Logo
2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා

මහජන සම්බන්ධතාව හා ලංවිම කළමනාකරණාකාරීත්වය

උ‍දේශ් මාලක වික්‍රමසිංහ


ඊයේ (2019.12.23) දින මා කම්කරු කොමසාරිස්වරයා නිර්දේශමත ප්‍රධාන කාර්‍යාලයේ සේවයට වාර්ථා කිරීමට ගියෙමි. මා පෙ.ව. 11.00 සිට ප.ව 4.15 පමණ වනතුරු සාමාන්‍යාධිකාරීතුමගේ ආලින්දයේ සිටියෙමි.
එම අවස්ථාව මාහට ලබාදීම පිළිබඳව ලංවිම සාමාන්‍යාධිකාරීතුමාහට වෘත්තීය සමිති නායකයෙකු ලෙස ස්තූතිවන්ත වෙමි.

මන්ද ලංවිම නිළධාරීන් සාමාන්‍ය ජනතාවට හා ලංවිම සාමාන්‍ය සේවකයාට සලකන්නේ කෙසේද ? යන්න මා ප්‍රයෝගිකව දුටුවෙමි. සාමාන්‍යාධිකාරීතුමා මූණගැසීමට ඉතා දුර බැහැරින් ලංවිම සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවත් පැමිණ සිටියේය. ඔවුන් සියළුදෙනා පාහේ උදේ 4.00 - 5.00 ගෙවල් වලින් පිටවී පැමිණ තිබූණේ තමාගේ දැවන ප්‍රශ්න සාමාන්‍යාධිකාරීවෙත යොමු කිරිමටය. නමුත් මා එතනින් පිටවන තෙක් එම පුද්ගලයින්ට එම අවස්ථාව නොලැබිණි. ඔවුන් ලංවිම පරිපාලනාධිකාරීයේ නිළධාරීන්ගේ මවුපියන් වහන්සේලා වන්දනා කරමින් සිටිනු දක්නට ලැබිණ.

සමහර පුද්ගලන් ගරු අමාත්‍යතුමාගේ හෝ රාජ්‍ය අමාත්‍යතුමාගේ නිර්දේශ මත සාමාන්‍යාධිකාරීතුමා හමුවිමට පැමිණ තිබුණි. උදේ සිට සාමාන්‍යාධිකාරී හමුවීමට සිටි පුද්ගලින්හට සවස 3.00 පමණ දැනුම් දුන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) හමුවී සටහනක් යොදාගෙන පැමිණෙන ලෙසයි. නි.සා.(පිරිස්) වෙත ගිය පුද්ගලයින් එතුමා හමුවීමට නොහැකිව ලතවේ. විටෙක ඔවුන් නි.සා (පිරිස්) වෙත යොමුකළ බවට සටහනක් දමාගෙන එන ලෙස පැවසුවිට ඔවුන් නැවත සාමාන්‍යාධිකාරීතුමාගේ කාර්‍යාලයේ නිළධාරීයකුගෙන් සටහනක් ඉල්ලයි.
නැවත නි.සා(පිරිස්) වෙත යන විට ඔහු සභාපතිතුමා හමුවීමට ගොස් ඇත.

වගකිවයුතු නිළධාරීන් එම ස්ථානයෙන් ඉහළ පහළ ගමන් කළත් එම ස්ථානයේ රැදී සිටින සේවකයින්ගේ හා මහජනතාවට වචනයක් කතාකර කාර්යය කෙසේ වෙතත් සිත සතුටු කිරීමට තරම් කාරුණික නොවන්නේ මන්ද ?
ලංවිම සේවකයන් හා මහජනතාව දිවා ආහාර‍යවත් නොගෙන විනාඩි 5ක් රාජ්‍ය නිළධාරීන් හමුවීමට විදින දුක දුටුවිට ලංවිම මහජනයා සම්බන්ධතා අංශය ගැන මට ඇතිවූවේ බලවත් කළ කිරීමකි.

ලංවිම පාලකයන් හිතා සිටින්නේ වැඩතියෙන්නේ ඔවුන්ට පමණක් කියාද ? ඔවුන් විනාශ කරන්නේ රටේ ජනතාවේ වටිනා කාලය බව ඔවුන්ට නොවැටහේද ?
කෙසේ නමුත් ලංවිම මහජන සම්බන්ධතා අංශය තුළ නම් බරපතල ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවනම් ඉතාමත් හොදින්ම පැහැදිලිය . ඒ වෙනුවෙන් නව සභාපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව මාගේ විශ්වාසයයි. නොඑසේනම් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්ක ලංවිම තුළින් ජයගැනීම පහසු නොවනු ඇත.

සභාපති
ලංකා විදුලි පොදු සේවක සංගමය
2019.12.24







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'