Logo

 

ජවිපෙ - ගමනක අග

- පැතුම් රණසිංහ විසිණි.



නිදහසින් පසු ගෙවී ගිය 70 වසරක ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණ තැබූ සලකුණ කිසි ලෙසකින් වත් මඟහැර යා නොහැකිය. 1965 දී එවකට කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ අයස්කාන්ත තරුණයෙකු වූ නන්දසිරි විජේවීර සිය සමීපතමයන් 09 දෙනෙකු සමඟින් ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන ව්‍යාපාරය මේ වන විට අඩසියවසකටත් වඩා වැඩි කාලයක් පසු කොට විත් තිබේ.

නන්දසිරි විජේවීර, රෝහණ විජේවීර බවට පත්වෙමින් 60 දශකයේ මැද බාගයේ නව වාමාශික දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙරට පොදු ජන සමාජයට ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වාදෙන්නේ පැරණි වමේ පක්ෂ සියල්ල අර්බුධයට ලක්ව තිබූ පසුබිමකය. අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය හරහා, සූරියමල් ව්‍යාපාරය හරහා ඉදිරියට ආ සමසමාජ කොමියුනිස්ට් ව්‍යාපාර විවිධ ගුරුකුලයන්ට බෙදෙමින් පැවතුණි. 1964 වන විට ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක්ව වාමාශික එක්සත් පෙරමුණ ගොඩනගාගෙන තිබිණි. ඉන් නොබෝ කලකින් සමසමාජ පක්ෂය ඇමතිකම් 3ක් හා උප ඇමතිකම් 2 ක් ලබාගනිමින් නිදහස් පක්ෂය සමඟ එක් විය. ඒ හරහා ලංකාවේ වමේ දේශපාලනයේ රික්තකයක් නිර්මාණය විය. මෙම තත්වය නව තරුණ විප්ලවීය ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය සරු පොළොවක් නිර්මාණය කර තිබූ අතර 50 දශකයේ පටන් කියුබානු විප්ලවයයේදී, වියට්නාම් විමුක්ති අරගලයේදී වාමාශික කණ්ඩායම් ලැබූ ජයග්‍රහණයන් ඒ සඳහා ආශ්වාදනීය අභිප්‍රේරණයක් එක්කර තිබිණි.

ඒ ආකාරයෙන් බිහි වූ ජනතා විමුක්ති පෙරමුණ අද මුහුණ පා සිටින්නේ පැරණි වමේ පක්ෂ මුහුණ දුන් ඉරණමටම නොවේද ?
කාල් මාක්ස් ප්‍රකාශ කළ පරිද්දෙන්ම මිනිසුන් ස්වකීය ඉතිහාසය නිර්මාණය කරගන්නේ ඔවුන් ඉදිරියේ පවතින, ඔවුන්ට ලැබී ඇති සහ ඉතිහාසයෙන් සංක්‍රමණය වූ තත්වයන් යටතේ ය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වෙත ලාංකේය ග්‍රාමීය තාරුණ්‍ය ආකර්ෂණය වන්නේද, එහි ඊනියා අරගලයේ නාමයෙන් සිය ජීවිත පවා කැප කරන්නේද ඒ අවස්ථාවේදී ඔවුන් ඉදිරියේ පැවතුණු යථාර්ථයන්ට මුහුණ දෙමිණි. මාක්ස්වාදී පක්ෂයක් ලෙස ජවිපෙ නායකකාරකාදීන් විසින් සිය පක්ෂය හඳුන්වා දුන්නද එහි සැබෑ ආවරණය සකස් වී තිබුණේ ජාතිකවාදී මූලයකිනි.

