුර්වේදය" නම් හින්දු ආගමේ ඉපැරණි, ශුද්ධ මූලාශ්‍ර අනුව ජනයා "චතුර් වර්ණ" නමින් රාක්ක හතරකට අඩුක්කර තිබුණි. මේ චතුර් වර්ණය බ්‍රහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර නම් විය. ඒ ඒ වර්ණ වලට උරුම වූ වෘත්තීන් ස්වධර්ම විය. අපදා අවස්ථාවල ඉහළ කුලවල අයට පහළ කුලයට අයත් කාර්යයන් කළ හැකි වුවත් ශුද්‍ර වැනි පහළ කුලවල අයට හිමිවුයේ සෙසු කුලවලට බැල මෙහෙවර කිරීම පමණි. කාන්තාවටද කවර ආකාරයේ සමාජ වරප්‍රසාදයක්‌වත් බ්‍රාහ්මණ සංස්‌කෘතිය තුළ හිමි නොවුණි. පහත් කුලවල අයට ඉගෙනීමට ඉඩක් නැත. කෝවිල්වලට යාමට ඉඩක් නැත. ආර්ථික,ආගමික,සමාජීය නිදහස නැත. මෙවැනි අතිශය පිඩාකාරී සමාජ පසුබිමක පහළවන උතුමෙකුට වුවද ගතානුගතික බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රතික්‌ෂේප කර කුලභේදයට එරෙහිව සමානාත්මතාවයේ දහමක් දේශනා කළ හැක්කේ ඉහළ කුලයක ඉපදීමෙනි. සමස්ත සමාජයක් වසර දහස් ගණනක් කුල ධූරාවලියක යදමින් බැඳ තිබෙන අවස්ථාවක, එම ධූරාවලියේ ඉහළම කුලයක ඉපදීමෙන් තරම් පහළ කුලයක ඉපදීමෙන් යම් දවසක එම සමස්ත ක්‍රමයට එරෙහිවීමට නොහැකියි. සසර පාරමිතා පුරමින් එන කෙනෙකුට අවසන් ආත්මභවය මනුලොව ඉපදීමට දෙව් බඹුන් ආරාධනා කළ විට එය එකවරම නොපිළිගෙන පස්මහ බැලුම් බලන්නේ එබැවිනි.

පෙරටුගාමී බුද්ධිමතුන්ට මෙය තේරුම්ගත නොහැකි නම් ඔවුන්ට සමීප උදාහරණයක් දීමටත් කැමතියි. පළමු සමාජවාදී අරගලයේ නියමුවන් වන මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, ෆෙඩරික් එංගල්ස් ආදීන් ජන්මයෙන් නිර්ධන පාන්තිකයෝ නොවෙයි.ඔවුන් උපතින්ම ධනවත් පවුල්වල අයයි. ඔවුන් පස්මහ බැලුම් නොබැලුවද සමාජවාදී අරගලයට කිසියම් සුජාතබාවයක් ලැබීමට ඔවුන්ට ජන්මයෙන් ලැබුණු පිළිගැනීමද හේතු විය. බටහිර විද්‍යාව හා බටහිර දැනුම් ආධිපත්‍ය ප්‍රශ්න කරන නලින් ද සිල්වා මහතාගේ විවේචනවලට ද වලංගුභාවයක් ඇත්තේ තර්ස්ටන්,රාජකීය හා ලංකා විශ්වවිද්‍යාලය වැනි මෙරට ඉහළම අනුකාරක අධ්‍යාපන ආයතනවලින් හා බටහිර විශ්වවිද්‍යාලයකින්ම සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගෙන ඒ දැනුම ප්‍රශ්න කරන නිසා.

ලංකාවේ කුලභේදය ගැන තිබෙන සංවාදය වුවද සාර්ථක වන්නේ සහ වඩාත් බලපෑම් සහගත වන්නේ ඉහළ කුලවල අය ඊට එරෙහිව නගන හඬකින් මිස කුල පීඩනයට ගොදුරු වුවන්ගේ ඇරියස්, විලාප, දෙස් දෙවොල් තැබීම්වලින් නොවේ. බුදුන් වහන්සේ පස්මහ බැලුම් නොබලා පහළ කුලයක ඉපදුනේ නම් වර්ණභේදවාදයට එරෙහි ඉගැන්වීම් තබා බ්‍රාහ්මණ,ක්ෂත්‍රිය වංශවල කුමාරවරු කිසිවෙක් බුදුන් ළග පැවිදි වෙන්නේ ද නැත. බුදු දහම ගැන පඩියන්ට නොතේරෙන තව බොහෝ දේ තිබේ.

රත්තනදෙණියේ මේධානන්ද හිමි





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'