Logo
2020 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා

ගෝඨගමනය අර්ථවත් කරන අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ විභවය

කැලුම් නිරංජන


19 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව පත් වී වසර 4 1/2ක් යාමට මත්තෙන් විසුරුවාහැරීමේ බලතල ජනාධිපතිවරයාගෙන් උදුරා ගෙන තිබෙන බැවින් ජනාධිපතිවරණයෙන් පසු ඉක්මන් මහ මැතිවරණයකට යෑමට නොහැකි වී තිබේ. 19න් පසු ඒ සඳහා අවස්ථාවක් නිර්මාණය වන්නේ පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනාවකිනි. එක්සත් ජාතික පක්ෂය එයට සම්පූර්ණයෙන්ම විරුද්ධය. ඒ ජනාධිපතිවරණයෙන් පසු කැඳවන ඉක්මන් මහ මැතිවරණයේදී, පක්ෂය තුළ එකිනෙකා කුලල් කා ගනිමින් තිබෙන වටපිටාවක එජාපය දැවැන්තම මැතිවරණ පරාජයට මුහුණ දීමට සිදුවන්නට නියමිත බැවිනි. ඒ දේශපාලන හැසිරීම අපට තේරුම් ගත හැකිය. නමුත් අවාසනාවට කරුණ මේ සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප ද සිටින්නේ ඊට සමාන ස්ථාවරයකය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා නිවැරදිව තීරණය කර තිබෙන්නේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම මහ මැතිවරණයක් සඳහා යොමු වීමටයි. ඒ හරහා ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කරගැනීමටය.

225 ම එපාද?

2015 'යහපාලන' හවුල් ආණ්ඩුව පත්වී කල් නොගොස්ම බොහෝ දෙනාට ප්‍රත්‍යක්ෂ වූයේ ජේ.ආර් ජයවර්ධන මහතා ඉදිරිපත් කළ "ධර්මිෂ්ඨ රාජ්‍යය" මෙන්ම ව්‍යාජයකට තමන් යළිත් අසු වී ඇති බවයි. බලයට පත් වී මසක් යන්නට මත්තෙන් ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව, මහබැංකු වංචාව සිදුකළ ආණ්ඩුව යහපාලනය පිළිබඳ ආණ්ඩු සැදූ ජනයාගේ තිබූ බලාපොරොත්තු මහ දවල් විනාශ කර දැමීය. ඒ ජනයා ආණ්ඩුවේ ඒ යහපාලන විරෝධී ගමන ගැන කලකිරුණත් යහපාලන ව්‍යාජය තමාගේ දේශපාලන ජයග්‍රහණයට පමණක් භාවිතා කළ පිරිස් විසින් ඒ නැගුණු ජනතා විරෝධය ආණ්ඩුව දෙසට එල්ල වීම වැළැක්වීමට අපූරු උපක්‍රමයක් භාවිත කළේය. ඒ "ආණ්ඩුව ගෙදර යනු" කීම වෙනුවට "225 ම එපා" යනුවෙන් අලුත් සටන් පාඨයක් නිර්මාණය කිරීමයි. ඒ හරහා ආණ්ඩුවේ අසමත්කමට එරෙහි විරෝධය තනුක කිරීම මේ ව්‍යාපෘතිය කෘත්‍රිමව මෙහෙයවූ කණ්ඩායම්වල අපේක්ෂාව විය. එයට පොදුවේ දේශපාලනඥයා පිළිබඳ ගොඩ නැගී ඇති අඳුරු ප්‍රතිරූපය අනුබලයක් සැපයීය.

