Logo

 

පරමාණු, අණු හා දෙවියන් වහන්සේ

- නලින් ද සිල්වා විසිණි.



බටහිර විද්‍යාවේ ඌනිතවාදය (රිඩක්ෂනිසම්) ගැන අප කලින් දවසකත් (අගෝස්තු අටවැනි දා )   කතා කළා. එහි සඳහන් නොවූ තවත් වැදගත් කරුණු කිහිපයක් මා මෙහි සඳහන් කරනවා. පළමුව එහි සඳහන් වූ කරුණක් දෙකක් ගැන අවධානය යොමු කරනවා. “ඌනිතවාදයෙන් කියන්නේ යම් දැනුමක් එයට වඩා මූලික දැනුමකට, ප්‍රවාදයකට ඌනනය කිරීම. එයින් අදහස් වන්නේ යම් දැනුමක් වෙනත් ඊනියා මූලික දැනුමකින් තේරුම් ගැනීම. උදාහරණයක් ලෙස ගතහොත් පොළොවට වස්තු වැටෙන්නේ ය කියන දැනුම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් ගැනීම. පොළොවට වස්තු වැටීම ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට ඌනනය කෙරෙන්නේ යැයි කියනවා. ඌනිතවාදය එක් පැතතකින් සමස්තය යනු කොටස්වල එකතුවක් ය යන්න මත රඳා පවතිනවා. එය සත්භව ඌනිතවාදය ලෙස හැඳින්වෙනවා. විධික්‍රම ඌනිතවාදයක් කියා එකකුත් තියෙනවා. ඒ අනුව යම් ඊනියා යථාර්ථයක් වෙවනත් ඊනියා යථාර්ථවලින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඌනිතවාදය ග්‍රීකයන්ගේ ස්වසිද්ධාත්මක විධික්‍රමයෙන් ගලා එන්නක්. ග්‍රීකයන් එකල තිබූ ජ්‍යාමිතික (භූමිතික)  දැනුම ස්වසිද්ධි කිහිපයකින් ප්‍රකාශ කළා. මේ ජ්‍යාමිතිය අද යුුක්ලීඩිය ජ්‍යාමිතිය ලෙස පාසලේ දී ද විශ්වවිද්‍යාලයේ දී ද ඉගැන්වෙනවා. එසේ වුවත් ඇරිස්ටෝටල් පවසා තිබෙනවා සමස්තය යනු කොටස්වල එකතුවක් නොවන බව. මෙවැනි පරස්පර කතා ඕනෑම දැනුම් පද්ධතියක තියෙනවා.”


දැනුම තවත් දැනුමකට ඌනනය කරන්න පුළුවන් වෙන්නෙ වෙනත් දැනුම් ආශ්‍රයෙන්. ගුරුත්වාකර්ෂණයක් නැති වුවත් එය උපකල්පනය කර පොළොවට පොල් වැටෙනවා යන්න, පොලය පොළොවට වැටීමට කොපමණ වෙලාවක් ගත වේද ආදිය දැන ගැනීමට පුළුවන්. එහෙත් එහි දී නිව්ටන්ගේ චලිත නියම පමණක් නොවෙයි, අවකල සමීකරණ ද යොදා ගන්න වෙනවා. ඒ විතරක් නොවෙයි ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය ද යොදා ගන්නවා. යුක්ලීඩිය ජ්‍යාමිතියේ නිර්වචන, ස්වසිද්ධිවලට මුළු ජ්‍යාමිතිය ම ඌනනය කරන්න පුළුවන්. එහෙත් ඒ නිකම්ම නො වෙයි. නිර්වචන, ස්වසිද්ධිවලින් ජ්‍යාමිතික ප්‍රමේය ආදිය නිගමනය කරන්න නම් නැවතත් ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය යොදා ගන්න වෙනවා.

ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය මිනිසුන් තම පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් වියුක්තකරණයෙන් තනා ගත් පද්ධතියක්. වියුක්තකරණය එක ම මට්ටමෙන් හැම සංස්කෘතියක ම දකින්න බැහැ. වියුක්තකරණයෙන් ඉහළට ම ගිහින් ඉන්නෙ යුදෙව්වන්. ග්‍රීකයන්ටත් යම් වියුක්තබවක් තිබුණා. වෛදිකයන්ටත් එයට අඩු ප්‍රමාණයකින් වියුක්තකරණය තිබුණා. වියුක්තකරණයේ මුල සාධාරණීකරණය. කළු කපුටන් යම්  ප්‍රමාණයක් දැකීමෙන් පසු අප සියළු කපුටන් කළු ය කියා නිගමනය කරනවා. එය සාධාරණීකරණයක්. එය වියුක්තකරණයක්. සියළු කපුටන් පංචෙන්ද්‍රියවලට තබා මනසටවත් ගෝචර නැහැ. එය මනසෙන් මවා ගන්න පුළුවන් දෙයක් නො වෙයි. එය හිතළුවක්. එහෙත් එතනින් එහාට ගිය වියුක්තකරණ ඇත්තේ සමහර සංස්කෘතීන්වල පමණයි.