ජවිපෙ දෙවන කැරැල්ල සමයේදී ජවිපෙ ට එරෙහි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූද, වර්තමානය වන විට ජවිපෙ වේදිකාවල ප්‍රමුඛ කථිකයෙක් වන්නා වූද ආචාර්ය නිර්මාල් දේවසිරි විසින් මීට වසර 3 කට පමණ පෙර කළ විවරණයක් මෙහි උපුටා දැක්විය යුතුය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල පරාජයට පත්වීම සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතිය ද දැවැන්ත ලෙස පරාජය වීමක් ලෙස හඳුන්වා දෙයි. එය සත්‍යකි. ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදය අරභයා ඉන්දියානු හමුදා මැදිහත්වීමක් සිදු වුණු අවධියක ජවිපෙ විසින් මෙහෙයවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟ ගම් නියම්ගම් පුරා ඒකාබද්ධව සිටිමින් අවි අතැතිව ගැටුම්වල නියැළුණු තරුණයින් කුළු ගැන්වුණේ දේශප්‍රේමයෙන් මිස මාක්ස්ගේ ආර්ථික න්‍යායන් මත නොවේ.

රෝහණ විජේවිරගෙන් පසු වර්තමානය දක්වා ජවිපෙ ආ ගමන් මග තුළ අවධීන් දෙකක් හඳුනාගත හැකිය. ඒ 90 දශකයේ මුල පටන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගත වීම දක්වා අවධියත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වර්තමානය දක්වා පවතින අවධියත් වශයෙනි. මෙහි මුල් කාලවකවානුව වනාහි ජනතා විමුක්ති පෙරමුණ එහි ජනතා ආකර්ෂණය උපරිමයෙන් දිනා ගත් වකවානුවයි. 2004 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව තරඟ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 39 ක් දිනාගැනීමට ජවිපෙට හැකි විය. එම යුගයේදී බෙදුම්වාදයට එරෙහි දේශපාලන මතවාදයක් ගොඩනැගීමට අනෙකුත් ජාතික බලවේග සමඟ එක්වී ජනතා විමුක්ති පෙරමුණ විසින් තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරන ලදි. ඊට ප්‍රති උපකාර දැක්වීමට ද අද ජවිපෙ විසින් වහලුන් ලෙස හඳුන්වා දෙන ඡන්ද දායකයන් පසුබට නොවිය. එදා 2004 මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක හැරුණු විට අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම සන්ධාන මනාප ලයිස්තුවේ ප්‍රථම, දෙවන, තෙවන ස්ථානවල රැඳී සිටියේ ජවිපෙ අපේක්ෂකයන් ය.

ඉන්පසු අවධිය තුළ ජවිපෙ දේශමාමක බලවේග සමඟින් තිබූ සහෘධ බැදීමෙන් වේගයෙන් විතැන් විය. බෙදුවාදයට එරෙහිව සටන් කිරීම සඳහා රාජපක්ෂ රජයට තියුණු බලපෑමක් කළ ජනතා විමුක්ති පෙරමුණ 2008 අයවැය අවස්ථාවේදී සන්ධාන ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළේ යුධ ව්‍යාපාරයට ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවැසිව තිබෙන මොහොතකදී ය. එතකින් නොනැවතී ලංකා පුවත්පත ආදී සිය ප්‍රචාරක යාන්ත්‍රණයන් ඔස්සේ වන්නියේ පවතින සටන් පිළිබඳව දකුණේ ජනතාව අතර ව්‍යාජ චිත්‍රයක් මවා පෙන්වීමට ද ජවිපෙ නිර්ලජ්ජිත ලෙස කටයුතු කළේය. එතනින් පටන්ගත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිගාමී ගමන් මාර්ගයේ නිර්ධය විවේචනය යොමු වූයේ ධනේශ්වර ආර්ථික රටාව වෙත වත්, ගෝලීය අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන දේශපාලන කණ්ඩායම් වෙත වත් නොවේ. එතැන් පටන් ජනතා විමුක්ති පෙරමුණේ විවේචන එල්ල වූයේ විශේෂයෙන්ම ජාතිකවාදී කඳවුර වෙත සහ එම කඳවුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයන් වෙතය.