මේ ව්‍යාපෘතියේ ඊළඟ ඉලක්කය වූයේ ජනාධිපති ධුරයට පක්ෂ දේශපාලනයට පිටින් කෙනෙකු පොදු අපේක්ෂක ඔටුනු පලඳා කැන්දාගෙන ඒමයි. නමුත් එයට උත්ප්‍රේරක සැපයූ ජවිපෙ ඒ උත්සාහය අතරමග නවතා පක්ෂ නායකයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේය. එජාපයද තමාගේ නියෝජ්‍ය නායකයා අපේක්ෂකයා බවට පත් කරගති. අපූරු කාරණය වන්නේ එම ව්‍යාපෘතියේ අයිතිකරුවන් ඊට ප්‍රතිවිරුද්ධ මගක් ගනිද්දී එහි ව්‍යාජත්වය පිළිබඳ සාධනීය මතයක් දැරූ බලවේගයේ අපේක්ෂකයා වූයේ 225න් එකෙකු නොවූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඇත්ත වශයෙන්ම 225ම එපා යනුවෙන් උත්කර්ෂයට නගමින් ඒ නිර්මාණය කළ මතය ගෝඨාභයගේ ජයග්‍රහණය තහවුරු වීමට උත්ප්‍රේරකයක් විය. සාම්ප්‍රදායික දේශපාලන විගාඩම්බර වෙනුවට මැතිවරණ ව්‍යාපාරය පුරාවට ඔහු පෙන්වූ දියුණු ප්‍රතිපත්තිමය දේශපාලනය ඒ 225ම එපා යනුවෙන් අවංකවම මතයක් දැරූ ජනයාගේ ආකර්ෂණයට හේතු විය. 2015 ආණ්ඩුවේ ආරක්ෂකයන් ඒ වෙනුවෙන් නිර්මාණය කළ මතය පාරාවලල්ලක් වූයේ එසේය.

ගෝඨා ගෙනා අලුත් දේශපාලනය

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ එළැඹුම සුවිශේෂී එකක් විය. මැතිවරණ කාලය පුරාම එය දකින්නට ලැබුණි. එතෙක් පැවති එකිනෙකාට මඩ-අවලාද නගන සාම්ප්‍රදායික මජර දේශපාලනයට එය අභියෝගයක් විය.වෙනදා නොතිබූ ලෙස ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ සංවාදයකට ජනාධිපතිවරණ වේදිකාව විවෘත වූයේ ඒ හරහාය. අවලාදවලින්ම දේශපාලනය වේදිකාව පිරවූ සමහර සුළු පක්ෂවලට පවා වෙනස් වන්නට ඒ වටපිටාව බල කෙරිණ. අවාසනාවට කරුණ වූයේ එජාප සන්ධානයේ අපේක්ෂකයාට ඒ දේශපාලන නරාවළෙන් ගොඩ ඒමට අවකාශයක් නොලැබීමයි. ප්‍රතිවාදියාට ජම්පර් අන්දන්නට, ජනේලයේ එල්ලන්නට, පණුවන් සේ කැපෙන්නට උදලු පහර දෙන්නට ඒ වේදිකාවේදී යෝජනා වන්නේ ඒ නිසාය. එමෙන්ම 'කිඹුල් ඩ්‍රයිවර්ලා'ගේ මාධ්‍ය හමු, ඇමරිකන් රාජ්‍ය නිලධාරීන්ගේ ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කර මුදා හැරෙන්නේ ඒ නිසාය. එක අතකින් එය පුදුමයට කරුණක් නොවේ. ශ්‍රී ලාංකික දේශපාලනයේ කුප්‍රකට මඩ කප්පිත්තන් සියලු දෙනා පාහේ ඒ මැතිවරණ ක්‍රියාවලියේදී ඒ පාර්ශ්වයේ සිට සක්‍රීයව ක්‍රියාත්මක වෙද්දී ඊට වඩා වෙනස් එළඹුමක් අපේක්ෂා කිරීමම අනර්ථ සිතුවිල්ලකි.