ඌනිතවාදයේ දී දැනුම වඩා මූලික දැනුමකට ඌනනය කරන්නේය කීවත් එය එහෙම වන්නේ වෙනත් දැනුම්වලත් ආධාරයෙන්. මට තේරෙන අන්දමට හොඳ ම ඌනිතවාදය යුදෙව්වන්ගේ යෙහෝවා දෙවියන් වහන්සේ සම්බන්ධවයි. සියල්ල එහි දී දෙවියන් වහන්සේට ඌනනය වෙනවා. බ්‍රහ්මන්ට ඒ තරමට ම ඌනනය කරන්න බැරි වුවත් දැනුම යම් ප්‍රමාණයකට ඌනනය කෙරෙනවා. අල්ලා දෙවියන් වහන්සේ ද යෙහෝවා දෙවියන් වහන්සේ ම වුවත් යුදෙව්වන් හා මුස්ලිමුන් අතර භාවිතයේ දී වෙනස්කම් තිබෙනවා. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ මුදල් වියුක්තකරණයක්. මුදල්වලින් මුදල් උපයන්න පුළුවන්. එයට පොළිය කියා කියනවා. එහෙත් මුස්ලිම් සංස්කෘතියේ පොළිය නැහැ. එහි මුදල් සම්පූර්ණ වියුක්තකරණයකට ලක් වෙලා නැහැ.

සියල්ල මවා ඇත්තේ දෙවියන් වහන්සේ, සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත කී විට සියල්ල දෙවියන් වහන්සේට ඌනනය වෙනවා. එහි දී බටහිර විද්‍යාවෙහි දී හෝ ගණිතයේ දී හෝ මෙන් ඌනිත වන දැනුමට අමතර ව වෙනත් දැනුම් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ වියුක්තයි. කිසිවකුටවත් දෙවියන් වහන්සේ හිතෙන් මවා ගන්නවත් බැහැ. බටහිර ගණිතයේ සරල රේඛා ඇතුළු සංකල්ප වියුක්තයි. සරල රේඛාවක්, අනන්ත වූ දිගකින් යුක්ත පළලක් ඝනකමක් නැති, එහි ඕනෑම ලක්‍ෂ්‍ය දෙකක් අතර දුර කෙටිම වන සේ වූ රේඛාවක් ලෙස හිතෙන් මවා ගන්න බැහැ. අප බොහෝ විට සරල රේඛා කියල කියන්නෙ ඉතා සිහින් ඉරටු කෑලි වැනි දේට.

අද ඇතැමුන් සිතන්නේ බටහිර ජීව විද්‍යාව, රසායන විද්‍යාවටත්, රසායන විද්‍යාව භෞතික විද්‍යාවටත් ඌනනය කරන්න පුළුවන් කියා. විල්සන් සමාජ විද්‍යාව ජීව විද්‍යාවට ඌනනය කරන්න හැදුවා. ඩෝකින්ස් තම ආත්මාර්ථකාමී ජානය (සෙල්ෆිෂ් ජීන්) මගින් මිනිස් හැසිරීම් ජීව විද්‍යාවට ඌනනය කරන්න හැදුවා. එයින් කියැවෙන්නේ සියල්ල භෞතික විද්‍යාවට ඌනනය කරන්න පුළුවන් බවයි. භෞතික විද්‍යාව අවසානයේ දී ක්වොන්ටම් භෞතිකයට ඌනනය කරන්න හදනවා. එහෙත් ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු දෙවියන් වහන්සේ නො වෙයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් අඩුම තරමෙන් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අපෝහනය (නිගමනය) කරන්න බැහැ. ආවර්තිත වගුව දැනගත් පමණින් රසායන විද්‍යාව දැනගන්න බැහැ. රසායන විද්‍යාවේ තර්කය භෞතික විද්‍යාවේ තර්කයට වඩා වෙනස්.

මේ කරුණ බොහෝ දෙනකු සලකන්නේ නැහැ. රසායන විද්‍යාවේ දී භෞතික විද්‍යාවේ තරමට විශ්ලේෂණය නැහැ. එහි භෞතික විද්‍යාවට වඩා සමස්තය සැලකෙනවා. භෞතික විද්‍යාවේ විශ්ලේෂණය වැඩියෙන් යෙදෙනවා. භෞතික විද්‍යාවේ දී ඉතා වියුක්ත කොටස්වලට යනවා. එය රසායන විද්‍යාවට වඩා වැඩියි. මෙහි තවත් පැත්තක් තියෙනවා. අණුවක් යනු පරමාණු එකතුවක් පමණක් නො වෙයි. වෙනත් අයුරකින් කියන්නේ නම් රසායන විද්‍යාව භෞතික විද්‍යාවට ඌනනය කරන්න බැහැ. අණු කිහිපයක් එකතු වීමේ ප්‍රතිඵලයවත් අණුවක් ගැන දැන ගත් පමණින් නිගමනය කරන්න බැහැ. ජලය යනු එච් ටූ ඕ අණුවල එකතුවක් පමණක් නො වේ. හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණුවල ගුණ දැනගත් පමණින් ජලයෙහි ගුණ දැනගන්න බැහැ. හයිඩ්‍රජන් ගිනි ගන්නා වායුවක්. ඔක්සිජන් ගිනි ගැනීමට උදව් වෙනවා. එහෙත් ජලයෙන් ගිනි නිවෙනවා. එසේ වන්නේ ඇයි ද කියා මාත් කුඩා කළ අසා තිබෙනවා. එයට පිළිතුර රසායන විද්‍යාව භෞතික විද්‍යාවට ඌනනය කරන්න බැරි වීම. සමස්තය යනු කොටස්වල එකතුවක් පමණක් නො වෙයි. මිනිසුන් යනු අණු ගොඩක එකතුවක් නො වෙයි. ආත්මාර්ථකාමී ජානයෙන් මිනිසුන්ගේ සාමුහිකත්වය තේරුම් ගන්න බැහැ.   

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 සැප්තැම්බර් 19

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12383579
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12410176
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9886313
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9792765
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9619992
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'