වර්තමානයේදී ජනතා විමුක්ති පෙරමුණ යනු අක්මුල් නැති රැඩිකල් පඬියන් සිය හෙළුව වසා ගැනීමට පාවිච්චි කරන සීතාම්බර පටකයක් වැනිය. එහි සංකේතයන් බවට පත්වී තිබෙන්නේ 88-89 සමයේ දහස් ගණන් තරුණයන් පණ පිටින් පුළුස්සා දමන විට කොළඹ නීති පිඨයේ බයිලා සාජ්ජ පැවැත් වූ සුනිල් පෙරේරා වැන්නවුන්ය. ජවිපෙ විසින් යෝජනා කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නේ සුමන්තිරන්ලා ය, මුඛර්ජි රාහුමන්ලා ය, ජයම්පති වික්‍රමරත්නලා ය.

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ පැවති මුඛ්‍ය අරමුණු සියල්ලකින්ම බැහැර වී තිබේ. බිමල් රත්නායකලා කියන්නේ “දැන් සමාජයට සමාජවාදයක් සඳහා විළි රුදාවක් නැති බවය”. එසේනම් විලිරුදාවක් නැති ගැබකින් දරුවෙකු බිහිකරගැනීමට වරක් නොව දෙවරක්ම දේශයේ තරුණයන් අතට ආයුධ ලබා දුන් ඉතිහාසය බිමල් රත්නායකලා තවදුරටත් සැමරිය යුතු නැත. එහෙත් 2017 තරම් මෑතකදී පවා ජවිපෙ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ රට තුළ සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය බලය ලබාගැනීමේ ඉලක්කය වෙත ජනතා විමුක්ති පෙරමුණ ගමන් කරමින් සිටින බවයි. මේ එකිනෙකට පරස්පර ප්‍රකාශවලින් පවා හෙළිදරව් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පැරණි වමේ පක්ෂවලට අත් වූ ඉරණම වෙත කොන්දේසි විරහිතව ගමන් කරන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති මෙහෙයවන ලාල් කාන්ත පසුගියදා ප්‍රකාශ කර සිටියේ “එළියේ කරන අරගලවලින් ආණ්ඩුව පෙරළා දැමිය නොහැකි බවයි”. ජවිපෙ විසින් මිනිසුන්ගේ වැදගත්කමද දැන් මැන බලන්නේ පවුල් පසුබිම තුළිනි. එය තවදුරටත් මෙරට පොදු ජනයාගේ පක්ෂයක් නොවේ.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ලංකාවේ සිදුවිය යුතු විප්ලවයේ ස්භාවය සම්බන්ධයෙන් වරෙක පවසා සිටියේ රුසියානු හෝ චීන සපත්තු අපේ කකුලට නොගැළපෙන බවත් අපේ කකුළට සුදුසු සපත්තුවක් අප නිර්මාණය කරගත යුතු බවත් ය. ලංකාවේ පොළොව තුළ කෙදිනක හෝ යථාර්තයක් වන විප්ලවයක් පවතී නම් එය නිසැක වශයෙන් ජාතික විමුක්ති අරගලය හා අවියෝජනීය ලෙස බැඳී පවතින්නක් විය යුතුය. එසේ නොවන කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට මේ පොළොව තුළ මුල් අල්ලා සවිමත් වීමට නොහැක. එක්තරා යුගයක ජනතා විමුක්ති පෙරමුණ ද ලාංකේය දේශපාලන භූමියේ ශක්තිමත් භූමිකාවකට පණ පෙවූයේ ඒ කොන්දේසි මත පිහිටා ය. අද වන විට විජාතික කඳවුර සමඟ මුළු ගැන්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ සිය ගමනේ ඉම වෙත පැමිණ තිබෙන්නේ ඊනියා සමාජවාදය අතහැරීම නිසා නොව මෙරට පොදු ජන අභිලාෂයන්වලට එරෙහි වීම නිසාවෙනි.

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 37421
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 64440
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 141104
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 576459
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 619767
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16340052
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16261322
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13657517
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13599080
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13487228
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'