ප්‍රතිපත්තිමය කාරණා අතින්ද ගෝඨාභය මහතාගේ දේශපාලන එළැඹුම සුවිශේෂී එකකි. විශේෂයෙන් ආර්ථික ඉදිරි පිම්මක් අපේක්ෂාවෙන් යෝජනා කළ බදු සංශෝධන, අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යෝජනා කර තිබෙන ඉදිරිගාමී වැඩ පිළිවෙළ සහ දුප්පත්කම අඩු කිරීමේ රැකියා වැඩපිළිවෙළද ඒ අතින් ඉතා තීරණාත්මකය. දුප්පත්කම හිඟන්නාගේ තුවාලය කරගන්නා සාම්ප්‍රදායික හිඟන සුභසාධනය වෙනුවට දුප්පත් පවුල්වල රැකියා කළ හැකි නමුත් අධ්‍යාපන හෝ රැකියා සුදුසුකම් නොමැති පිරිසට යෝජනා කර ඇති රැකියා වැඩපිළිවෙළ වැනි ඉතා නිර්මාණශීලී වැඩපිළිවෙළ අපට ඉඟි කර පෙන්වන්නේ අප කෙමෙන් ගමන් කරමින් සිටිනුයේ සුපුරුදු පුරුදු පාරේම යන දේශපාලනයක නොවන බවයි. ආණ්ඩුව ගැන සහතික දීමට තවම කල් වැඩි වුවත් පසුගියදා රඟදැක්වූ ස්විස් සුදු වෑන් නාඩගම හමුවේ ආණ්ඩුව පෙන්වූ විචක්ෂණශීලී පාරදෘෂ්‍ය මැදිහත්වීම අපට කියා දෙන්නේ ගෝඨා ගමන් කරන්නේ නැවුම්, අපේක්ෂා සහගත පාලනයක් කරා බවයි. ජාතියේ හදවත බඳු රුවන්වැලි සෑ මලුවේ සිට සපථ කළ ඒ ගමනේ නිසි ඵල ලබන්නට නම් තවත් පිම්මක් පැනීමට තිබේ. ඒ ඉදිරි මහමැතිවරණයයි.

මහමැතිවරණ අභියෝගය

මේ ඇත්තේ 2015 පාර්ලිමේන්තුවේම දිගුවකි. එදා මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ පිලට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී කෝටාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අයුක්ති සහගත ලෙස කොල්ල කා ගත්තේය. ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්ව සුසිල් ප්‍රේමජයන්තගේ ලේකම් ධුරය පවා අත් හිටුවීමට සිරිසේන පාර්ශ්වය කටයුතු කළේ අයුක්ති සහගත අයුරිනි. එයින් නොනැවතුණු ඒ ක්‍රියාවලිය අවසන් වූයේ ජනතාව විසින් ඡන්දයෙන් පරාජය කර ගෙදර යැවූ කුප්‍රකට මන්ත්‍රීවරු රොත්තක් යළිත් ජනාධිපතිවරයාගේ අත්සනින් පාර්ලිමේන්තුවටත් එතැනින් නොනැවතී කැබිනට්ටුවටත් පත් කිරීමෙනි. මේ අයුක්ති සහගත ක්‍රියාවලිය එවකට ආණ්ඩුව නිර්මාණය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටි මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පවා දැඩි දෝෂදර්ශනයටත් පිළිකුලටත් ලක් වූ අයුරු මතකය. මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය, අනීතික රණවිරු දඩයම, බුදු දහමට මහා සංඝරත්නයට අවමන් කිරීම, දක්වා පැතිරුණු කරුණු රාශියකින් සැලකූ විට මෙය කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවකි. එය සුද්ධ කිරීම අත්‍යවශ්‍යයෙන් කළ යුත්තකි. එහිදී 'අනිවාර්ය නිවාඩු' යාමට සිදුවන පිරිස ඉතා විශාල වනු ඇති. එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානශීලී ගමනට අත්වැල් සැපයිය හැකි සබුද්ධික පර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් හැකි තරම් පාර්ලිමේන්තුව පුරවා ලීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ පරණ පුරුදු පාරේම යන සාම්ප්‍රදායික ගමනකි. පසුගියදා රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේදී අත්දුටුවේ ඒ භයානක ඇත්තයි. කැබිනට් මණ්ඩලය ඉතා එඩිතර තීරණයක් ගෙන 16 දක්වා අඩු කළ ගෝඨාභය මහතාට රාජ්‍ය ඇමැතිවරුන් 38ක් පත් කිරීමට සිදු වූයේ මේ පරණ පාර්ලිමේන්තුව සමග ඊට වෙනස් ගමනක් යෑම කෙතරම් අසීරුද යන්න පසක් කරමිනි.

යළි 2004ක්?

අද අලුත් දේශපාලන අවකාශයක් නිර්මාණය වී තිබේ. මේ අලුත් තත්ත්වයේදී පැරණි දේශපාලන මගේම ගොස් ජයග්‍රහණය කිරීම සෑම පාර්ශ්වයකට අපහසු ඉල්ලක්කයකි. නමුත් මෙය ඉතා සීරුවෙන් හසුරුවාගත යුතු තත්ත්වයක් බව අපේ ගණන් බැලීමයි. එසේ නොමැති වුවහොත් තත්ත්වය දැනට වඩා අසීරු විය හැකිය. මෙවැනිම අවස්ථාවක් අපට මතක මෑත ඉතිහාසයේ තිබේ. ඒ 2004දී එවකට වික්‍රමසිංහ ආණ්ඩුව පරාජය කළ අවස්ථාවේ නිර්මාණය වූ තත්ත්වයයි. කුප්‍රකට සටන් විරාම ගිවිසුම හරහා බලවත් වූ කොටි සංවිධානය සමග සහවාසයක සිටි ආණ්ඩුවේ ගමන අවසන් කර අලුත් දේශපාලනයක් ඉල්ලා සිටි මොහොතකි එය. එවකට ජ.වි.පෙ, ජාතිකවාදී සංවිධාන සමග එක පෙළට දේශපාලනය කළ ජනප්‍රිය අවධියයි. ඒ නැවුම් බලාපොරොත්තු සමග බිහිකළ එ.ජ.නි. සන්ධානය ජයග්‍රහණය ලබද්දී ජවිපෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 42 දෙනාගෙන් 41 දෙනෙකු ජයග්‍රණය කළේය. ඒ වැඩි දෙනෙක් දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මුලටම පැමිණියේ ඔවුන්ගේ නම් ගම් කාගේ කවුද යන කරුණු පවා නොදන්නා වටපිටාවකය. ගම්පහින් අනුර බණ්ඩාරණායක පරාජය කරමින් විජිත හේරත්, කොළඹින් විමල් වීරවංශ, බදුල්ලෙන් විද්‍යාරත්න ආදීන් මුලටම පැමිණ තිබුණි. කොළඹ ලැයිස්තුවේ මුල් තුන්දෙනාම ජවිපෙ මන්ත්‍රීවරුන් වීම ඒ අවස්ථාවේ ජනතා මතය හැසුරුණු ආකාරය හොඳින්ම පෙන්වන කැඩපතක් වැනිය. ජවිපෙන් පොල් පිත්තක් දැම්මත් ජයග්‍රහණය කළ හැකි ඉඩක් ඒ මොහොතේ නිර්මාණය වී තිබුණි.

පසුව ඔවුන් ඒ මගෙන් මතවාදීව පීලි පැන අද වන විට 3%ක් දක්වා පසුබැස සිටියත් එවකට ජනතාව ඔවුන් වෙත නැවුම් බලාපොරොත්තු දල්වාගෙන ඉතා කැමැත්තෙන් මනාපය ලබා දී තිබුණි. අද නැවතත් වසර 15 කට පසු එවැනිම දේශපාලන විභවයක් ඇති වෙමින් තිබේ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත් දේශපාලන ප්‍රවේශයත් සමගයි. මෙවරත් මේ දේශපාලන අපේක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුව අලුත් වන බවට සැකයක් නැත. ඒ විභවය පිරවීමට ජවිපෙ මෙවර අසමත්බව තහවුරු වී අවසන්ය. පසුගිය ආණ්ඩු කාලය පුරාම ආණ්ඩුව රැකි ආරක්ෂකයාගේ භූමිකාව ඉටු කළේ ජවිපෙ බව තවදුරටත් සැඟවිය නොහැකි ඇත්තකි. අතුරුදන්වූවන් පිළිබඳ පනත, පළාත් සභා ඡන්ද කල් දැමීමට ගෙනා පනත ආදී අයුක්ති සහගත පනත් බොහොමයකට අත ඔසවමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රැක්කේ ජවිපෙ ඒ දේශපාලනය විසිනි. එය ජවිපෙ වෙනුවෙන් කැමැත්තෙන් සිටි ජවිපෙ සාමාජිකයන් නොවන ජනතාවගේ පිළිකුලටත් ගර්හාවටත් හේතු විය. පසුගිය ජනාධිපතිවරණයේදී ඇප අහිමි කරමින් ලැබූ දැවැන්ත පරාජය එහි එක් ප්‍රකාශිත අවස්ථාවකි.

අලුත් අවකාශය දැනුමෙන්, නිර්මාණශීලීත්වයෙන්, ස්වදේශිකත්වයෙන් පුරවමු

මේ කලකට පසු ලැබී ඇති විශිෂ්ට අවස්ථාවකි. මෙය ඉතා සීරුවෙන් කළමනාකරණය කර නොගතහොත් දැනට වඩා අවුලකට රට පත් වනු වැළැක්විය නොහැක. එබැවින් ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂත්වය දෙද්දී හැකි තරම් අලුත් මුහුණුවලට අවස්ථාව දීම ගෝඨාභය ජනාධිපතිවරයා අතින් සිදු විය යුතු අත් හළ නොහැකි වගකීමකි. මුහුණු අලුත් වූ පමණින් ඵලක් නැත. අප 'උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු' යන සටන් පාඨයේ ආධානග්‍රාහීව සිරවිය යුතුද නැත. හුදු උගතුන් නම් වුවමනා තරම් සොයාගත හැකිය. උගත්කම මේ අලුත් ප්‍රවේශයට සරිලන එකම සහ අවසන් සාධකය නොවන බව අපට වෛද්‍ය රාජිතගෙන්, ඉංජිනේරුවකු වන චම්පිකගෙන් නැත්නම් නීතීඥ රනිල්ගෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. උගත්කම අත්‍යවශ්‍ය නමුත් ඉන් එහා ගිය හෘද සාක්ෂියක්, අවංකත්වයක්, ස්වදේශිකත්වයක්, සංස්කෘතියක් සහිත මෙන්ම මව්බිම වෙනුවෙන් කොතරම් කැපකිරීමක් කළ හැකිද යන්නත් ඒ සඳහා ඉතිහාසය තුළ මව්බිමට තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්නත් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතුය. එබැවින් සෑම දිස්ත්‍රික්කයක් තුළින්ම මේ පූර්ව සුදුසුකම් සපුරන රටට හිතවත් ජාතිමාමක වැදගත් තරුණ පිරිසක් මේ ප්‍රවාහයට එක් කරගැනීමට කළ හැකි සියලු උත්සාහයන් දැරිය යුතුය. එහිදී ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණයක් කළ යුතුද නොවේ. රට දැය සමය වෙනුවෙන් පෙනී සිටින ඔවුන් වෙත ඇති ජනතා අභිලාෂයන්ට ඇති ඉඩ නොඇහිරීමටද වග බලාගත යුතුය.

මේ නිර්මාණය වෙමින් ඇති අලුත් විභවය රටට හිතවත් අයුරින් හසුරුවා ගැනීම අප හමුවේ අද ඇති අත් හළ නොහැකි යුතුකමයි.

-කැලුම් නිරංජන


යුතුකම සංවාද කවය

www.yuthukama.com







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'